දෙපා පණ නැතිව අසරණ වූ සිව්දරු මවට ශක්තියක් වූ ආදරණීය පෙම්වතා

රියෝනා කෙලී අවුරුදු දාහතරක යුග දිවියක් ගෙවූ සිවුදරු මවක්. නොසිතූ වෙලාවක සිදු වූ අනතුරක් නිසා ඇගේ දිවිය වෙනස් වන්නේ අසුරු සැනෙකින්. පඩිපෙළකින් පහළට ඇද වැටීම නිසා ඇගේ සුෂුම්නාවේ ආබාධයක් ඇති වන අතර නැවත ඇයට කිසිදා දෙපයින් ඇවිදිය නොහැකි බව වෛද්‍යවරුන් පවසනවා. 

ඇය රෝහල් ගත කෙරෙනවා. ඇයට කිසිදාක දෙපයින් නැගී සිටින්නට නොහැකි බව දැනගත් ඇගේ සැමියා, දින පහක් ඇතුළත වසර 14ක විවාහය නිමා කරමින් දික්කසාදය ඉල්ලා සිටිනවා.

“එයා මගෙන් දික්කසාදය ඉල්ලුවට පස්සේ මම සම්පූර්ණයෙන් ම තනි වුණා. දවස් පහක් රෝහලේ ඉන්නකොට මට කිව්වා මට සනීප වෙන්න මාස හයත් අවුරුද්දත් අතර කාලයක් ගත වෙනවා කියලා” රියෝනා පවසනවා. 

“මගේ ස්වාමිපුරුෂයා මාව රෝහලේ දාලා ගියාට පස්සේ, මගේ මිතුරිය, සාරා, මගේ ළඟම ඥාතියෙක් වගේ මාව බලාගත්තා. මගේ සුවය ලැබීමේදී මට සහයෝගය දුන්නේ ඇය සහ දරුවන්.”

“ආපසු හැරිලා බලනකොට මම මගේ විවාහය තුළ ඉතාම අභාග්‍යසම්පන්න වුණ බව සිතෙනවා. නමුත් අපි එකට ජීවිතයක් ගොඩනඟා ගෙන තිබුණා. බෙදාගත් වගකීම් තිබුණා.”

“ඒ තමයි මට මගේ සැමියාව වැඩිපුර ම අවශ්‍ය වුණු වෙලාව.” ඇය වැඩි දුරටත් පවසනවා. 

හද රිදෙන කාරණා කොතෙක් වුවත්, ජීවිතයට අභියෝග කරමින් තම දරුවන් සිවුදෙනා වෙනුවෙන් කරදරවලට එරෙහිව සටන් කරන්නට රියෝනා අධිෂ්ඨාන කරගන්නවා. සති අටකට පසු, සමාන්තර යකඩ බාර්වල ආධාරය ඇතුව සිරුර කෙළින් තබා ගෙන පළමු පියවර තැබීමෙන් ඇය එය ඔප්පු කර පෙන්වනවා. ඇය ඒ මොහොත ගැන පවසන්නේ මෙසේයි.

“මගේ කකුල්වලට කිසිම දැනීමක් තිබුණේ නෑ. ඒත් මම ගණන් ගත්තේ නෑ. මම ඒවා ඔහේ ඇදගෙන ගියා. මට අවශ්‍ය වුණේ කොහොම හරි ඇවිදින්න විතරමයි”

“මම පළමු වතාවට රෝද පුටුවකින් එළියට ගියාම මම හිතුවේ හැමෝම මං දිහා බලනවා කියලා.මම ඒකට වෛර කළා, මටම වෛර කළා.”

“කවුරුහරි මට තෝරාගැනීමක් කරන්නට ඉඩ දුන්නා නම් මම මගේ ජීවිතය අවසන් කරනවා. මට තවදුරටත් ජීවත් වීමට අවශ්‍ය නැහැ” රියෝනාට නිතර මෙසේ සිතෙන්නට පටන් ගෙන තිබනවා.

නමුත් වාට්ටුවේ සිටි අනෙක් රෝගීන් පුදුම සහගත ලෙස ඇයට විශාල සහයෝගයක් ලබා දී තිබෙනවා. වෛද්‍යවරුන්, අනෙකුත් රෝගීන් සහ මිතුරන්ගේ සහයෝගය ඇතිව, රියෝනා දිගටම ඇගේ මානසික සහ කායික ශක්තිය ගොඩනඟා ගත් අතර මාස හතරක් රෝහලේ ගත කිරීමෙන් පසු අවසානයේ නිවසට යාමට අවසර ලැබෙන්නේ ඒ අතර. 

දෛවය හාස්කම් කරන්නේ පුදුමාකාර අයුරින්. නැවත වරක් තම දෙපයින් නැගී සිටි පසු, රියෝනා තම ෆේස්බුක් පිටුවේ දැන්වීමක් පළ කළේ ඇයට දිගටම ශක්තිමත් වීමට උපකාර කිරීම සඳහා පුද්ගලික පුහුණුකරුවෙකු සොයමින්. මේ ඒ පිළිබඳ ඇගේ වචන.

“පසුගිය ජනවාරි මාසයේ මම ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැම්මේ මට උදව් කරන්න පෞද්ගලික පුහුණුකරුවෙකු සොයමින්. සමහර මිතුරන් කීත් සමඟ සම්බන්ධ වීමට මට යෝජනා කළා” රියෝනා ඇගේ සිහින තරුව වන කීත්ගේ හමුවීම පැහැදිලි කළා.

කීත් ප්‍රකට රගර් ක්‍රීඩකයෙකු වන අතර ජනප්‍රිය කතා මාලාවක් වූ Peaky Blinders හි රංගන ශිල්පියෙකු ලෙස ද කටයුතු කරයි.

ඉන්පසු කීත් පුහුණුකරුවෙකු ලෙස රියෝනා සමග සම්බන්ධ වෙනවා. ඔවුන්ගේ ආදර සබඳතාව කෙමෙන් ගොඩ නැගෙන්නේ එලෙසින්.

“අපි දැන් මාස 11ක් එකට හිටියා, ළමයි ඇත්තටම එයාට කැමතියි. වසර ගණනාවකට පසු වුණත්, මට ලැබිය යුතු ජීවිතය මම ගත කරනවා කියලා මට දැන් දැනෙනවා”

මේ හමුවීමෙන් පසු, කීත් තමන්ට ශක්තිමත්ව මෙන් ම වඩාත් විශ්වාසයෙන් අභියෝග ජයගන්නට සහයෝගය ලබා දෙන බවයි රියෝනා පවසන්නේ. 

“කීත් පවසන්නේ මම ඔහුට ආශ්වාදයක් ලබා දෙන බව. ඔහුත් මට එලෙසමයි. සෑම දිනකම මාව දිරිමත් කරන අතර මම සිටින වේදනාව හොඳින් තේරුම් ගන්නවා” 

දරුවන් හා ඔහු මේ කෙටි කාලයට ඉතා තදින් බැඳී ඇති බවත්, ඇය දිනෙන් දින කීත්ට ආදරේ වැඩි වෙන බවත් රියෝනා පවසනවා.

“මගේ අසනීපයෙන් පසු මම සිතුවේ මගේ ජීවිතය අවසන් වූ බවයි. නමුත් එය ආරම්භය පමණක් වන බවත්, එය මට බොහෝ  දොරටු විවර කර දුන් බවත් මම තේරුම් ගත්තා. මගේ පළමු රූපවාහිනී වෙළඳ දැන්වීමට පසුගිය දා මම මුහුණ දුන්නා”

එකිනෙකා තේරුම් ගැනීමත්, එකිනෙකා කෙරෙහි විශ්වාසය තැබීමත් නිසා රියෝනා – කීත් යුවළගේ ඉදිරි ගමන පැහැදිලි බව පෙනෙන්නට තිබෙනවා.

Related Articles

Don't Miss


Latest Articles