මතක දිගහැරුම 121 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය විසි එක්වන දිගහැරුම ,

මාගේ රූපය නිසි අයුරින් පවත්වාගෙන යාම සහ මාගේ ඇඳුම් පැළඳුම් පිළිබඳව මා විශේෂ අවධානයක් දක්වන්නට හුරු වී සිටින්නෙමි. එම හුරුව මා හට ලැබුණේ මාගේ අම්මාගෙන් සහ තාත්තාගෙන් යැයි මා සිතමි.වර්තමානයේ දී මා විසින් මා පිළිබඳව අවධානය යොමු කරන කරුණු පිළිබඳව ම කුඩා කාලයේ සිටම අම්මා අවධානය යොමු කළාය.ඇය මගේ සහ නංගිගේ සම සුන්දරව සහ පිරිසිදුව පවත්වාගෙන යාම සඳහා දේශීය ක්‍රම භාවිතා කලා ය.අපට ස්නානය කිරීම සඳහා කොහොඹ කොළ සහ අමු කහ තැම්බූ වතුරද , වෙනිවැල්ගැට තැම්බූ වතුරද අම්මා සූදානම් කර දුන් අතර එමඟින් සමෙහි ඇති විෂබීජ නසා සම නිරෝගීව පවත්වාගෙන යාමට අපට ඉවහල් විය.මා ගුවන් ගමන් වල නිරතවී දින ගණනාවකට පසුව නිවසට පැමිණෙන විට ද අම්මා විසින් මා හට ස්නානය කිරීම සඳහා වෙනිවැල්ගැට තැම්බූ වතුර සූදානම් කර තැබුවාය.

කිරිවල යොදය වෙන් කරගන්නා අම්මා ඒවාට විවිධ දේශීය බෙහෙත් වර්ග එකතු කර අපගේ මුහුණු වල ගැල්වූවාය.තවත් සමහර දිනවලට මුහුණ සේදීම සඳහා කොහොඹ කොළ තැම්බූ වතුර ඇය පිළියෙළ කර දුන්නාය.එපමනක් නොව හිසකෙස් නිරෝගී ව පවත්වාගෙන යාම සඳහා ගැල්වීමට අවශ්‍ය තෙල් වර්ගද අම්මා විවිධ කොළ සහ මුල් වර්ග උපයෝගී කරගෙන සකස් කර දුන් බව මට මතකය.කරපිංචා කැඳ ඇතුළු බොහෝ කැඳ වර්ග අම්මා විසින් සතියට දින කිහිපයක්ම අපට ලබා දුන් අතර දේශීය දේවල් මගින් අපට ලබාගත හැකි ප්‍රයෝජන සහ ඒවායේ ඇති ගුණ පිළිබඳව ඇය නිරන්තරයෙන්ම අප හට කියා දීමට අමතක කළේ නැත.

ජපානයේ අධ්‍යාපනය ලැබීමට ගිය අවස්ථාවේදී ජපන් දරුවන් සදහා ඉංග්‍රීසි ඉගැන්වීමට ගියෙමි.එහිදී ජපන් අම්මාගේ හිතවතියක වූ රූපලාවණ්‍යාගාරයක හිමිකාරියක් මට මුණ ගැසුනි.ඇය විසින් ජපන් කාන්තාවන් භාවිතා කරන දේශීයත්වය මුල්කරගත් බොහෝ රූපලාවණ්‍ය ක්‍රම රාශියක් මා හට කියා දුන් අතර මා ඒවා බොහොමයක් අදටත් ප්‍රයෝජනයට ගනිමින් සිටිමි.

කුඩා කල සිටම මා ඇඳුම් පැළඳුම් පිළිබඳව සැලකිලිමත් වීමට පටන් ගත්තේ අම්මා අපට ලබාදුන් හුරුව සමඟය.මා හට ගැලපෙන ඉතා සුන්දර විලාසිතාවලින් සැරසීමට මා දක්වන්නේ විශාල කැමැත්තකි.මා ගුවන් සේවිකාවක ලෙස සේවය කිරීම ආරම්භ කළ සමයේ ඇඳුම් පිළිබඳව සැලකිලිමත් වීම විශේෂයෙන් සිදුවිය.එහිදී මයිකල් විජේසූරිය මහතා ව විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය.මුදල් මූලික කරගෙන සියලු දේ සිදු කෙරෙන කෙරෙන සමාජයක ඔහු සතු වූ යහපත් ගතිගුණ මා සැබැවින්ම අගය කරමි.අන් අයව ඉතා සුන්දරව හැඩ ගැන්වීමෙන් නිහතමානි සතුටක් ලැබූ ඔහු මා වෙනුවෙන් සාරි වර්ග ඇතුළු බොහෝ ඇඳුම් නිර්මාණය කර දුන්නේය. ඇතැම් අවස්ථාවලදී මා පැවසීමටත් පෙරම මා හට ගැළපෙන විලාසිතා වලින් ඇඳුම් නිර්මාණය කර දෙන ඔහු සමහර අවස්ථාවලදී මගෙන් මුදල් ලබා ගත්තේද නැත.ශරීරය නිරාවරණය වන පරිදි හෝ දිගු නොවන ඇඳුම් වලට මා ප්‍රියතාවයක් නොදක්වන බව හොඳින්ම වටහා ගෙන සිටි ඔහු මා යම් උත්සව අවස්ථාවක් හෝ කටයුත්තකට සහභාගි වීමට ඇති බව පැවසූ විට ඒ අනුව ගැළපෙන විලාසිතා වලින් ඇඳුම් නිර්මාණය කර දුන්නේය.මා සමග කතා බහ කර මගේ අදහස් සහ ඔහුගේ අදහස් අනුව ඇඳුම් නිර්මාණය කරන මයිකල් මහතා ඉතාම සාධාරණ මිල ගණන් යටතේ තම නිර්මාණ කටයුතු සිදු කළේය.

කුඩා කාලයේ සිටම අම්මා සහ තාත්තා බතික් ඇඳුම් ඇඳීම සඳහා අපව හුරු කළ නිසා වර්තමානයේදීද බොහෝ අවස්ථාවන් සදහා සහභාගී වන විට බතික් ඇඳුම් වලින් සැරසීමට මා ප්‍රිය කරමි.මගේ අම්මා සාරියට අමතරව බොහෝ ගමන් බිමන්වලට සැරසුණේ ලුන්ගියෙන් ය.ඒ අනුව මා ද අද වන විට ලුන්ගියට විශාල ලෙස ප්‍රිය කරමි.මා කුඩා අවදියේ දී බතික් නිර්මාණ කරන ස්ථානවලට ගොස් ඇත්තෙමි.බතික් නිර්මාණවල යෙදෙන අය ඒ නිර්මාණය සඳහා මොන තරම් කැපවීමක් සහ වෙහෙස මහන්සියක් දරනවා දැයි මා ඉතා හොඳින් දනිමි.එම නිසා බතික් ඇඳුම් වලට විශාල වටිනාකමක් හිමි වනවා මෙන්ම දේශීයත්වය අගය කරන මගේ අම්මා සහ තාත්තා ඒවායේ ඇති වටිනාකම මට සහ නංගිට විශේෂයෙන්ම කියා දුන්හ.වර්තමානයේ දී බතික් ඇඳුම් වලින් සැරසෙන මා මගේ ඡායාරූප එම ඇඳුම් නිර්මාණය කළ අය වෙත සමාජ මාධ්‍ය වල පල කිරීම සඳහා යවමි.නමුත් ඔවුන් පවසන ආකාරයට අද වන විට බොහෝ දෙනා බතික් නිර්මාණකරුවන් ඒ ආකාරයට ඡායාරූප පළ කරනවාට කැමැත්තක් දක්වන්නේ නැත.ඒ , බොහෝ දෙනා ඒ විලාසිතාව සහ නිර්මාණය අනුගමනය කිරීමට පෙළඹෙන නිසාවෙනි.නමුත් මා කිසි විටෙකත් එසේ නොකරන අතර මා නිසාවෙන් එම නිර්මාණකරුවන්ට තවත් එක් ගනුදෙනුකරුවෙකු හෝ පැමිණෙනවාට මා තුළ ඇත්තේ නිහතමානි ආසාවකි.මා බතික් ඇඳුම් නිර්මාණය කරගන්නා අප රටේ ඉහළ තලයේ සිටින නම ගිය නිර්මාණකරුවන් මෙන්ම බතික් නිර්මාණ ක්ෂේත්‍රයට පිවිසෙමින් සිටින නව නිර්මාණකරුවන් ද ඇත.කෙසේ වෙතත් සෑම බතික් නිර්මාණකරුවෙකු ගේම නිර්මාණ අප අගය කළ යුතු අතර බතික් ඇඳුම් වලට ප්‍රිය කරන හැමදෙනාගෙන්ම මා ඉල්ලා සිටින්නේ නිර්මාණකරුවන් විශාල වෙහෙසක් දරමින් සිදුකරන එම නිර්මාණ වල සමහර අවස්ථාවල වර්ණයෙහි වෙනස්කම් හෝ වෙනත් වෙනස්කම් සිදුවිය හැකි බැවින් අදාල නිර්මාණය ඉවත නොදමා නිර්මාණකරුවාගේ උත්සාහය අගය කරමින් එයට වටිනාකමක් ලබා දෙන ලෙසයි.

බතික් නිර්මාණ පිළිබඳව කතා කරන විට මගේ අම්මගෙන් මා හුරු වූ තවත් දෙයක් ඇත. එකල ලුන්ගියෙන් සැරසෙන මගේ අම්මා පන් බෑගයක් රැගෙන යාමට ඉතා කැමැත්තක් දැක්වූවාය.වර්තමානයේදී මම ද පන් බෑගයන් වලට දක්වන්නෙ විශාල කැමැත්තකි.බොහෝ දෙනා ප්‍රසිද්ධ ස්ථානවලට පන් බෑගයක් රැගෙන යාමට අදිමදි කලද මා ඕනෑම ස්ථානයකට පන් බෑගයක් රැගෙන යාමට වුවද මැලි වන්නේ නැත.ඇත්ත වශයෙන්ම මා ඒවා භාවිතා කරන්නේ අපගේ දේශීයත්වය පිළිබඳව අභිමානයකිනි .ඉතා විශාල වටිනාකමකින් යුතු විවිධ බෑග් වර්ග අතරේ මා සතුව ඉතා සුන්දර වූ පන් බෑග්ද ඇත.

මගෙ නංගිගෙ ගුරුවරියක වන සුනීතා කොතලාවල මහත්මියද බොහෝ රූපලාවණ්‍ය කටයුතු සිදු කරන්නේ දේශීය දේවල් ඇසුරිනි.මා දින කිහිපයක් පමණ හැඩ ගැන්වීම් කටයුතු සඳහා ඇය වෙත ගොස් ඇත්තෙමි.මයිකල් විජේසූරිය මහතා විසින් නිර්මාණය කළ සමහර සාරි මා හට තනිවම ඇඳ ගැනීමට නොහැකි වූ අවස්ථාවලදී මා එසේ සුනීතා මහත්මිය වෙත ගියෙමි.ඊට අමතරව මා ගුවන් සේවිකාවක ලෙස සේවය කරන කාලයේ රමණි ප්‍රනාන්දු මහත්මියගේ රූපලාවණ්‍යගාරය වෙතද ගොස් ඇත.ගුවන් සේවිකාවක් සාමාන්‍යයෙන් තමන්ගේ බාහිර රූපය පවත්වාගෙන යා යුතු ආකාරයක් ඇති නිසා අප අනිවාර්යයෙන්ම අපගේ පෙනුම පිළිබඳව සැලකිලිමත් විය යුතුය.නමුත් මා නිතර නිතර ඒ ආකාරයට රූපලාවණ්‍යාගාර වෙත යාම සඳහා පුරුදු වූයේ නැත.

ගුවන් සේවිකාවක ලෙස පුහුණු වන කාලයේ දී පුහුණුකරුවන් විසින් අප හට විශේෂයෙන්ම රූපලාවන්‍ය කටයුතු පිළිබඳව පුහුණුවක් ලබා දුන්හ.ඊට අමතරව සේවා කාලයේදීද ලද හුරුව අනුව වර්තමානය වන විට පැය භාගයක පමණ කාලයක් තුළදී මේකප් එකක් ඉතා සාර්ථක අයුරින් කර ගැනීමේ හැකියාව මා සතුව ඇත .විවාහ මංගල උත්සවයක් හෝ වෙනත් විශේෂ අවස්ථාවකට සහභාගි වීමට ඇත්නම් මා කල්වේලා ඇතිව සූදානම් වෙමි.වයසින් මුහුකුරා ගියද මේකප් හෝ රූපලාවණ්‍ය ආලේපන ගැල්වීමකින් තොරව ද මා හට ඕනෑම අවස්ථාවකට සහභාගී විය හැකිය.නමුත් මේකප් කිරීම යන කලාවට මා ඉතාම ආදරය කරන බැවින් සහ එමගින් අප සතු රූපය ඔප් නංවා ගැනීමෙන් මා තුල ඇති ආත්ම විශ්වාසය ඉහල නැංවෙන බැවින් ඇඳුම් පැළඳුම් පිළිබඳව සැලකිලිමත් වන අතරතුරදී අනෙක් කාරණා පිළිබඳව ද මා විශේෂ අවධානයක් යොමු කරමි.

අනෙක් විශේෂම කාරණාව නම් ඕනෑම කෙනෙක් මුණ ගැසීමේ දී හෝ රාජකාරි කටයුත්තකට යාමේදී මුලින්ම දකින පෙනුම ( First impression ) ඉතාම වැදගත් බැවින් අප ඕනෑම කෙනෙකු ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.පිළිවෙළට සහ පිරිසිදුව සිටීමට අප සැලකිලිමත් විය යුතු අතර එයින් අදහස් වන්නේ අප නිරන්තරයෙන්ම ඉතා වටිනා ඇඳුම් ඇඳිය යුතු බව නොවේ.අපගේ පිරිසිදුකම පිළිබඳව ද , එනම් දහඩිය දුගද , මුඛයෙන් නිකුත් විය හැකි දුගඳ ආදිය පිළිබඳව ද අප අවධානය යොමු කළ යුතුය.එමගින් අප ඉදිරියේ ඉදිරියට හමුවන ඕනෑම කෙනෙකු තුළ අප පිළිබඳව හොඳ හැඟීමක් ඇති කරයි.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles