මතක දිගහැරුම 110 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය දහවන දිගහැරුම ,

අප ගතකරන කාර්ය බහුල ජීවිතය නිසා නිවසේ කටයුතු වලට සහයෝගය දැක්වීම සඳහා සේවකයන් සිටියහ.එම සේවකයන් සඳහා කිසිම දිනයක මා බැණවැදී නැත.ජීවත්වීම සඳහා අවැසි ක්‍රමවේදයක් සොයා ගෙන අප නිවසේ සේවයට පැමිණෙන ඔවුන් හට මා මෙන්ම අප පවුලේ සියලු දෙනාම ද ඉතාම කරුණාවෙන් සැලකුවෙමු.ඇතැම් නිවෙස් වල සේවකයන් හට ඉදිරිපස දොරෙන් නිවසට පිවිසීමට වත් ඉඩ නොදෙන අතර , ඔවුන් සඳහා ආහාර ද වෙනමම පිස ගත යුතුය.ඒ වගේම තම සේවකයන් හට ඉතා හොඳින් සලකන පිරිස් ද මා දැක ඇත්තෙමි.තමන්ගේ පෞද්ගලික හේතු මත සේවයෙන් ඉවත් වූ අය හැර අනෙක් බොහෝ දෙනා අපගේ නිවසේ දීර්ඝකාලීනව සේවය කළ අය වූහ.ඔවුන් සේවයට බැඳෙන අවස්ථාවේදීම මා ඔවුන් හට ඇති කාර්යභාරය ඉතා හොඳින් පැහැදිලි කර දෙමි.එසේ පැහැදිලි කරදෙන මා එම වැඩ කොටස කරන්නේ කොපමණ කාලයක් තුළ ද ,කරන්නේ කෙසේද යනුවෙන් නිතර නිතර සොයා බලන්නේ නැත.නියමිත වැඩ කොටස හරි ආකාරයෙන් ඉටු කිරීම සඳහා මා ඔවුන්ට සම්පූර්ණ නිදහස ලබා දෙමි.එපමනක් නොව දවල් ආහාර ගැනීමෙන් පසුව පැයක හෝ දෙකක නින්දක් ලබා ගැනීමට සහ විවේක ගැනීමට මා ඔවුනට උපදෙස් දී ඇත්තෙ අප සියලු දෙනාම මනුෂ්‍යයන් වන නිසාය.

උදෑසන දරුවන් පාසල් යන විට ආහාර පාන සකස් කිරීම සඳහා අලුයම් කාලයේ මා අවදි වන අතර ඒ සඳහා මා නිවසේ සේවකයන් අවදි කරන්නේ නැත.අප සියලු දෙනාටම ආහාර පිසින්නේ එකම ආකාරයටය .සෑම සේවකයෙකුටම අප නිදහස ලබා දී තිබූ අතර එම නිදහස අයුතු ආකාරයට ප්‍රයෝජන ගත් අයට කිහිප වරක් අවවාද කිරීමද අප සිදු කලෙමු.කෙසේ නමුත් සෑම සේවකයෙකුටම අප පවුලේ සාමාජිකයන්ට මෙන් සැලකූ නිසා ඔවුන් අපට හිතවත් ව ඉතා හොඳින් සේවය කළහ.විශේෂයෙන්ම මගේ තාත්තා ඔවුන් හා ඉතා හිතවත්ව කටයුතු කළ අතර දහවල් කාලයේ බොහෝ විට බොහෝ විට නිවසේ රැඳෙන්නේ ඔහු හා සේවකයන් පමණක් නිසා ඔහු ද අප මෙන් ම ඉතාම කරුණාවෙන් ඔවුනට සැලකූහ.

අප නිවස පිහිටා තිබෙන අවට ජීවත් වන්නේ හෂාන්ගේ නෑදෑයන් ය.හෂාන්ගේ ලොකු නැන්දා ජීවත් වන්නේ අපගේ නිවසට මදක් නුදුරින් ය.බොහෝ දිනවල සවස් කාලයේ එම නිවෙසට යන අපගේ තාත්තා නැන්දා සමගින් කතා බහ කරමින් කාලය ගත කරයි .සවස 4ට පමණ ඉතා හොඳින් හැඳ පැළඳ සූදානම් වන තාත්තා නැන්දාගේ නිවසට යන ඇතැම් විට අප ඔහුට විහිළු කරන්නේ පෙම්වතිය බලන්නට යනවා කියාය.තේ පානය කරමින් අතීත කතා සිහිපත් කරමින් ඔවුහු කාලය ගත කරති.එපමනක් නොව හෂාන්ගේ දෙමව්පියන් සමග ද මගේ තාත්තා ඉතාම සුහදත්වයෙන් යුතුව කටයුතු කළේය.විවාහ මංගල උත්සව සඳහා හෂාන්ගේ අම්මා කේක් සැකසීම කළ අතර ඒ සඳහා සහයෝගය දීමට විවිධ අය පැමිණෙන විට මගේ තාත්තා ද එම ස්ථානයට ගොස් ඔවුන්ට සහයෝගය දක්වති.

මහරගම අනූශා සිනමාහලේ කළමනාකරු ලෙස සේවය කළ මගේ තාත්තාට ඕනෑම අවස්ථාවක චිත්‍රපට නැරඹීම සඳහා යාමට අවසර පත්‍ර තිබුනි.සිනමාහලට නව චිත්‍රපටයක් පැමිණි විට මගේ තාත්තා අශාන් ගේ දෙමව්පියන් ,නෑදෑයන් සහ සේවකයන් කැටුව එම චිත්‍රපට නැරඹීමට ගියේය.

සවස් කාලයේ දී අපගේ නිවසේ ඉදිරිපිට තබා තිබෙන පුටුවක වාඩි වන තාත්තා අප නිවසට පැමිණෙන්නේ කුමන මොහොතේ දැයි බලා සිටියි.නිවසට පැමිණි විට ආහාර ගත්තාදැයි ඇසීමටද තාත්තා අමතක කරන්නේ නැත.කාර්යබහුල ජීවිතයක් ගත කරන හෂාන් හට ඇතැම් අවස්ථාවල දී එය ඇසීමට අමතක වන නමුත් තාත්තා කිසි දිනක එය අමතක කළේ නැත.වැරදීමකින් හෝ දහවල් ආහාරය ලබා ගැනීමට මට නොහැකි වූ බව පැවසුවහොත් තාත්තා ඒ පිළිබඳව බොහෝ කම්පාවෙන් ආහාර වේල් මග නොහරින්නයි මට අවවාද කරයි.

මගේ වැඩිමහල් නිවුන් දරුවන් දෙදෙනා විශාල ධර්මාවබෝධයක් සහිත දරුවන් දෙදෙනෙකි.තාත්තා විවේක සුවයෙන් කාමරයේ සිටින විට පුතුන් දෙදෙනා ඔහුගේ කාමරයට ගොස් ඔහුට ධර්මය පිළිබඳව කියා දෙයි.තාත්තාගේ කාමරයෙ නිරන්තරයෙන්ම බණ කැසට් පටයක් ප්‍රචාරය වන අතර ඔහුද අපගේ පුතුන් දෙදෙනාගෙන් ධර්මාවබෝධය ලබා ගැනීමට විශාල කැමැත්තක් දැක්වූයේය .

ඕකිඩ් මල් වලට ප්‍රිය කරන මා මිදුලේ ඒවා වවා තිබෙන අතර තාත්තා ඒවා රැකබලාගැනීම වතුර දැමීම ආදිය සිදු කරයි.වත්තේ වවා තිබෙන දෙහි, දොඩම්, දිවුල් සහ නාරං කඩාගෙන එන තාත්තා ඒවායින් යුෂ සකස්කර අපට පිළිගන්වයි.මට දක්වන ආදරය සහ සෙනෙහස තාත්තා අඩුවක් නැතිවම හෂාන්ට ද දැක්වූයේ හෂාන් ඔහුගේම පුතකු මෙන් සියලුම යුතුකම් වෙනුවෙන් ඉටු කළ නිසාය.බොහෝ අවස්ථාවල නංගී ද අප නිවසට පැමිණෙන අතර සියලු දෙනා සමඟම සතුටින් කතාබස් කරමින් කාලය ගත කිරීමට තාත්තා බොහෝ කැමැත්තක් දැක්වූයේය .

බොහෝ වෙහෙස මහන්සි වී පැමිණෙන දිනවල අපට උදෑසන හයයි තිහ පමණ වනතුරු නිදාගැනීමට ඉඩ සලසන තාත්තා අලුයම පහයි තිහ වන විට අවදි වී සේවකයන්ට නිවස තුලට පැමිණීම සඳහා නිවසේ දොරවල් ඇර දෙයි.සෑම රාත්‍රියකම අප රාත්‍රී ආහාර ගෙන සියලු වැඩ කටයුතු අවසන් වූ පසු නිවසේ සියලුම දොරවල් වසා දමන්නේ ද තාත්තාය. ඒ ආකාරයට ඔහු ,ඔහුට හැකි සෑම අයුරකින්ම අපගේ කටයුතු වලට සහයෝගය ලබා දුන්නේය.

යම් හෙයකින් අප අසනීප වුවහොත් තාත්තා විවිධ බෙහෙත් වර්ග සකස් කර දෙන්නේ අම්මා මෙන් ය.අපට දුකක් කරදරයක් වූ විට අපටත් වඩා ඇතැම් විට දුක් වන්නේ තාත්තාය.ජීවිතයේ අපට මුහුණ දීමට සිදුවන ගැටලු වල දී අපට නොපෙන්වා ඒ පිළිබඳව දුක් වන තාත්තා හැම වතාවකදීම අපව ශක්තිමත් කළේය .ඒ වගේම අපට හැකි සෑම අවස්ථාවකදීම අම්මා සිහිපත් කරමින් අප ඇය වෙනුවෙන් බොහෝ පින්කම් කළෙමු.ඒ පිළිබඳව තාත්තා පසු වූයේ ඉතාම සතුටෙන් ය.

2018 වසරේ ප්‍රථම වතාවට අපගේ වැඩිමහල් පුතු වන දුවිඳු එංගලන්තයේ තරග සංචාරයක් සඳහා සහභාගී විය .ඔහු පිටත් වීමට සූදානම් වන අවස්ථාවේදී ඔහු යන බව කියමින් මගේ තාත්තාම වැළඳගත් විට තාත්තාට හැඬුම් ආවේය.දරුවන් වැඩි කාලයක් තාත්තා සමඟ ගත කල නිසා ටික දිනකට හෝ පුතු ගෙන් වෙන්වීමට සිදුවීම පිළිබඳව තාත්තා බොහෝ දුක් විය.කෙසේ හෝ එම සිදුවීම පිළිබඳව ඒ අවස්ථාවේදී මගේ සිතට විශාල අමුත්තක් දැනුණු අතර එය කිසිම දිනයක මගේ සිතට නොදැනුනු ආකාරයේ හැඟීමකි.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles