කළු කුමාර දෝසේ.

“අප්පේ ඉතිං..කළුකුමාර දෝසෙ කියන්නෙ සුළුපටු දෝසයක්ද නංගි..”

එහාවැටේ සිරිමලී නැන්දාගේ කටහඬ ඇහෙනකොට පාරමී ලැප්ටොප් එක වහලා නැගිට්ටේ ඒ ඕපාදූපේ අහන්න හිතාගෙන.වෛද්‍ය උපාධිය හදාරමින් ඉන්න තමන්ට වඩා බොහොම ඉක්මනින් රෝග නිර්ණය කරන සිරිමලී නැන්දාගේ ආටෝප කතා අහන්න කොහොමත් පාරමී හරිම කැමතියි.

“මටත් තිබ්බෙ ඔය සන්තෑසියනෙ.ජීවිතේම කඩාකප්පල් වෙනව ඉතිං..”

ලොකු නැන්දගෙ කටහඬත් ඒ එක්කම ඇහෙනකොට පාරමීට හිනාවක් මතු වුණා.ලොකු නැන්දාට කලු කුමාර දෝසේ කෙසේ වෙතත් නපුරුකමයි මාන්නාක්කාරකමයි පිරිලා තිබ්බා කියලා අත්තම්මා නැති වෙන්න කලින් දවසෙත් විස්සෝප වුණු හැටි පාරමීට මතක් වුණා.

“කසාද කීයක්නම් කරල දෙන්න හැදුවද? හැම මනමාලයගෙම මොකක්මහරි ඇදයක්.මං මෙතන ඉඳගෙන ඇහැ ගහගෙන නොහිටියනම් විනීතා දුවව පන්නගෙන ඔය අපේ ලොක්කි..”

අත්තම්මා ඒ දවස්වල මන්තරයක් වගේ ඒ කතාව කියනවා.අත්තම්මත් අම්මත් අතර නැන්දම්මා ලේලි ගැටුම් කවදාවත් තිබුණු වගක් පාරමීට මතක නෑ. අත්තම්මා අම්මට ආදරේ කළේ තමන්ගෙම දරුවෙක් ගාණට.ඒත් ලොකු නැන්දා නපුරු නෑනාගේ චරිතය හරි අපූරුවට තාමත් රඟ දක්වන හැටි පාරමීලා නොදන්නව නෙවෙයි.

“අත්තම්මයි තාත්තායි මට ආදරෙයිනෙ පුතේ.නැන්දා මොන දුෂ්ටකම් කරත් එයාල මට පණ ඇරල.මට ඕවා දැනෙන්නේ නැත්තේ ඒකයි.”

අම්මා එහෙම කිව්වත් නපුරු නෑනා කෙනෙක් ගැන අම්මාට වඩා දන්න කෙනෙක් නැතුව ඇති කියලා පාරමීට හිතුණේ අයියාගේ විවාහ උත්සවයට සූදානම් වෙනකොට.

“මං බැඳලා දැන් අවුරුදු තිස් හතක් දූ.මේ අවුරුදු තිස් හතම මං ලොකු නැන්දා එක්ක ඔට්ටු වුණා.ඒක එච්චර පහසු දෙයක් නෙවෙයි..”

අයියගේ මනමාලි වුණු ජනනි අක්කාට අම්මා එහෙම කිව්වේ ළතැවිල්ල පිරුණු හඬකින්.පාරමීලාගේ ලොකු අක්කා අරවින්දිට අවුරුදු තිස් පහක් වුණත් තාම විවාහයක් කරලා දෙන්න බැරි වීම ඒ කණගාටුදායක කටහඬ අස්සේ පිරිලා තියනව කියලා පාරමීට තේරුම් ගියා.

“අපි කොහොමත් රෙන්ට් එකට ඉන්න හිතුවෙ අම්මා.”

ජනනි අක්කා අම්මාගේ වේදනාව බිමින් තියන්න එහෙම කියද්දී අම්මාගේ වේදනාවේ ඔටුන්න ඊළඟට ජනනි අක්කාගේ හිස මත නොපැටවීම ගැන පාරමීට සතුටක් නොදැනුණාම නෙවෙයි.

අක්කා ඊයේ පෙරේදා ඉඳන් රෑට හීනෙන් බය වෙන එකත් අඳුරට වෙලා ඉන්න ප්‍රිය කරන එකත් කොණ්ඩේ පීරන්න මූහුණ සෝදන්න අමතක කරන එකත් තනිකම් දෝසයක් ද කළුකුමාර දෝසයක් ද කියලා තර්ක කරන සිරිමලී නැන්දාටත් ලොකු නැන්දාටත් සවන් දෙන ගමන් පාරමීට ඈත අතීතයේ දවස් මතක් වුණා.අක්කාට වඩා අවුරුදු දහයක්ම බාල හින්දා පාරමීට ඒ මතකය ළමා කාලයේ මතකයක්.අක්කාගේ ප්‍රේම කතාවක හැලහැප්පීමක් හින්දා අක්කා ආයේ ඉගෙන ගන්න,රස්සාවක් කරන්න නොපෙළඹුණු ඒ දවස් ගැන පාරමීට තියෙන්නේ නොපැහැදිලි මතකයක්.ඒත් ඊටපස්සේ අක්කා ආයේ කවදාවත් ඉස්සර වගේ නොවෙන්න ඇති කියලා පාරමීට හිතෙන්න ගත්තේ මහ වේදනාවක් එක්ක.

“මං මෙඩිසින් ඉගෙන ගන්න එකේ තේරුමකුත් නෑ අම්මේ අක්කගෙ ප්‍රශ්නෙ මානසික ගැටලුවක් කියල මෙච්චර කලක් තේරුම් නොගෙන..”

පුංචිම කාරණාවලටත් කඩා පනින,හැමෝගෙම මොකක්මහරි වැරැද්දක් ඇසිපිය සලන වේගෙට හොයා ගන්න,ටීවී එකේ ඉන්න නම විතරක් දන්න නිළියෝ මොනතරම් නරක අය ද කියලා ටක්කෙටම දන්න,පාරමීගෙත් ජනනිගෙත් විලාසිතා නිසා ලේ නරක් කරගන්න ලොකු අක්කාට ඒ හැමදේකටම ලොකු නැන්දා පොහොරත් වතුරත් සපයනවා.දෙන්නා ගැනම නොරිස්සුමෙන් ඉන්නකොට ඉගෙන ගන්න කාරණා පවා ප්‍රායෝගික ජීවිතේට යොදා ගන්න එක මොනතරම් අතපසු වුණාද කියලා පාරමී හිතුවෙ වේදනාවෙන්.

“ලොකු නැන්දට දැන් හැත්තෑවත් පැන්නට අක්කට තාම තිස් පහයි අම්මෙ.අපි තාමත් පරක්කු නෑ..”

පාරමී අම්මාට කිව්වේ අධිෂ්ඨානය පිරුණු කටහඬකින්.කොහොමටත් නපුරු අක්කාට කළු කුමාරයා ආවේස වුණේ ජනනි අක්කා මනමාලියක් වුණු දවසේ ඉඳන් බව පාරමී ආයෙමත් හිතුවා.

පාරමීගේ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් වුණු මනෝ වෛද්‍යවරයා කළු කුමාරයා එළවන තොවිලය පටන් ගන්නකොට ලොකු නැන්දාට නම් මහසෝනා නොවැහුණා විතරයි.පාරමී තමන්ගෙම අක්කා පිස්සියක් කරන්නේ ජනනිගේ ඉගැන්නුම් බහට කියලා අම්මාට සිරිමලී නැන්දා බැනලත් තිබුණා.ඒවා ඉතින් ලොකු නැන්දාගේ වචන කියලා අම්මා කිව්වේ හීනියට හිනා වෙන ගමන්.

Follow your passion

උපදේශන වාර කිහිපයකට පස්සේ ලොකු අක්කා ඇඳුම් මහන්න පටන් ගත්තා.සති අන්තයේ ගමේ ආව ජනනි අක්කා ඒ ඇඳුම් ව්‍යාපාරයට ෆේස්බුක් පිටුවක් සහ ඉන්ස්ටග්‍රෑම් පිටුවක් හදපු එක ගැන ලොකු අක්කා සන්තෝසෙන් පාරමීට කිව්වේ පාරමී ලෙක්චර්ස් ඉවර වෙලා හොස්ටල් එකට ආපු ගමන් ගත්තු ඇමතුමට පිළිතුරක් හැටියට.වෙනදටනම් රෑ හය හත වෙනකම් මොන ලෙක්චර්ස් ද අහලා කට කැඩුණු කතා කියන ලොකු අක්කා “අනේ ඉතිං ඉගෙන ගන්න මගේ නංගි විඳින දුකක්” කිව්වෙත් මහා ආදරයකින්.

“මං හිතන් ඉන්නේ නංගි තව දෙතුන් දෙනෙක් අත් උදව්වට ගන්න.දැන් ඕඩර්ස් එනවනෙ ඉවර කරගන්න බැරි තරම්.”

කොටට අඳින වල් ගෑනු ළමයි ගැන වෙනදට බනින ලොකු අක්කා අලුත්ම විලාසිතාවකට එක වගේ ගවුම් දෙකක් තමන්ටත් ජනනි අක්කාටත් වෙන් කරලා තියෙන හැටි පාරමී දැක්කේ නිවාඩුවට ආවම.පාරමීගේ හිත මහ සන්තෝසෙන් පිරුණේ ගවුමේ ලස්සනටත් වඩා අක්කාගේ අලුත් බලාපොරොත්තුවට.ඒත් සන්තෝසෙට සීමා නෑ කියලා හිතුණේ අම්මා හිනාවක් පුරෝගෙන පාරමීට කියපු ආරංචියට.

“අර තේගිස් කපුවා හොඳ යෝජනාවක් ගෙනාවනෙ පුතේ.අක්කා ඒ ඉලන්දාරියට කැමතියි ඔන්න..ඒ මිනිස්සුත් අක්කට උඩින්ම කැමැත්ත එවලා.”

මුළුතැන්ගෙයට ආපු අක්කා ඒ කතාවට කම්මුල් රතු කරගෙන බිම බලාගන්නකොට පාරමී අක්කා වැලඳ ගත්තේ මහා සතුටකින්.

“එහෙනම් දැන් මට දෙවැනි මනමාලියෙක් වෙන්න තියෙනව නේද අක්කේ..”

අක්කාගෙත් නංගිගෙත් හිනාව මහ සද්දෙට පැතිරෙනකොට කළු කුමාරයට මේ ගෙදර ඉඩක් නෑ නේද කියලා අම්මා හිතුවේ සැනසීමෙන්

More Stories

Don't Miss


Latest Articles