පමා නොවී වටහා ගත යුතු මිනිස්කමේ පාඩම.

අපේ අසල්වැසි නිවසට පදිංචිය පිණිස පවුලක් පැමිණ තිබිණි. ගමේ මුල් වැසියන් වූ අපට අසල්වැසි නිවසට “වෙනත් පළාතක පිරිසක්” පැමිණීම ගැන තිබුණේ අකමැත්තකි.

“කොහෙන් එන මිනිස්සුද දන් නෑ.”

මගේ අම්මා අකමැත්තෙන් පැවසුවා ය.

“මේ වගේ පිටිසර පළාතකට එන්නේ හැංගිලා ඉන්න කැමති මිනිස්සු”

ඇගේ යෝජනාවට මට එකතු කරන්නට දේවල් විය.

පියා සහ දියණිය සමඟ පැමිණ ඇත්තේ පියාගේ අලුත් බිරිඳ බවත් ඇය ගැබිණියක බවත් ගමේ ඕපාදූප වෙලාවට කලාවට ගෙන එන්නිය වූ එලා මහත්මිය පැවසුවා ය.

“චාරයක් නැති පවුලක්”

අපට ඔවුන් සමඟ ඇයිහොඳයිකම් අවශ්‍ය වූයේ නැත.සම වයස් වල සේ දිස් වූ කුඩම්මාත් දියණියත් දකින සෑම මොහොතක පවා ඔවුන් මඟ හැරීම මගේ සිරිත විය. ඔවුන් සිනා සෙන්නට පැමිණිය ද මට ඔවුන් සමඟ හිනැහෙන්නට උවමනා වූයේ නැත.

ගැබිණියට දරුවා ලැබීමේ අපහසුකම් ඇති වූයේ දිනක් දහවලේ ය. යොවුන් දැරිය අපේ ගේට්ටුවට ගසමින් උදව් ඉල්ලා සිටියා ය. අම්මාත් මමත් නැසූ කන්ව නිවසට වී සිටියෙමි. උවමනා නම් අපේ මෝටර් රියෙන් රෝහලට යන්නට හැකි ය.නමුත් නොදන්නා මිනිසුන් සමඟ භජනයට යන්නට අපට ඕනෑ වූයේ නැත.

“අර රෝස් කෙල්ලට බබා ලැබෙන්න අමාරු වුණාම ඉස්පිරිතාලෙ යන්න ඇවිත් තියෙන්නේ ලූකස් ලු. සල්ලි දෙනවා නම් ඕනෑ එකක්..”

එලා මහත්මිය ඕපාදූප රැගෙන ආවා ය. මේ ගම පහසුකම් නැති පිටිසර ගමක් බව වටහාගෙන නාගරික රස්තියාදුකාරයන් පලවා හරින්නට තිබූ අවස්ථාවක් ලූකස් මුදලට කෑදරකමින් අපතේ යැවීම ගැන සිත්සේ දොස් කියන්නට අප අමතක කළේ නැත.

අම්මාට හදිසි පපුවේ අමාරුවක් පැමිණියේ මැදියමේ ය.එලා මහත්මියගේ නිවසේ දුරකථනයට උත්සාහ කළ වාර ගණන බොහෝ ය. එය නාද වූවා පමණි.නිවෙස් කිහිපයකට ම ඇමතුව ද ප්‍රතිචාර සාර්ථක වූයේ නැත. වර්ෂාවක් ඇද හැලෙමින් තිබුණේ මගේ සියලු බලාපොරොත්තු බිඳ දමමිනි.

අවසාන බලාපොරොත්තුවක් දල්වා ගත් මම අසල්වැසි නිවසට වර්ෂාවේම දිව ගියෙමි. හිනාවකින් හෝ ඔවුන්ට සංග්‍රහ කර නැති මට ඔවුන් ගැන ද විශ්වාසයක් තිබුණේ නැත.

කිසිදු පිළිවෙලක් නැති අසල්වැසියා මටත් කලින් අපේ නිවසට දිව ආ අතර ඔහුගේ දියණිය හෘදයාබාධයකට දිය යුතු මූලික ප්‍රථමාධාර ලබා දුන්නා ය. අසල්වැසියා වූ තෝමස් මගෙන් මෝටර් රථයේ යතුර ඉල්ලා ගත්තේ මා කිසිදු කල්පනාවක් නැතුව වැලපෙද්දී ය.

ඔහු එතරම් වේගයෙන් රිය ධාවනය නොකළා නම් අම්මා තව දුරටත් ජීවත් වන්නේ නැත. ගිලන් රථයකට අමතා එය ගෙන්වා ගැනීමටත් සැලකිය යුතු වෙලාවක් ගත වේ.

අම්මා සුව වූයේ ඉතා සෙමිනි. නගරයේ රෝහලට මා යද්දී මගේ තනියට අසල්වැසි යුවතිය වූ එමිලි බොහෝ වතාවක් පැමිණියා ය. ඇගේ සුළු මව කිරි දරුවෙකුගේ වැඩ අතර මට කෑම පිසින්නට ද ඊට වඩා වැඩි වෙලාවක් ගණනක් මගේ හිත හදන්නට ද ගත කළා ය.

“අපි නේබර්ස්ලා මිස් ලිලී. කරදරයකදී උදව් වෙන්න ඕනෑ අහල පහළ මිනිස්සු. ඒකයි මනුස්සකම කියන්නේ..”

ඈ මා සමඟ පවසන්නේ පිරිසිදු සිනාවකිනි.

ජීවත් වීමට ඇත්තේ ඉතා කෙටි කාලයකි. එය ගෙවා දැමිය යුත්තේ ආදරයෙනි. සුහදත්වයෙනි. අනෙකාට ගරුත්වයක් සහ වටිනාකමක් ලබා දෙමිනි.

” කරදරයකදී අනිත් අයට පිහිට වෙන්න මිසක් වැරදි හොයන්න අපහාස කරන්න අසල්වැසියෝ ඉඳලා තේරුමක් නෑ කියලා මටත් තේරුම් ගියේ කාලයක් ගිහින්..”

මා පැවසුවේ පසුතැවිල්ලෙනි.

ලෝකය ඉතා දරුණු වසංගතයක ගිලී ඇති කාලයක මට ඔබට පවසන්නට ඇත්තේ ද එපමණකි.

ජීවිතය ගෙවිය යුත්තේ උදව් කරමිනි.උදව් ලබමිනි. අසල්වැසියන් කරදරයකට පත්ව සිටී නම්, ඔවුන් කුසගින්නෙන් සිටී නම්, ඔවුන් ඉතා ගැටලුවකින් පීඩා විඳී නම් දෑත් දිගු කර ඔවුන්ට පිහිට විය යුත්තේ අපම ය.

ප්‍රේමය සහ සමඟිය ඕනෑම ගැටලුවකට විසඳුම් සොයන්නට පහසු කාරණාවකි.

More Stories

Don't Miss


Latest Articles