පුංචි දියණියගේ පෞද්ගලිකත්වය රකින්න සටන් කරන විරාත් කෝලි

බොලිවුඩය තරු අතර විරාට් කෝලි සහ අනුෂ්කා ෂර්මා යුවලටත් ලැබෙන්නේ ඉහළ තැනක්.විරුෂ්කා ලෙස රසිකයන් හඳුන්වන මේ යුවල ආදරයත් අවබෝධයත් සහිතව ජීවත් වෙන යුවළක් ලෙසයි හැමදෙනාම හඳුන්වන්නේ.දෙදහස් විස්සේදී විවාහයට එළඹ වමිකා නම් දියණියකට දෙදහස් විසි එකේ ජනවාරි එකොළොස් වැනිදා උපත දුන් විරුෂ්කා යුවල දැන් ප්‍රීතිමත් දෙමාපිය යුවලක්.

විරාට් කෝලි අනුෂ්කාගේ මුළු ගර්භණී කාලය පුරාවටම ඇය සතුටින් තබන්නට වෙහෙස වූ බව නොරහසක් නෙමෙයි.ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයා ක්‍රිකට් තරගයක් අතරමැද දියණියගේ උපත වෙනුවෙන් ඉන්දියාවට එන්නට පවා පැකිලුනේ නැහැ.

වමිකාට වසරක් ද ඉක්ම ගියත් විරාට් සහ අනුෂ්කා දියණියගේ ඡායාරූප සමාජ මාධ්‍ය වලට මුදා හැරියේ නැහැ.අම්මා හෝ  තාත්තා අත සිටින වමිකාගේ ඡායාරූප ඔවුන්ගේ නිල ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පිටුවල පළ වුණත් ඒ එකක්වත් ඇගේ මුහුණ පෙනෙන ඒවා නෙවෙයි.සිඟිති හිසක්, අතක් කකුලක් පමණක් පෙනුණු ඡායාරූප වල වමිකා ඇගේ දෙමාපියන් සමඟ ආදරයෙන් ඉන්නා අන්දම පැහැදිලි වුණා.වමිකා ස්වාධීන දැරියක් බවට පත්ව ඇය ගැන තීරණ ගන්නා තුරු ඇගේ ඡායාරූප සමාජ මාධ්‍යයට හෝ මාධ්‍යයට නිකුත් නොකරන්නට විරුෂ්කා යුවළ තීරණය කර තිබුණා.

නමුත් පසුගියදා වමිකාගේ ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ පළ වෙන්නේ පුදුමාකාර වේගයකින්.ක්‍රිකට් තරගයක අර්ධ ශතකයක් ලබා ගන්නා කෝලිට අත්පොළොසන් දෙමින් සුබ පතන අනුෂ්කාගේත් වමිකාගේත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය හරහා පැතිරී යන්නට පටන් ගත්තා.එය සිදුවූයේ විරාට්ගේ හෝ අනුෂ්කාගේ අනුදැනුමකින් තොරවයි.

ඒ සිදුවීමට පසුදා කෝලි ඔහුගේ instagram වෙනුවෙන් මෙසේ සටහනක් තබනවා.

“මිතුරනි,ඊයේ ක්‍රීඩාංගනයේදී අපේ දියණියගේ ඡායාරූප ලබාගෙන ඇති බවත් ඒවා විශාල වශයෙන් හුවමාරු වූ බවත් අපට වැටහෙනවා. අපි ඔබට දන්වන්න කැමතියි අපිව කැමරාවට හසුවන බවක් අපි දැනගෙන හිටියේ නැහැ
වමිකාගේ ඡායාරූප පළ කිරීම සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය සහ ඉල්ලීම පෙර පරිදිම පවතිනවා. අපි කලින් ඔබට  පැහැදිලි කළ හේතු නිසා වාමිකාගේ පින්තූර ඔබ අතර හුවමාරු නොකරන්නේ නම් අපි ඇත්තෙන්ම ඔබට ස්තුතිවන්ත වෙනවා”

ඒ සටහනට නොයෙකුත් ප්‍රතිචාර පළ වුණා.කැමරා දහස් ගණනක් ඇති ක්‍රීඩාංගනයක මෙසේ වීම සාමාන්‍ය සිදුවීමක් බව බොහෝ අය පැවසුවා.එසේ ඡායාරූප නිකුත්වීම අනිවාර්යයෙන් සිදුවන බව විරුෂ්කා යුවල දැන සිටිය යුතු බවයි බහුතර රසිකයන්ගේ අදහස වුණේ.එයට අකමැති නම් අනුෂ්කාටත් දියණියටත් එතනට නෑවිදින් හිඳින්නට තිබූ බවට රළු ප්‍රතිචාර අතර සටහන්ව තිබුණා.

නමුත් ඒවා ඔවුන් පළ කළ ඒවා නොවේ.අනවසරෙන් ලබාගත් ඒවා බව අමතක කළයුතු නැහැ.වර්තමාන ලෝකයේ පෞද්ගලික නිදහස මහා පරිමාණයෙන් අහිමි වෙමින් පවතිනවා.අත ඇති ජංගම දුරකථනවලින් ද කැමරා වලින් ද අප ලබා ගන්නා බොහෝ ඡායාරූප අනවසර ඒවා වීම ගැටලුවක්.

වර්තමාන ලෝකය භයානක තැනක් වෙමින් පවතිනවා.ඒ ලෝකයට තමන්ගේ දියණිය නිරාවරණය නොකිරීම දෙමාපියන් යුවලකගේ අතිශය සංවේදී තීරණයක්.එසේ නම් එයට ගරු කිරීම මාධ්‍ය සතු වගකීමක්.අනවසරයෙන් හෝ ලබාගන්නා ඡායාරූප බෙදා නොහැරීම මිනිසුන්ගේ සහකම්පනයට අයත් දෙයක්.මෙය තාරකාවන්ට පමණක් පොදු කතාවක් නොවේ.මිතුරන්ගේ හා ඥාතීන්ගේ දරුවන් අතැතිව සමාජ මාධ්‍ය වෙත ඡායාරූප ද වීඩියෝ ද මුදාහරින අය අප අතර ද ඕනෑ තරම් හිඳිනවා.අම්මා එකම ඡායාරූපයක්වත් පළ නොකරන්නට ප්‍රවේසම් වන දරුවන්ගේ ඡායාරූප අම්මාගෙ මිතුරියන්ගේ ෆේස්බුක් ගිණුමේත්,පුංචිගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේත් අසල්වැසි අක්කෙකුගේ ටික්ටොක් ගිණුමේත් තිබෙනවා නම් එහි පවතින්නේ පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලුවක්.

කෝලිගේ සටහනේ ඇති වැදගත්කම එයයි.කෙනෙකු තම පෞද්ගලිකත්වය  ගැන සංවේදී නම් අප එයට සහයෝගය ලබා දිය යුතුමයි.පෞද්ගලිකත්වය තරම් වටිනා දෙයක් මිනිසෙකුට නැහැ.එය තාරකාවන්ට ද අපට ද පොදු හැඟීමක්.

Related Articles

Don't Miss


Latest Articles