වංචාකාරී ප්‍රේමයකින් බිඳ වැටී යළි ගොඩනැගුණු තරුණියක්

(මනෝ උපදේශිකා කුමුදුනී වෙඩිසිංහ මහත්මියගේ වෘත්තීය ජීවිතයේ සත්‍ය සිදුවීමක් ඇසුරිනි. වෘත්තීය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

සමාලි විසිපස් හැවිරිදි සරසවි සිසුවියක්. ඇය ග්‍රාමීය පරිසරයක හැදුණු යුවතියක්. නමුත් ප්‍රධාන පෙළේ පාසලක උගත් ඇය ඉතා ව්‍යක්ත ලෙස ඉංග්‍රිසී භාෂාව කතා කරන හොඳ බුද්ධි මට්ටමක් සහිත කෙනෙක්. ඇගේ දෙමාපියන් ද ඉතා උගත් අය. ඔවුන් සමාජයේ වැදගත් යැයි සම්මත රැකියාවල නිරත වුණා.සමාලි විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේදී ද විශාදය වෙනුවෙන් ප්‍රතිකාර ලබාගෙන තිබුණා. නමුත් ඒවා දිගින් දිගටම පවත්වාගෙන යන්නට ඇය ක්‍රියා කර තිබුණේ නැහැ. දෙමාපියන් දෙදෙනා සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ යම් දැනීමක් තිබූ අය හන්දාම විශාදය සඳහා ඖෂධ ප්‍රතිකාර දිගින් දිගටම ගැනීම ඔවුන් එතරම් අනුමත කර තිබුණේ නැහැ.එය පාලනය කරගත හැකි තත්ත්වයක් බව ඔවුන් සමාජයට පැහැදිලි කර තිබුණා.

සමාලි මානසික ප්‍රතිකාර සඳහා යොමු වෙද්දී ඇය විද්‍යා අංශයෙන් උපාධිය ලබාගෙන නිවසට වී සිටියා. සැබෑවටම විද්‍යා උපාධියක් ගත් කෙනෙකුට ඉන් පසු නිවසට වී රැඳී සිටීමට කාලයක් නැහැ. එතනින් එහා කළ හැකි බොහෝ දේ තිබුණත් ඇය කිසිම දෙයකට යොමු වන්නට කැමැත්තක් තිබුණේ නැහැ.

“දුව මෙහෙම හැසිරෙන්නේ ඇයි?”

මවුපියන්ට විශාල ගැටලුවක් වන්නට පටන් ගත්තා. ඇයව මනෝ උපදේශකතුමිය වෙත යොමු කරන්නට දෙමාපියන් තීරණය කරන්නේ ඉන්පසුවයි.

සමාලිගේ ප්‍රේම සම්බන්ධතාවය ඇගේ ගමේම තරුණයෙක් වූ කසුන් සමඟ පැවතුණා. එය පාසල් ප්‍රේමයක්. තමන් හොඳ පවුලක දරුවකු නිසා තමන්ගේ පවුල් පසුබිමට ගැලපෙන කෙනෙකුට ආදරය කරන්න ට සමාන තීරණය කර තිබුණා.ඔවුන් භෞතික කාරනා වලින් ඉතාම හොඳින් ගැලපුණා. කසුන්ගේ ජීවිතයේ  එකම ඉලක්කය වූයේ යුරෝපා රටක ජීවත් වීමයි. නමුත් ඔහුගේ ගමන සඳහා ඉත්තා ලෙස භාවිතා කළේ සමාලිවයි. 

“කැම්පස් අවුට් වුණාට පස්සෙ අපි මැරි කරමු. ඊටපස්සෙ ඔයාගෙ මාස්ටර්ස් එකට ඕස්ට්‍රේලියා, ඇමරිකා වගේ යන්න ට්‍රයි කරමු. “

කසුන් නිතර දෙවෙලේම සමාලිට එසේ පැවසුවා. එවිට ඔහුට ඇය සමඟ විදෙස් ගතවීමට හැකි බව ඔහු දැන සිටියා. බොහොම සරලව සරළව කිවහොත් කසුන් මේ ප්‍රේමය පවත්වාගෙන ගියේ අරමුණු සහිතවයි. එතැන ප්‍රේමයක් පැවතුණේ නැති තරම්.

“IELTS කරන්න.දැන්ම ඒකට ලෑස්ති වෙන්න.”

සමාලිගේ විශ්ව විද්‍යාලයේ අවසන් විභාගය පැවැත්වෙන දවස් වල පවා කසුන් ඇයට එසේ පෙරැත්ත කළා. නමුත් එය ඒ ආකරයෙන් කරන්නට නොහැකි බව සමාලි දැන සිටියා. අවසන් විභාගය තරමක විශාල වැඩක් වූ අතර එහි හොඳින් අවසන් කර ඉන් පසු ලබන කාලයේ IELTS විභාගයට මුහුණ දීමට සමාලි අදහස් කරමින් සිටියේ. නමුත් කසුන් එයට අකමැති වීම නිසා ඔවුන් අතර නිරන්තර ගැටුම් පැන නගිමින් තිබුණා.

සමාලි විශාල වශයෙන් ආදරය බලාපොරොත්තු වෙන යෞවනියක්. ඇය තවම හුරතල් වන්නට ද කැමති කෙනෙක්. ඇය විලාසිතා කරමින් ඉතා මෘදු ගුණ පවත්වාගෙන යමින් ස්ත්‍රී ලාලිත්‍ය සහිතව ජීවත් වූ කෙනෙක්.

“මං ඔය මොන්ටිසෝරි වැඩවලට ආස නෑ. හුරතල් වෙන්න එන්න එපා.”

කසුන් නිතරම එසේ පැවසුවා. සමාලි තරමක මහත සිරුරක් ඇති යුවතියක්. එක්තරා හින්දි නිලියකගේ නමක් කියමින් සමාලි ඒ නිලිය මෙන් යැයි කසුන් නිතරම පැවසුවා.

“මං ඔය පෙනුමට කැමතියි. එයාගේ ස්ටයිල්ස් ෆලෝ කරන්න.”

කසුන් එහෙම කිව්වත් සමාලි ආහාර පාලනය කරමින් හැඩැති සිරුරක් ලබා ගත්තා.ඉන්පසු ඇය ඒ සිරුරට ගැළපෙන විලාසිතා කරන්නට පටන් ගත්තා.ඇයට සැබෑවටම ලස්සන වූයේ සිහින් සිරුරක් බව හැම කෙනෙකුම කීවත් කසුන්නම් එය අනුමත කළේ නැහැ.

කසුන් සහ සමාලි අහසට පොළොව මෙන් ගතිගුණ පැවති අය. කසුන් ඇවිදීම, චිත්‍රපටි බැලීම ආදිය තරයේ ප්‍රතික්ෂේප කළා.ඔහු සමාලිගේ අතකින්වත් අල්ලන්නට ඒතරම් කැමති වූයේ නෑ. ආදරය සහ ලිංගිකත්වය පවතින්නේ අන්ත දෙකක බව ඔහු සමාලිට නිරන්තරයෙන් පැවසුවා.ගැහැනු සහ පිරිමි දෙයාකාර බව ඇත්ත. එය සැබෑවටම මේ දෙදෙනාගෙන් පැහැදිලි වන්නක්.

මනෝ උපදේශනයට යොමු වෙන විටත් සමාලි කසුන් සමඟ ප්‍රේම සම්බන්ධය නවතා දමා තිබුණා. නමුත් ඇගේ තිබූ ගැටළුව වූයේ සිතට දැනෙන වරදකාරී හැඟීමක්. ඇය ඒ වෙද්දී IELTS විභාගය සමත් වී තිබුණා. නමුත් ඇය කසුන්ට බොරුවක් කියා තිබුණා. ඒ විදෙස්ගත වීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයෙන් ලබා ගන්නා සහතිකයක් සම්බන්ධයෙන්. නමුත් ඒ ලිපිය ලබාගෙන එය නොලැබුණු බව ඇය කසුන්ට පවසා තිබුණා. කසුන් ඇයව විදේශගතවීම සඳහා මෙවලමක් ලෙස පාවිච්චි කරන බව සමාලි නිරන්තරයෙන් සිතා තිබුණා. ඒ නිසා මේ ලිපිය ගැන බොරු කියන්නට ඇය තීරණය කර තිබුණා. 

“මාව පාවිච්චි කරන්න උත්සාහ කරන්න එපා”

සමාලි කසුන්ට එය සෘජුව පවසා තිබුණු අතර කසුන්ගේ දැඩි සිත් රිදවීමටත් හේතු වී තිබුණා. ඉන්පසු ඇති වූ වීසා ගැටළු නිසා අදාළ විදේශ ගමන කරගන්නටත් ඔවුන්ට හැකි වී තිබුණේ නෑ. ඒ වෙද්දී ප්‍රේම සම්බන්ධතාවය නැවතී අවසන්.

“මට කසුන්ගෙන් උදේට කෝල් එකක් එනවා. රෑට කෝල් එකක් එනවා. අන්න ඒ වෙලාව පහු කරගන්න මට අමාරුයි. අනික මගේ අම්මයි තාත්තයි ඔෆිස් යනවා. අක්කාත් බිසී. මට තනිකමක් දැනෙනවා.”

සමාලි මනෝ උපදේශකවරියට එසේ පවසා තිබුණා. ඇය බලාගත් අත බලා සිටින බව,කිසිම දෙයක් කරන්නට සිත් නොදෙන බව ද ඒ සමඟම එය පැවසුවා.මේ කාලය වෙද්දී ඇය Internship එකක් කරගත යුතු කාලයක්.නමුත් ඇය එවැන්නකට යොමුවූයේ ද නැහැ. නමුත් ඇය සම්මුඛ පරීක්ෂණවලට යොමු වෙන්නේ නෑ. සමහර අවස්ථාවල අදාළ ආයතනයේ කසුන් යැයි නම් ඇති කෙනෙක් සිටීම ම ඇය රැකියාව ප්‍රතික්ෂේප කරන්නට හේතුවක්.

“ඇඟ මෙතන තිබ්බට දූ මෙතැන නෑ කියලා මට හිතෙන්නෙ”

සමාලිගේ තාත්තා උපදේශකවරියට පවසා තිබුණා.

අපි මිනිස්සු හැටියට ජීවිතයේ අත්‍යවශ්‍ය දේ වටහා ගත යුතු බව මනෝ උපදේශකවරිය සමාලිට පවසා තිබුණා. ඔහුට බොරු කීම නිසා සම්බන්ධතාවය නැවතුණ බව එතනින් කම්පා විය යුතු නැති බව ඇයට මනෝ උපදේශකතුමිය පැහැදිලි කර දුන්නා.කසුන් තුළ කිසිසේත්ම ආදරය නොපැවතුණු සම්බන්ධතාවයක් පැවතුණු බව ද පැහැදිලි කරන්නට මනෝ උපදේශකවරියට හැකියාව ලැබුණා.මේ සම්බන්ධතාවය අවසන් වී ඇති නිසා වෙනත් ප්‍රේම  සම්බන්ධතාවයකට යොමුවීමට සමාලි කැමති බව ද එහිදී පැහැදිලි කරගන්නට හැකියාව ලැබුණා. ඇය වඩාත් සංවේදී වූයේ දෙමාපියන් ගැන කතා කළ අවස්ථාවේදී.

“ඔයා සේරටම වඩා අම්මා තාත්තා ගැන හිතන්න ඕනේ නේද?” මනෝ උපදේශකතුමියගෙන් යොමු වූ මේ ප්‍රශ්නයට සමාලි වඩාත්ම සංවේදී වූ නිසා ඇයට ඒ කාරණය ඔස්සේ ගැටලු විසඳාගැනීමට උදව් කළ හැකි බව මනෝ උපදේශකතුමිය තේරුම් ගත්තා.ඇයට විවාහයකට යොමු වීම සඳහා අලුත් සම්බන්ධතාවයක් ඇය විසින් නිර්මාණය කර ගැනීමට වුවමනා නැති බවත් ඇයට සුදුසු විවාහයක් දෙමාපියන්ට සොයාදෙන මෙන් පවසන ලෙසත් ඇය මනෝ උපදේශකතුමියගෙන් ඉල්ලීමක් කරා. ඇයගේ වර්තමාන ජීවිතයේ ප්‍රධානම ඉලක්කය ලෙස රැකියාවක් සොයා ගැනීමත් ඒ ආයතනයේ කසුන් යැයි නම ඇති තරුණයන් කිහිප දෙනෙකු සිටියත් එය ගණනකට නොගැනීමටත් මනෝ උපදේශකතුමිය සමාලිව ධෛර්යමත් කළා. ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම උපදේශනය ලබා ගැනීමටත් සමාලි කැමැත්ත ප්‍රකාශ කළා. ඇගේ ජීවිතය තුළ දැනෙන පාළුව නැති කරගන්නට නිවසේ කටයුතු වල වගකීම ලබා දීමට ඊළඟ මනෝ උපදේශන සැසියේදී දෙමාපියන් ද එකඟ වුණා.නිදහස් අවස්ථාවලදී අන්තර්ජාලය හරහා චිත්‍රපට නැරඹීමට සමාලි කැමැත්ත ප්‍රකාශ කළා. ඇගේ ජීවිතය තුළ අත්‍යවශ්‍ය කාරණා සොයා දෙන්නට ඒ අනුව මනෝ උපදේශකතුමියට හැකියාව ලැබුණා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සහ ඇයට අවශ්‍ය දේ සොයා බලා ඉෂ්ට කිරීමට සමාලිගේ දෙමාපියන්ද එකඟ වුණා.සමාලි ඖෂධ ප්‍රතිකාර ලබාගත යුතු මට්ටමක සිටියේ නැහැ. අරමුණු සමඟ ජීවිතය පවත්වාගෙන යන්නට සමාලි එකඟ වුණා. නමුත් යම් ගැටළුවක් ඇති වුණොත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නටත් සමාලි සහ දෙමාපියන් එකඟ කරගන්නට මනෝ උපදේශකවරියට හැකි වුණා.

මේ සියළු කාරණා නිසා සමාලිව නැවත යථා තත්ත්වයට ගන්නට මනෝ උපදේශකවරියට හැකියාව ලැබුණා.

අප ජීවිතය තුළ පවත්වන අන්තර් සම්බන්ධතා නිවැරදිව සහ අවබෝධයෙන් පවත්වා ගැනීමත් යම් කඩා වැටීමකට පසු ජීවිතයේ සෙසු අවශ්‍යතා අමතක කර දැමීමත් කළ යුතුම නැහැ. නොගැළපෙන තැනකින් ඉවත් වූ පසු ද ඉතා ධෛර්යමත් ලෙස අපි අපේ ගමන යා යුතු වෙනවා. එය අපේ මානසික සෞඛ්‍යයට ඉතාම වැදගත්.

Related Articles

Don't Miss


Latest Articles