රාත්‍රියේ අතැර දැමූ අලුත් උපන් බිළිඳියව රැක ගත් සුනඛ ධේනුවක්.

සත්තු එක්ක හැදුණු වැඩුණු ළමයි,  සත්තුන්ගේ ආදරයට ලක් වූ ළමයි ගැන කතාන්දර අපිට සාහිත්‍ය කෘතිවල, චිත්‍රපටියක හමු වෙනවා. ඒ වගේම ගෙදර ඇති කරන බලු සුරතලා, පූස් හාදයා ඔබේ දරුවන්ට දිවි දෙවැනි කරලා ආදරේ කරන අන්දම ඔබ දැක ඇති.

මේක ටිකක් වෙනස් කතාවක්. ඒත් සතුන් පිරිසක් දරුවෙක්ගේ ජීවිතය බේරා ගත් අවස්ථාවක්.

මේ කතාව වසර දෙකකට පෙර ඇසුණේ ඉන්දියාවෙන්. දෙමාපියන් විසින් අතහැර දමා ගිය අලුත උපන් බිළිඳියක් බලු පැටවුන් පිරිසක් උණුසුම් කර තබා ගෙන තිබෙනවා. ඒ පැටවුන් ඇයව උණුසුම්ව තබා ගැනීමෙන් පසු සීතලෙන් මිදී  රාත්‍රියක් ජීවත් වීමට දැරිය වාසනාවන්ත වුණා.ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ සාරිස්ටල් ගම්මානයේ කෙතක මෙම බිළිඳිය තුවාලයක්වත් රහිතව සිටියදී ප්‍රදේශවාසීන් සොයා ගත්තා. ඇගේ හඬාවැටීම ඇසූ ප්‍රදේශවාසීන් ඒ ගැන විපරම් කර තිබෙනවා. නිරුවතින් සිටි සහ තවමත් පෙකණි වැල  නොකැපූ දරුවා සොයාගෙන තිබුණේ බලුපැටවුන්ගේ මවයි.  ඇය සහ දරු පැටවුන් බිළිඳිය අසල වැතිර සිට ඇති බවයි ප්‍රදේශවාසීන් මාධ්‍යයට පවසා තිබුණේ. 

කුඹුරේ ඉන්න බලු පැටවුන් ළඟ නිදාගෙන අලුත උපන් ගැහැණු ළමයෙක් ඉන්නවා අපි දැක්කේ උදේ. ඇය අඬමින් හිටියා.අපි කලබල වෙලා අලුත උපන් බිළිඳා වැඩිදුර පරීක්ෂාව සඳහා රෝහලට ගෙන යාමට පෙර සෞඛ්‍ය අංශ දැනුවත් කළා’. ගම්වැසියන් පවසනවා.තවත් ප්‍රදේශවාසියෙක් පැවසුවේ අලුත උපන් බිළිඳා ජීවත් කරවීමට බලු පැටවුන්ගේ සහ ඔවුන්ගේ මවගේ උණුසුම හේතු වන්නට ඇති බවයි. එහි අසත්‍යයක් නැහැ. බල්ලන්ගේ ලොම් පිරුණු සිරුර ඉතා උණුසුම් බවට ඔබටත් ඕනෑතරම් අත්දැකීම් ඇති.

අවුරුද්දේ ඒ කාලයේ රාත්‍රියේදී උෂ්ණත්වය පහළ බසින ආකරය අනුව දැරිය රාත්‍රියේදී දිවි ගලවා ගැනීම වාසනාවක් බව ඔවුහු වැඩිදුරටත් පවසනවා.ඇයට ආකාන්ක්ෂා යැයි නමක් යෝජනා වුණා. ඇය සොයා ගැනීමෙන් පසු, පංචායතනය ලෙස හැඳින්වෙන පළාත් පාලන ශාඛාවක් සම්බන්ධ කර ගත් ගම්වැසියන් පොලිසිය ද දැනුවත් කළා.ටික වේලාවකට පසු නිලධාරීන් පැමිණ දරුවා රෝහලට ගෙන ගිය අතර වෛද්‍යවරුන්ට ඇයගේ තත්ත්වය පරීක්ෂා කිරීමට හැකි වුණා.

ප්‍රදේශවාසියෙකු පැවසුවේ අයාලේ යන බල්ලන් සමහර අවස්ථාවලදී දරුණු විය හැකි බැවින් රාත්‍රියේදී දරුවා දිවි ගලවා ගැනීම ‘ආශ්චර්යයක්’ බවයි.

“දරුවා අත් හැර ගිය’ඔවුන් දෙමාපියන් නොවේ, ඔවුන් අපරාධකරුවන්. අයාලේ යන බල්ලන් රාත්‍රියේ සැඟවී සිටින විට අලුත උපන් බිළිඳකු දිවි ගලවා ගැනීම කියන්නේ ආශ්චර්යයක්.”

ගම්වැසියන් දරුවාගේ දෙමාපියන් ගැන අප්‍රසාදයෙන් කතා කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වූ අතර අලුත උපන් බිළිඳාගේ දෙමාපියන් සොයා පොලිසිය පරීක්ෂණ පවත්වා තිබුණා. ඉන්පසු ආකන්ෂාට සිදු වූයේ කුමක්දැයි මාධ්‍යවලට වාර්තා වූයේ නැහැ.

නමුත් ඇය කොහේ හෝ සුවෙන් පසු වෙනවා ඇති!

අම්මා කෙනෙක් කියන්නේ අම්මා කෙනෙකුට. කිරි සුවඳැති කුඩා බිලිඳෙකුට තමන්ගේ දරුවන්ට තරම් ම උණුසුම දෙන්නට කල්පනා කළ බලු අම්මා අපූරු අම්මා කෙනෙක්. ඇය තමන්ගේ පැටවුන් අසලට ආකන්ෂා ගෙන ආවාදැයි කියන්නට බැහැ. නමුත් තමන්ගේ පැටවුන් සහ ආකාන්ෂාව එකම උණුසුමකින් ඇය රැයක් පුරා ප්‍රවේසම් කර තිබෙනවා.

අම්මා කෙනෙක්‍ වන්නට මිනිසත්කම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. බලු අම්මා ලෝකයට දුන් පණිවිඩය එය මිස වෙන කුමක්ද?

Related Articles

Don't Miss


Latest Articles