මතක දිගහැරුම 18 – අප්සාරි සිංහබාහු තිලකරත්න

දහ අටවන දිගහැරුම,

අප කණ්ඩායමේ සිටි හැම හැම දෙනාම පාහේ බොහෝම විනෝදකාමී අය වූහ. එය රැකියාවේදී පවා ඉතාම පහසුවක් වූ අතර ප්‍රධානීන් බොහෝමයක් දෙනා පවා එසේ විය. නමුත් සමහර දිනවල කණ්ඩායමේ ප්‍රධානියා ලෙස තරමක් දැඩි ස්වභාවයකින් යුත් අයෙක් ලැබුනහොත් ඇතැම් අය රැකියාවට එදිනට පැමිණීමට පවා තරමක් මැලිවෙති. කුඩා දේවල් වලට පවා බැනුම් ඇසීමට සිදු වන නිසා සමහරුන් එසේ ක්‍රියා කළහ. ඇතැම් ප්‍රධානීන් හට අප අකුරටම වැඩ කිරීම අනිවාර්ය වූ අතර ,ඇතැම් අය ඕනෑවටත් වැඩියෙන් අප පිළිබඳව සහ අපේ කටයුතු පිළිබඳව සොයා බලයි. නමුත් මට කිසිදිනක , කිසිදු ආකාරයේ ගැටලුවක් ඇති වී නැති අතර මා සියළු දෙනා සමඟම ඉතාම සහයෝගයෙන් සහ උනන්දුවෙන් මගේ රැකියා කටයුතු කළෙමි.

ස්විට්සර්ලන්තයට ගිය විට අප නවාතැන් ගන්නේ විලක් අසල හෝටලයක ය. එම හෝටලයේ අය විසින් විල අසල බාබකිව් දැමීමට අවශ්‍ය දර ඇතුලු අනෙක් සියලු පහසුකම් සපයා තිබුණි. අපට තිබුණේ අපට අවශ්‍ය මස් මාළු වර්ග රැගෙන ගොස් සකස් කරගැනීම පමණි . සුදු ජාතික බොහෝමයක් පිරිස් එම ස්ථානයේ තැන් තැන්වල ඒ ආකාරයෙන් බාබකිව් දමමින් පසුදින එළිවන තුරු කතාබස් කරමින් ගී ගයමින් සතුටු වෙති. ස්විස්ටර්ලන්ත ජාතිකයෙක් සමග විවාහ වූ ශ්‍රී ලාංකික කාන්තාවක් එකල අප සමග මිතුරු වී සිටියාය. ඇය අපට බෙහෙවින් ආදරය කළ අතර ඇය ජීවත් වූයේ අප නවාතැන් ගන්නා හෝටලය අසලමය . අප පැමිණි බව ද දැනගන්නා ඇය අපව බැලීමට එම හෝටලයට එයි. ඇය පැමිණි විට අපට අවශ්‍ය මස් මාළු මිලදී ගැනීම සඳහා අප ඇයට මුදල් ලබා දෙන අතර ඇය ඒවා මිලදී ගෙන marinate කර ඇගේ බයිසිකලයේ ඉදිරිපස කූඩයේ ඒවා දමාගෙන නැවත අප සිටින හෝටලය වෙත පැමිණෙයි. ඉන්පසුව ඇය ද අප සමග විනෝද වීමට එක්වේ. අප සියලු දෙනාම ද අනික් අය මෙන් ගී ගයමින් කතාබස් කරමින් බොහෝ සේ විනෝද වූයෙමු.

මගේ ජීවිතයේ විවිධ වූ කාල වලදී මා ලැබූ අත්දැකීම් පිළිබඳව ඇත්ත වශයෙන්ම මා මේ වන විට අතිශයින්ම සතුටු වෙමි. අවුරුදු 18 දී ජපානය බලා ගිය කාලයේ සිටම විවිධ වූ මිනිසුන් , ඒ අයගේ සිතුම් පැතුම් , චාරිත්‍ර වාරිත්‍ර ,සංස්කෘතීන් පිළිබඳ මා ලැබූ අත්දැකීම් බොහොමයක් ඇත. ඒ වගේම විවිධාකාරයේ මිතුරු මිතුරියන්ද මා හට බොහෝමයක් සිට ඇත. කොතරම් මිල මුදල් තිබුනට ගන්න නොහැකි එවැනි අත්දැකීම් මගේ ජීවිතයේ මට තිබීම පිළිබඳව ඇත්තෙන්ම මට ඇත්තේ නිහතමානී සතුටකි.

Amsterdam හී ඇති Surinami නමින් හැඳින්වූ රතු ඉන්දියානු ආහාර සහිත අවන්හලෙ ආහාර වලට මා ඉතාම ප්‍රිය කරමි .Amsterdam නගරයේ ඉතා කුඩා තැනක පිහිටා ඇති එම අවන්හලට අප කණ්ඩායමේ සියලු දෙනාම ආහාර ගැනීම සඳහා යෑමට ප්‍රිය කළෙමු . අපට වෙහෙසකර වූ ඇතැම් දිනවල අප කණ්ඩායමේ පිරිමි ළමුන් අප ගුවන්තොටුපොළට ළඟාවීමට පෙර surinami food අවශ්‍ය කාටදැයි විමසයි . ඔවුන්ට මුදල් ලබා දුන් විට ඔවුන් අප වෙනුවෙන් එහි ගොස් එම ආහාර රැගෙන එන්නේ අපට අපගේ කාමරයේ සිට ම ඒවායේ රස බැලීමේ පහසුව උදෙසා ය .

බහුතරයක් යුරෝපීය රටවල් වල red light street යනුවෙන් හඳුන්වන වීදි තිබේ. එම වීදියේ පාරට පෙනෙන වීදුරු ද සහිතව ඇති කුඩා කාමරවල ගණිකාවන් වාසය කරන අතර ඔවුන් කවුරුන් හෝ පුරුෂයෙක් පැමිණෙන තුරු බලා සිටියි. නැතහොත් ඔවුන් පාරේ ගමන් කරන පුරුෂයන් හට අඬගසයි . අප ඇතැම් දිනවල එම වීදි දිගේ යන විට අප පැමිණෙන්නේ ඒවා නැරඹීමට බව දන්නා ඔවුන් අප දෙස බලා ඔරවමින් සිටින අතර තරමක් බිය ගැන්වෙන අප බිම බලාගෙන එම වීදි පසුකර යන්නෙමු. නැතිනම් අප ඔවුන් දෙස හොරෙන් බලමින් සාමාන්‍ය ආකාරයට පාර දිගේ ඇවිදින්නාක් මෙන් ඔවුන් පසුකර යන්නෙමු.

තවත් දිනවල අප නතර වී සිටින හෝටලයේ බයිසිකල් ගන්නා අප වීදි දිගේ ඒවා පැද යන්නේ අවට සිරි නරඹමිනි. ඇම්ස්ටර්ඩෑම් නගරයේ ටියුලිප් මල් පිපෙන කාලය එම නගරයට අතිශය සුන්දරත්වයක් එකතු කරන බැවින් අප ඒවා නැරඹීමට යාමට ද කැමැත්තක් දැක්වූයෙමු

නගරයේ ඇතැම් ස්ථානවල විකිණීමට ඇති බැදපු අල කෑමට මා අතිශය ප්‍රිය කළෙමි . ශීත කාලයේ දී ,මහත අල තීරු එම මොහොතේ බැද ඉතා උණුවෙන්ම කඩදාසි ගොටුවල දමා වෙළෙඳුන් විසින් දෙන අතර ඒවා සමග සෝස් වර්ගයක් හෝ මයෝනිස් ද ලබා දෙයි. අප එම අල තීරු වල රස බලමින් වීදි දෙපස සාප්පු සවාරියේ යෙදෙමින් ඉතා විනෝදකාමී වූ හෝරාවන් ගෙව්වෙමු .

විශේෂම කාරණාව නම් නිතරම ජපානයට යෑමට මා තුළ වූ ආසාව ඒ වනවිට ඉෂ්ට වීමයි . එකල මා හට අවම වශයෙන් මසකට වරක් වත් ජපානයට යෑමට අවස්ථාව හිමිවන අතර මා ජපන් භාෂාව මැනවින් හසුරවන නිසා එම අවස්ථාව මට වැඩිපුර හිමිවිය.එම නිසා මා ජපානයට ගිය විට හෝටලයේ මගේ ඇඳුම් සියල්ල තබා මට අවශ්‍ය ඇඳුම් පමණක් මගේ කුඩා බෑගයකට අසුරා ගනිමි.ඉන්පසුව මා දුම්රියට නැග මගේ ජපන් අම්මා සහ තාත්තා සිටින නිවස බලා යමි. එසේ යන මා නැවත හෝටලයට පැමිණෙන්නේ මගේ ඊළඟ ගුවන් ගමන් වාරය යෙදී තිබෙන දිනට කලින් දිනයේය.එපමනක් නොව සතුට දනවන අනෙක් කාරණාව නම්, ජපානයට ගිය අවස්ථාවන් වලදී මා මගේ පැරණි මිතුරු මිතුරියන් හමුවීමට ගිය නිසා කිසිම මොහොතක මට එම මිතුරුකම් මග හැරුණේ නැත.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles