ඇල්සයිමර් රෝගී බිරිඳ වසර පහළොවක් දරා ගන්නා සැමියෙක්

ඇල්සයිමර් කියන්නේ  හද කම්පා කරවන රෝගයක්, එය  මතකයන් සහ අත්දැකීම් සොරකම් කරන රෝගයක් ලෙස හඳුන්වන්න පුලුවන්. ආදරය කරන කෙනෙකුට එය වැළඳීමත් ඒ දුක් වේදනා දැකීමට සිදුවීමත් ඉතිරිව සිටින පවුලේ සාමාජිකයන්ට මහත් මානසික පීඩාවක්. 

TikTok අවකාශයේ ජනප්‍රිය චරිතයක් වන කැටලිනා ඇල්සයිමර් රෝගයෙන් පෙළුණු ඇගේ අත්තම්මා වෙනුවෙන් තම සීයාගේ කැපවීම බෙදා ගෙන තිබුනා. ඔහු වසර 15ක් පුරා එකම දින චර්යාවක නිරත වූ නිසා ඔහුගේ බිරිඳ ඔහුව හඳුනා ගන්නවා.ඔවුන් එකිනෙකා දෙස බැලූ ආකාරය සඳහන් වීඩියෝ පටය හද කම්පා කරන්නක්.

වීඩියෝව ආරම්භයේ ඔහු කොණ්ඩය සකසමින් සිටියේ තම බිරිඳ හමුවීමට සූදානම් වීම සඳහා. ඔහු රත්තරන් හදවතක් ඇති ඉවසිලිවන්ත හා සැලකිලිමත් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පැසසුමට ලක් වූ මිනිසෙක්. ඔහුව දන්නා අය  ඔහුව හැඳින්වූයේ “ඇදහිය නොහැකි මිනිසෙක්!” ලෙසයි. ඒ වෛද්‍යවරයකු ලෙස ඔහු දැක්වූ දක්ෂතා නිසා පමණක්ම නෙවෙයි.

වීඩියෝ පටයේ, කැටලිනාගේ අත්තම්මා තම සැමියාගේ දෑස් දෙස බලමින් ප්‍රීතියෙන් හිඳින අන්දම සැබවින්ම හද උණුසුම් කරවන සුළුයි. ඇය අසනීපයෙන් සිටියද, ඇගේ දෑස් බැබළෙමින් පවතිනවා.

ඇල්සයිමර් රෝගය ඔවුන්ගෙන් බොහෝ දේ ලබා ගත් නමුත් එයට කිසි විටෙකත් ඔවුන්ගේ සම්බන්ධතාවය නැති කරන්නට හැකි වූයේ නෑ. දියණියන් හතර දෙනෙකුගේ මාපියන් වෙමින් ඔවුන් ඇවිද ආ මාර්ගය කැටලිනාගේ සීයා අමතක කර නැහැ.

අවුරුදු 15ක් පුරාවට ඔහු නිතරම ලස්සනට ඇඳ පැළඳ, සුවඳ විලවුන් ඉස බිරිඳ වෙත යනවා. ඇය සමඟ ආදරයෙන් කතාබහ කරන අතර ඔහුව මතකදැයි අසන්නටත් සීයා අමතක කරන්නේ නෑ.ඔහුගේ විවාහ පොරොන්දුවට විශ්වාසවන්තව සිටි මිනිසෙක් ලෙස මේ විශ්‍රාමික වෛද්‍යවරයාව හඳුන්වන්නට පුලුවන්.

“කවදාවත් මං දිහා බලන එක නවත්තන්න එපා.”

ඔහු නිතරම එසේ පවසනවා. ඔහුගේ බිරිඳ ඇල්සයිමර් රෝගය පරාජය කරන අන්දමේ ප්‍රේමණීය බැල්මකින් ඔහු දෙස බලා සිටිනවා. 

ප්‍රේමය පවතින්නේ සියල්ලටම ඉහළින්. මියෙන තුරුම අත නෑර ළඟ හිඳින ප්‍රේමයක් හිමි කරගත් ඒ වියපත් අත්තම්මා සැබෑ වාසනාවන්තියක්. මේ ප්‍රේමණීය මාසයේ  ආදර කතා බහුලව අසන්නට ලැබුණත් මෙවැනි කතා ඇසීමම ආශිර්වාදයක් බඳු බව නොකියාම බැහැ.

Related Articles

Don't Miss


Latest Articles