මතක දිගහැරුම 68 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැට අටවන දිගහැරුම ,

දරුවන් රැගෙන ආපසු නිවසට පැමිණීමෙන් පසුව මා ඉතාම කාර්යබහුල වූයෙමි.අම්මා සහ නංගී අපේ නිවසේ නැවතුනු අතර අල්ලපු නිවසේ සිටින හෂාන්ගේ අම්මාගේ සහ තාත්තාගේ ද සහයෝගය අපට හිමි විය.සීසර් සැත්කමෙන් පසුව විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් දුන්නද ,රෝහලෙන් පැමිණි දා සිටම විවේක ගැනීම සඳහා වේලාවක් මට නොතිබුණි.දරුවන්ගේ වැඩකටයුතු වලට අමතරව නිවසේ සුද්ධ පවිත්‍ර කිරීම් කටයුතු ද අනෙක් අය සමග එකතු වී මා සිදු කළෙමි.

පැය දෙකකට වරක් දරුවන් දෙදෙනාට කිරි පෙවීම මා කළ යුතුව තිබුනි.නමුත් එය එතරම් ලෙහෙසි පහසු කාර්යයක් වූයේ නැත.ඔවුන් රෝහලේ සිටින කාලයේදී කිරි පොවන විට ඇතැම් අවස්ථාවලදී එක් දරුවෙකුට දෙවරක් කිරි පෙව්වා දැයි මා තුළ සැක පහළ විය.එම නිසා රෝහලේදී හෙදියන් විසින් අයියා සහ මල්ලී වෙන්කර ,මට ඔවුන්ව හඳුනා ගැනීමට පහසු වනු පිණිස ඔවුන්ගේ අත් වලට බෑන්ඩ් එකක් පැළඳූහ.දරුවන් දෙදෙනා ගේ ඉපදුනු වෙලාව අතර වෙනස ඇත්තේ විනාඩියක් පමණ ය.ඒ වෙලාව අනුව අයියා සහ මල්ලී වෙන් කළ බව වෛද්‍යවරයා විසින් මට පැවසුවේය.

අප සාමාන්‍යයෙන් දවස මුළුල්ලේම නිවසේ පිරිත් ප්‍රචාරය වන්නට හැර තිබුණු අතර දරුවන්ගේ කාමරයෙත් ඉතා අඩු හඬකින් පිරිත් දමා තිබුනි.ඒ හඬට නිදා ගන්නට මා ඔවුන්ට පුරුදු කලෙමි.දවස පුරාම නිවසේ වැඩ කටයුතු ද දරුවන්ගේ වැඩ කටයුතු කරන මා හට බොහෝ වේලාවට රාත්‍රියද නිදි වර්ජිතව ගත කරන්නට සිදුවිය.දරුවන් දෙදෙනා නිතර නිතර අවදි වී බඩගිනි වී හඬන විට ඔවුන්ට මව්කිරි ලබාදීම අවශ්‍ය නිසා නිදි වර්ජිතව ගත කළ මා බොහෝ වෙහෙසට පත් වී සිටියෙමි.මගේ අම්මාගේ යෝජනාවකට අනුව අප රාත්‍රී කාලයේ දී දරුවන් රැකබලා ගැනීම සඳහා සාත්තු සේවිකාවකගේ සහය පැතූ වෙමු.ඇය දරුවන් රැකබලා ගැනීම සඳහා මට සහයෝගය දැක්වූ අතර එයින් මා හට සුළු විවේකයක් ලබා ගැනීමට හැකි විය.

ඒ අතරතුර හෂාන් විදෙස් තරග සංචාර දෙකකට සහභාගී විය.දරුවන් දෙදෙනාගේ කටයුතු සමග මා ඉතා කාර්ය බහුල වූ නිසා එම තරග සංචාරයන් වලට ඔහු සමග සහභාගිවීමට මට හැකි වූයේ නැත.ඒ අතරතුර මා නිවසට අවශ්‍ය කරන භාණ්ඩ මිලදී ගත් අතර පිටරටවල් වලින් මිලදී ගත් බොහෝ දේවල් ද ඒ වන විට අප සතු විය.මේ සියලු කාර්යයන් ඉටුකර ගැනීම සඳහා මා හට ශක්තිය තිබුණේ කෙසේදැයි විටෙක මට සිතා ගත නොහැකි විය.මන්ද , මගේ සහායට දෙමව්පියන් ඇතුළු බොහෝ දෙනා සිටියත් බොහෝ කාර්යයන් මා සිදු කලේ මා විසින්මය.ඊට අමතරව මගේ දරුවන් වෙනුවෙන් මගේ නංගී විශාල වෙහෙසක් දැරූ අතර දරුවන්ව පිරිසිදු කිරීමේ කටයුතු ඇතුළුව බොහෝ දේවල් ඇය විසින් සිදු කළාය .ඇය අප නිවසේ ම නැවතී සිට දරුවන් වෙනුවෙන් කළ කැපකිරීම වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය.අප නිවසට යාබද නිවසේ පදිංචිව සිටි හෂාන්ගේ දෙමව්පියන් විසින් අපට කෑම බීම සැපයූ අතර ඔවුන්ගෙන් ද විශාල සහයෝගයක් මට ලැබුණි.

දරුවන්ට මාස හතරක් පමණ වන විට හෂාන් හට නවසීලන්තයේ තරග සංචාරයක් යෙදුණි.හෂාන්ගේ ඥාතියෙක් වන ” දීපාල් අයියා ” නවසීලන්තයේ පදිංචි ව සිටි නිසා දරුවන්ද රැගෙන එහි පැමිණෙන ලෙස ඔවුන් අපට ආරාධනා කළහ.ගේ නිවසේ අපට නවාතැන් ගත හැකි වන බව ඔවුන් පැවසූ නිසා නවසීලන්තයේ තරංග සංචාරයට යන විට අපව රැගෙන යාමට හෂාන් ට උවමනා විය.එම ගමනට අප විසින් මගේ අම්මාව ද සහභාගි කරවා ගත්තෙමු.ඒ අනුව නවසීලන්ත සංචාරය අප දරුවන්ගේ පලවන සංචාරය විය.

නවසීලන්තයට ගිය අප දීපාල් අයියාගේ නිවසේ නවාතැන් ගත් අතර ඔහුගේ බිරිඳ සහ දරුවන්ද අපව ඉතා ආදරයෙන් පිළිගත්හ.ඒ වගේම දරුවන් රැක බලා ගැනීම සඳහා විශාල සහයෝගයක් දක්වමින් අපට අවශ්‍ය දෑ සපයමින් අපට ඉතා හොඳින් සැලකීමට ද ඔවුන් අමතක කළේ නැත .හෂාන් ක්‍රීඩාකළ තරග නැරඹීම සඳහා අප සියලු දෙනාම ගිය අතර තරඟ පිටියෙන් පිටත ඇති තණ බිස්ස මත තැබූ කුඩා මෙට්ට මත දරුවන්ව තබා අප එම තරග නැරඹුවෙමු.පෙර සිටම හෂාන්ගේ හොඳ මිතුරන් වූ චිත්තා අයියා සහ ශෙරීන් අක්කාද අපිට විශාල වශයෙන් උදව් කල අතර දුර බැහැර රටක සිටියත්, අදටත් ඔවුන් අපගේ හොඳම මිතුරන් ය.නවසීලන්ත සංචාරයට ගිය අවස්ථාවේදී එහි පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් අපට සහයෝගය දැක්වූ අතර ඔවුන්ගේ නිවෙස් වලට ද අපට ආරාධනා කලහ.

මගේ අම්මා නවසිලන්තයට ගිය ප්‍රථම වතාව එය වන බැවින් අප බොහෝ ස්ථාන නැරඹීම සඳහා ඇයව කැටුව ගියෙමු.අප එහි දී ද දරුවන්ට සහ නිවසට අවශ්‍ය කරන බඩු බාහිරාදිය මිලදී ගත් අතර අප නැවත ලංකාවට පැමිණියේ මාසයක පමණ කාලයක් නවසීලන්තයේ ගත කිරීමෙන් අනතුරුවය.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles