පිරිමි ළමයි අඬන්නේ නෑ

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?”

පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ පුදුමයෙන්.පිරිමි ළමයින්ට අඬන්න නරක බව එයා දැනගෙන හිටියේ නෑ.ඇත්තටම පිරිමි ළමයි ඇඬුවම මොකද?

එයාලාව බලා ගන්න කියලා අත්තම්මගෙ අත් උදව්වට ආපු අලුත් අත්උදව්කාරි චතුක දිහා බලන් ඉන්නේ සමච්චලේට. වැටිලා රිදෙන බව පවා අමතක කරලා චතුක එයා දිහා බලාගෙන හිටියා.

“කඳුලු පෙරාගෙන හොටු පෙරාගෙන පිරිමි ළමයි අඬන් නෑ.ගෑනු වගේ.”

කමලා ආන්ටිත් කියන්නේ පුදුම කතා කියලා චතුක හිතුවා.පිරිමි අය අඬන්නේ නෑලු.ඒ මොන කතාවක්ද?

“නෑ එයාලා අඬනවා.”

චතුක ඉක්මනින්ම එරෙහි වුණේ ඒ හින්දා.ඒත් පිරිමි අය අඬන්නේ නැති බවත් හැම දෙයක්ම දරා ගන්න ඕන බවත් කමලා ආන්ටි ස්ථිර කරලා කියනවා.

“මම බලාගෙන හිටියෙ ඊයේ රෑ බේත් බොන්න ගිහිල්ලත් අඬපු ඇඬිල්ල.ඊටත් ලැජ්ජා හිතුණෙ බබා ඊයේ බේත් විදිනකොට අඬපු හැටියට”

කමලා ආන්ටි දිගටම නින්දා කරනවා.

ඉතින් බෙහෙත් පෙති තිත්තම තිත්තයි.ඊටත් වඩා ඒවා බොන්න චතුකට හිතක් නෑ.අනිත් කාරණාව තමයි බෙහෙත් විදිනකොටනම් නාඩා ඉන්න අමාරුයි.පුංචි අත හිල් කරගෙන කටුවක් යනකොට නාඬා ඉන්නේ කොහොමද? චතුක ඇඬුවේ හුඟාක් රිදුණු නිසා.

කොහොම වුණත් අවුරුදු හයක පුතෙකුට මේ කතාව බර වැඩි කියලා චතුකට හිතුණා.

“බබා ඉස්කෝලෙ ගිහිල්ලත් සරනි නෝනා ඕනෑ කියලා ඇඬුවද?”

කමලා ආන්ටි අහනවා.චතුක ඔලුව වැනුවා.නර්සරි ගියාම,ඉස්කෝලේ ගියාම මුල්ම දවසේ අම්මා හිටියානම් කියලා ටිකක් ඇඬුණා නේන්නන්.

“යස වැඩක්නෙ.හැමෝම බබාට හිනා වෙයි.බබා ගෑනියෙක් වගේ කියයි.ඉන්නකො.මම ගවුමක්වත් මහලා දෙන්න”

කමලා ආන්ටි කියන දේවල්වලට චතුකට කේන්තිත් එනවා.ඇත්තටම එදා ඇඬුවේ චතුක විතරක් නෙවෙයි.පන්තියේ යාළුවෝ කවුරුත් වගේ ඇඬුවා.ඒත් ගෑනු ළමයි ඇඬුවට කමක් නෑ,පිරිමි ළමයි අඬන්න ඕන නෑ වගේ කතානම් කවුරුත්ම කිව්වේ නෑ කියලා චතුක මතක් කළා.

“පුතා,අපි අඬන්නේ දුක හිතුණම හොඳද? දේවල් ඉල්ලලා අඬන්න එපා.ඒක නරක දෙයක්.පුතාට මොනවා හරි ඕනෑ නම් අඬන්නේ නැතුව ඒක අම්මටයි තාත්තටයි කියන්න.අඬලා දේවල් දිනා ගන්න පුරුදු වෙන්න එපා.”

දවසක් ෂොපිං ගිහින් ලොකුම ලොකු කාර් එකක් ඉල්ලලා අඬපු වෙලාවක අම්මා චතුකට ඒ පාඩම කියලා දුන්නා.එච්චර විතරක් නෙවෙයි,කතාබහ කරලා දේවල් විසඳා ගන්න හැටි කියලා දෙන්නත් අම්මා අමතක කරේ නෑ.ඒත් පිරිමි ළමයින්ට අඬන්න හොඳ නැති කතාවක් අම්මා එදා නොකීව බව චතුකට විශ්වාසයි.

“ඔයා කියන්නේ පිරිමි ළමයි අඬන් නෑ කියලද කමලා ආන්ටි?”

චතුක ආයේම වතාවක් ඇහුවේ හැමදෙයක්ම හොඳට හොයලා බලලා පිළිගන්න කියලා එකේ පන්තියේ ටීච කියලා දීලා තියන හින්දමයි.

“මං දන්න පිරිමි ළමයි කවුරුත් අඬන්නේ නෑ බේබි.ගෑනු ළමයි තමයි අඬන්නේ.”

කමලා නැන්දා පුදුම විශ්වාසයකින් කතා කරන හැටි චතුක බලාගෙන හිටියේ පුදුමයකින් වගේ.තවත් මේ කතාව අහගෙන ඉන්න චතුකගේ මනාපයක් නෑ.නොදන්න දේවල් අහගන්න තමයි අත්තම්මා ඉන්නේ.

“අපි දැන් මෙය විසඳාගනිමූ -සිරි අයියාගෙන් ගොස් අසමූ” කියලා අත්තම්මා සින්දු කියලා දීලා තියනවා තමයි.ඒත් දැන් මෙතන සිරි අයියා නෑනේ.අත්තම්මා තමයි ඉන්නේ.

“මොකද චූටි මහත්තයො.තාම ඇඟ රස්නෙයිද?”

නංගි බබා ළඟට යන්නේ නැතුව චතුක ඈතින් නතර වුණා.නංගිටත් උණ බෝ වුණොත් එයාට මොනතරමට අමාරු වෙයිද කියලා හිතන්නවත් චතුක කැමති නෑ.නංගි තාම මල් පෙත්තක් වගේ පුංචියි.

“මං වැටුණා.”

චතුක ඇහෙන නෑහෙන  හඬකින් අත්තම්මාට කිව්වා.

“අනේ,මගේ පුතාට රිදුණද?”

අත්තම්මා චතුක ළඟට ආවේ දුවගෙන.නංගි ප්ලේ පෙන් එකට වෙලා බලාගෙන ඉන්නවා.කට ඇඹරිලා ගිහින්.නංගි අඬයිද? කමක් නෑ.ගෑනු ළමයින්ට ඉතින් අඬන්න අයිතියක් තියනවනේ.

“ඔව්.”

චතුක ඇහෙන නෑහෙන විදියට කිව්වා.

“මගේ පුතා ඇඬුවද?”

අත්තම්මාට බොරු කියන්නත් බෑ.ඒත් අත්තම්මාත් හිනා වුණොත්? ඒ වුණාට චතුක හෙමින් සැරේ ඔලුව වැනුවා.

“ඒ කියන්නේ මගේ පුතාට රිදිලානෙ.එන්න රත්තරං.අපි හීරුණු තුවාලවලට බෙහෙත් දාමු.”

අත්තම්මා බෙහෙත් පෙට්ටිය අරගෙන චතුක ළඟින් වාඩි වුණේ ඔලුවත් ඉඹ ගන්න ගමන්.දැන් තමයි ප්‍රශ්න අහන්න වෙලාව.

“අත්තම්මේ,පිරිමි ළමයි අඬන්නේ නැද්ද?”

අත්තම්මා චතුක දිහා බැලුවේ පුදුමයෙන් වගේ.මේ වගේ කතාවක් චතුකගේ ඔලුවට වැටුණේ කොහොමද?

“පුතා දැකලා තියනවද තාත්ති අඬනවා? එතකොට සීයා?”

චතුක කල්පනා කරා.චූටි නැන්දිගේ වෙඩින් එක දවසේ එයාව බදාගෙන සීයා අඬපු හැටි චතුකට මතක් වුණා.එදා සීයාට වගේම තාත්තිටත් ඇඬුණා.හැමෝම අඬනකොට චතුකත් ඇඬුවා.ඒ විතරක් නෙවෙයි,නංගි බබා ඉපදුණු අලුත වීදුරු පෙට්ටියක් ඇතුළේ ඉන්නකොට තාත්තා කඳුළු පිහදාපු හැටි චතුකට මතකයි.එතකොට පිරිමි ළමයි අඬන්නේ නෑ කියන්නේ කොහොමද?

“ඇයි දැන් පුතා ඇඬුවේ?”

අත්තම්මා අහනකොට තමන්ට හොඳටම රිදුණු බව චතුක පැහැදිලි කළා.එදා සීයා ඇඬුවේ දුක නිසා බවත් නංගි අසනීපෙන් ඉන්නකොට තාත්තිට ඇඬුණෙත් දුක නිසා බවත් අත්තම්මා කියලා දුන්නේ ආදරෙන්.

“දුක හිතනකොට රිදෙනකොට අපිව සංවේදි වෙනවා පුතේ.එතකොට මිනිස්සු කාටත් ඇඬෙනවා.චූටි නංගිගේ ඉඳලා සීයා වෙනකම් හැමෝම අඬනවා.”

ඊටපස්සේ තමයි කමලා ආන්ටි කියපු කතාව කියන්න චතුකට හිතුණේ.චතුක හෙමින් සීරුවේ ඒ කතාව ආත්තම්මාට කිව්වා.

“එහෙම කියන්න බෑ මගේ පුතේ.කමලා ආන්ටිට වැරදිලා.පුතාට අඬන්න හිතෙන ඕනෑම වෙලාවක අඬන්න.අම්මා කියපු කතාවනම් ඇත්ත.අපි මොකුත් අඬලා දිනා ගන්න නරකයි.ඒ වුණාට දුක හිතෙනවානම් ඕනෑම වෙලාවක අඬන්න පුලුවන්.”

අත්තම්මා එහෙම කිව්වේ චතුකගේ ඔලුව ඉඹ ගන්න ගමන්.චතුක ආයේම සෙල්ලම් කරන්න දුවනකොට මේ ගැන කමලා එක්ක කතා කරන්න ඕන කියලා අත්තම්මාට නම් හිතුණා.

More Stories

Don't Miss


Latest Articles