එයා මැරිලා හුඟක් කල් 8

“ලැගගෙන ඉන්න කොට”..?

කියලා තලා අහපු විදිහට  මටයි රාජටයි දෙන්නටම හිනා ගියා.ඒ වෙලාවේ අපි හිටියේ ගිනි කන්දකට වුණත් හිනා වෙන්න පුළුවන් මට්ටමක.. විස්කිවල පිහිටෙන්..

“ජනාශ්‍රී ඒ වෙනකොට හිටියේ රත්නාලෝකකාරයාගෙන් හැංගිලා..”

රාජා එහෙම කිව්වේ සුදු පාට තුහීන බැඳිච්ච විස්කි වීදුරුවෙ ලස්සන බලන ගමන් ගමං..

“ඒ කිව්වෙ..”

“මටත් අදහා ගන්න බැරි වුණා මිනිහා කියපු විස්තරය ඇහුවට පස්සේ.. මිනිහා කියන්නේ
රත්නාලෝක මුල් කාලයේදී බොහොම හොඳට යෝග විද්‍යාව එයාගෙන් ඉගෙන ගත්තලු.ඒත් එක දවසකදි එයාට තේරුණාලු රත්නාලෝක අමුතුයි කියලා.ඒ කියන්නේ එයාට තේරුණාලු අමුතු ජවයක් අමුතු බලයක් රත්නාලෝක ගාව තියෙනවා කියලා…
එයා ගුරුවරයා උනාට එයාව පහු කරලා යන්න තරම් බලයක් එක දවසකින් කොහොමද
රත්නාලෝකට හම්බ වුණේ කියන එක එයාට හිතාගන්න බැරුව ගියාලු…”

“කොහොමද ඉතින් එයාට ඒක තේරිලා තියෙන්නේ…”

“ඔය යෝග ව්‍යායාම කරනකොට මූලික දෙයක් තමයි සූර්යය නමස්කාරය.එරමිනියා ගොතාගෙන ඉඳගෙන අත් දෙක වැඳගෙන උඩට උස්සලා ඉර පැත්තට නමස්කාර කරන එක.

එදා රත්නාලෝක ජනාශ්‍රීට කිව්වලු එහෙම වැඳගෙන ඉන්නකොට එයාගේ අත් දෙක උඩ තියෙන  ඇඟිලි තුඩුවල හිට ගන්න කියල.මුලින් ජනාශ්‍රී හිතුවලු ඒක විහිළුවට කියනවා කියලා. ඒත් ජනාශ්‍රී කොහොමත් එයාගේ යෝග ව්‍යායාම් කුටියේ උඩ දාලා තියන ලණු දෙකක එල්ලිලා රත්නා ලෝකගේ උඩට උස්සගෙන ඉන්න ඇගිලි තුඩුවල හිට ගත්තලු.ඊට පස්සේ එයා ටිකින් ටික ලණුව අත ඇරියලු. ටිකකින් මෙයාට තේරුනාලු එයා සම්පූර්ණයෙන්ම හිටගෙන ඉන්නේ රත්නා ලෝකගේ ඇඟිලි තුඩු උඩ කියලා.යෝග ව්‍යායාම කාමරය ඇතුලේ හතර පැත්තෙන්ම කන්නාඩි තියෙන හින්දා එයාට බොහොම පැහැදිලිව රත්නාලෝකගේ මූණ පෙනුනලු. ඒ වෙලාවේ එයා දැක්කලු රත්නා ලෝකගේ ඇස් දෙක ගින්දර වගේ දිලිසෙනවා.අවුරුදු හැත්තෑවක විතර වයස මනුස්සයෙක් මේ විදිහ දෙයක් කරන්නේ කොහොමද කියන එක එයාට හිතාගන්න බැරුව ගියාලු.සාමාන්‍ය ලෝකෙදි නම් විශාල මාර්ගඵලයක් ලබලා තියෙන්න ඕනෙලු මේ වගේ හපන්කමක් කරන්න.ඒත් ජන ශ්‍රී දන්නවා රට පාලනය කරන දේශපාලනඥයින්ට මාර්ගඵල ලබන්න බැරි බව.විශේෂයෙන්ම රත්නාලෝක වගේ අණ්ඩපාලයින්ට…මේ සිද්ධියෙන් පස්සේ එයා හුඟක් බය උනාලු.ඊට පස්සේ එයාට ඕන උනාලු
රත්නා ලෝකගෙන් අයින් වෙන්න.දිගින් දිගටම දිගින් දිගටම රත්නාලෝක එයාට බල  කරන්න ගත්තලු තව තව අලුත් යෝග ක්‍රම එයාට කියලා දෙන්න කියලා.ඒත් ජනාශ්‍රී ට  තේරුනාලු මේක මේ යෝගවලින් කරන වැඩක් නෙමෙයි කියලා..”

“යකෝ මාර කතාවක් නේ ඒක..
මොන අපබ්‍රංසයක්ද ඒ..”

මං එහෙම කිව්වෙ ඇත්තටම මයි..

“ඔව් මටත් එහෙම හිතුනා… “

රාජා කිව්වෙ ඈත හිටපු වේටර්ට ඇඟිල්ල උස්සලා තව පෝක් ප්‍රයිඩ් ප්ලේට් එකක් ඕනෙයි කියලා පෙන්නන ගමන්.

“මෙහෙමයි රාජා … සමහරවිට ඇත්තටම ඕක ඕක බොරුවක් වෙන්න ඇති.මොනවා හරි කේස් එකකට ඕකා හැංගිලා ඇත්තේ..ඒක වහගන්න තව ගජබින්නයක් අතහැරියා..”

මං එහෙම කිව්වම තලා හිනා උනා..

“නෑ බං… ජනාශ්‍රී කියන්නෙ ඇත්ත . ඌ නම් කොහොම හරි පැනගත්තා.. දැන් අහුවෙලා තියෙන්නේ මාව..මේ විස්තර හැම දෙයක්ම රාජා එක්ක මං කිව්වා. ඒ හින්දා තමයි අද මම මෙතනට ආවෙත්…”

“යකෝ… මොකක්ද මේ වෙන්නේ..දැන් හංගන්නැතුව  ඔක්කොම කියපල්ල මට..”

මං කිව්වෙ  අලුතින් ගෙනාපු ප්‍රයිඩ් එකෙන් දුන් දාන තෙල් කෑල්ලකට කටින් පිබින ගමං..

“දෙවැනි අදියරට සාදරෙන් පිලිගන්නවා… “

කියලා රාජා ඇස්කට් බ්‍රැන්ඩි බෝතලයක් කැඩුවා..

” බ්‍රැන්ඩි කාලට ස්ප්‍රයිට් දැම්මම මොක්ටේල් රසයි බං…”

කියපු තලා වීදුරුව ලයිට් එළියට අල්ලලා  හොල්ලලත් බැලුවා..

“දැන් උඹලට මම මගේ ස්ටෝරි එක කියන්නම්. හැබැයි මැදින් ප්‍රශ්න අහන්න බෑ..”

කියලා මාව පෙන්නපු තලා හයියෙන් හිනාඋනා..

“නැත්නම් මට සමහර කොටස් කතාවේ අමතක වෙනවා..
දැන් උඹලා දන්නවනේ මම කවුද කියන්න..මම තමයි රත්නා ලෝකගේ පෞද්ගලික සෞඛ්‍ය උපදේශක.ඒ වගේම රත්නාලෝකගේ පෞද්ගලික වෛද්‍යවරයා.එතකොට මගේ ඩියුටි එක තමයි දවසේ පැය දොළහක් රත්නා ලෝක එක්ක මම රැඳිලා ඉන්න ඕනේ. ඒ කියන්නේ එයා කොහේ හරි සංචාරයක ගියත් මම පිටිපස්සෙන් ඉන්න ඕනෙ. වැඩේ බොහොම ලේසියි වගේ පිටින් ඉන්න කෙනෙකුට පෙනුනට රස්සාව බාර අරගෙන ටික දවසක් යනකොට තමයි මට තේරුනේ මගේ සම්පූර්ණ පෞද්ගලික ජීවිතය මට නැතිවෙලා කියලා.ඇත්තටම කියනවනම් මට ගෙදරක් තිබුණෙ නැති තරම්. ප්‍රියංවදා මාත් එක්ක සෑහෙන්න  මේ ගැන වාද විවාද කරන්න පටන් ගත්තා. ඇත්තටම කියනවනම් හොඳ පඩියක් හම්බ වුණාට මට ගෙදර යන්න තියා ගෙදරට කතාකරන්නවත් වෙලාවක් හම්බවුණේ නෑ.
රත්නා ලෝකට එයා ලෙඩ වෙයි කියලා පුදුම බයක් තිබුණේ.අපේ ක්‍ෂේත්‍රය අනුව ගත්තහම නම් ඒක යම්කිසි මානසික ෆෝබියාවක් කියලා කියන්නත් පුළුවන්. මිනිහා උදේට කන්නේ පලතුරු විතරයි.බොන්නේ උදේට කොළ කැඳ එකක්.මේ සේරම තමන්ගේ ජනාධිපති මන්දිරයේ වත්තේ වවාගන්න දේවල්.ඒ දේවල් වලට රසායනික පෝර කිසිම දෙයක් දැම්මේ නැහැ. තෙල් ගැහුවේ නැහැ.ජනාදිපති මන්දිරයේ උයලා ඉතුරු වෙන කෑම තමයි පෝර හැටියට ඒ පැල වලට ඔක්කොම දැම්මේ.. කොච්චර සෞඛ්‍ය ගැන හිතුවද කියනවනම් එයා කන කෑම පිඟාන කෝප්පය හෝදන්න ඕනේ අපි දැන් ඔය බඩු හෝදන සබන් කෑල්ලෙන් නෙමෙයි.කෑම උයන දර ලිපේ අලුවලින් තමයි එයාගේ භාජන ඔක්කොම හෝදන්න ඕනේ. ජනාධිපති මන්දිරයේ වැඩකරන අනික් අයට ගෑස් වලින් කෑම ඉව්වට රත්නා ලෝකගේ කෑම උයන්න වෙනම මැටි හට්ටි තිබුණා.  දර ලිපේ තමයි උයන්න ඕනේ. සමහර වෙලාවට ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මනුස්සයා කොච්චර සරල මනුස්සයෙක්ද ගමේ විදිහට ජීවත් වෙන්න කොච්චර කැමතිද කියල. ඒ වුණාට කොළඹ හතේ ගෙදරක දරවලින් උයනවා කියන එක සෙල්ලමක් නෙමෙයි. ඒකෙ කිසිම සරල කමක් නැහැ.ටික දවසක් එයාව ආශ්‍රය කරනකොට තමයි තේරෙන්නේ  ඒක යම්කිසි මානසික ෆෝබියාවක් හින්දා කරන දෙයක් කියල.
හරි දැන් කතාව ඒක නෙමෙයි..රත්නාලෝක සතියකට සැරයක් එයාගේ ෆුල්බොඩි චෙක්අප් එකක් කරගන්නවා.ඒත් මදි කියලා හිතුනොත් scan එකක් පවා කරගන්නවා. සතිය ගානේ මේ ටෙස්ට් කරන හින්දා මිනිහගේ ඇඟේ තියෙන අංගෝපාංග වල සංයුතිය කටපාඩම්.. මං හිතන්නේ එතකොට මිනිහට වයස හැත්තෑවයි.වයස  හැත්තෑවේ මනුස්සයෙකුගේ තිබිය යුතු නියමිත ප්‍රමාණයන්ගෙන් හැමදේම තිබුණා.ඒ වගේම රත්නා ලෝක ගොඩක් එයාගෙ රූප සම්පත්තිය ගැන එහෙමත් හිතුවා. ඒකට එයා ලංකාවෙ  ප්‍රසිද්ධම වෙද පරම්පරාවේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍යවරයෙක්ව සහභාගී කරගත්තා. ජනාධිපති මන්දිරයෙන් පිටිපස්සෙ කොටසේ හරියට ආයුර්වේද හොස්පිට්ල් එකක්  වගේ.. තේක්ක ලීයෙන් කරපු මහ විශාල බෙහෙත් ඔරුවක් තිබුණා. මී ඇට තල ඇට මදටිය කොකුම් පොතු නෙළුම් මල් වගේ තව ගොඩක් ජාති දාලා මොකක්දෝ අමුතු මිශ්‍රණයක්  ඒ වෙද මහත්තයා හදනවා. රත්නා ලෝක දවස් දෙකකට සැරයක් ඒ තෙල් සම්බාහනය ලබාගන්නවා.
විශේෂයෙන්ම තායිලන්තයෙන් ආනයනය කරපු ගොළුබෙල්ලෝ විශේෂයක් එක්ක සතියකට දවස් තුනක් රත්නාලෝක ඉන්නවා.සම්පූර්ණ ඇඳුම් අයින් කරලා ගොළුබෙල්ලන්ට තමන්ගේ ඇඟ සම්පූර්ණයෙන්ම ලෙවකන්න ඉඩ දෙනවා. මේවා ඇහෙනකොට හිරිකිතයි තමයි.දැක්කහම ඊටත් වැඩිය හිරිකිතයි.හැබැයි මෙහෙම මාස හයක් විතර කරනකොට ටිකෙන් ටික මිනිහගෙ හම පාට වැටෙන්න ගත්තා තමයි.හැබැයි බොහොම හෙමින්..සාමාන්‍ය විදිහට.ඕනම දේකට උපරිමයෙන් සාත්තු කරනකොට පොඩි හරි ප්‍රතිඵලයක් පෙනෙන්න තියන එක සාමාන්‍ය දෙයක් නේ..
එක දවසක් හරි විශේෂ වැඩක් වුණා.මේ සිද්ධිය සිද්ධ වුණේ මීට අවුරුදු දෙකකට විතර කලින්.එතකොට ඔය ජනා ශ්‍රී ගේ යෝග පන්තිය එහෙම නැගලා යන කාලේ..එක දවසක හැන්දෑවක රත්නා ලෝකව හම්බවෙන්න කවුද මනුස්සයෙක් ආවා.ජනාධිපතිව එහෙම හිතුමනාපෙට ඒ හැමෝටම හම්බවෙන්න බැරි බව උඹලා දන්නවනේ.. මමත් එතකොට හිටියේ රත්නාලෝකගේ ඔෆිස් එකේමයි.. ගේට්ටුවෙන් ඉන්ෆෝර්ම්  කළා සර්ව හම්බවෙන්න විශේෂ අමුත්තෙක් ඇවිල්ලා ඉන්නවා කියල . සාමාන්‍යයෙන් වෙන්නේ ආරක්ෂිත කැමරාවෙන් ඇවිල්ලා ඉන්න කෙනාගේ රූපය පෙන්නනවා.එතකොට රත්නා ලෝක එයාව හම්බවෙන්න කැමතියි නම් ඔෆිස් එකට එවන්න කියනවා. ආරක්ෂිත කැමරාවෙන් ඇවිල්ලා ඉන්න මනුස්සයාගේ රූපය පෙන්නුවා විතරයි රත්නාලෝකගේ මූණ වෙනස් වුණා. ඒක මට කියන්න තේරෙන්නෙ නැහැ. රත්නා ලෝකගේ ඇස් දෙක අමුතු උනා.ඒක නිකං හරියටම කියනවනම්… ආ… ආ… ආ…. මේ…  මං… හිතන්නේ
මෝහනය උනා වගේ….”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles