මතක දිගහැරුම 104 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය හතරවන දිගහැරුම ,

මා රෝහලේ ඉහළ මාලයේ සිට පහළ මහලේ පිහිටි ලොබිය පෙනෙන දුරක සිට බලා සිටියේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ රෝහලට වඩින තුරු ය.මා හට පොරොන්දු වූ පරිදිම විනාඩි පහළොවක් ගත වීමට මත්තෙන් ඉතා සන්සුන් ගමනින් උන්වහන්සේ , පන්සලේ වැඩ සිටි ස්වාමීන් වහන්සේලා පස්නමක් සමගින් රෝහලට වැඩියහ.ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා පස් නම රෝහලේ ප්‍රධාන දොරටුවෙන් ඉතා සන්සුන් ගමනින් වඩින ආකාරය ඉතා පින්වත් දසුනක් විය.පිරිත් නූල් බහාලූ වට්ටියක් ද අතැතිව ඉතා ශාන්ත ගමනින් ධම්මාලෝක ස්වාමීන් වහන්සේ අනෙක් ස්වාමීන් වහන්සේලා සමඟ වඩින විට ඒ අවට සිටි බොහෝ දෙනා උන්වහන්සේලාට දණ ගසා වඳින්නට වූහ.මා එම සුන්දර දර්ශනය ඉහළ මාලයේ සිට බලා සිටියෙමි.පසුව ස්වාමීන් වහන්සේලා පස් නමටම දැඩි සත්කාර ඒකකයට ඇතුල් වීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු අප සූදානම් කර තිබූ නිසා ස්වාමීන් වහන්සේලා පස් නමම දැඩිසත්කාර ඒකකය තුළට වැඩම කළහ.

දැඩි සත්කාර ඒකකයේ ඇඳ මත වැතිර සිටි අම්මාගේ ශරීරය පුරාවටම වාගේ විවිධ යන්ත්‍ර සහ කටු සවි කර තිබුණි.ස්වාමීන් වහන්සේලා පස් නම අම්මාගේ ඇඳ වටා අසුන් ගත් හ.අම්මා සිටින ආකාරය දුටු එක් ස්වාමීන් වහන්සේ නමක් අනෙක් පසට හැරී කඳුළු පිස දා ගනු මා දුටුවෙමි.පසුව ස්වාමීන් වහන්සේලා විසින් ඔවුන් රැගෙන ආ පොත් දිග හැරගෙන සූත්‍රයක් දේශනා කිරීම ආරම්භ කළහ.එම සූත්‍රය පළමුවරට මා ශ්‍රවණය කළේ එදිනය.ස්වාමීන් වහන්සේලා විසින් රැගෙන ආ පිරිත් පැන් අම්මට පෙවීම කළ නොහැකි නිසා වෛද්‍යවරයාගේ උපදෙස් මත එම පිරිත් පැන් අම්මාගේ දෙතොල් වල තැවරීමට අපට අවසර ලැබුණි.ඇඳ මත වැතිර සිටි අම්මාගේ දෑස් වලින් දිගටම කඳුළු වැගිරෙනු අප හට දක්නට ලැබුණි.සූත්‍රය දේශනාවක් කර අවසන් කළ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ පිරිත් පැන් ස්වල්පයක් ගෙන අම්මාගේ දෙතොල් වල තැවරීය.

” අම්මා බයවෙන්න එපා.තෙරුවන් සරණින් අම්මට ඉක්මනටම හොඳ වෙයි “

යනුවෙන් උන්වහන්සේ අම්මාට ඉතා කාරුණිකව පැවසීය.හෂාන් විසින් රැගෙන ආ අටපිරිකර අම්මට අත ගස්සවා ස්වාමීන් වහන්සේ වෙත අප පූජා කළෙමු.සියලු කටයුතු අවසන් කළ පසු ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම නැවත පන්සලට වැඩම කළහ.

ස්වාමීන් වහන්සේලා නැවත වැඩම කළ පසුව අප දැඩි සත්කාර ඒකකයෙන් පිටතට වී අම්මගේ තත්ත්වය කෙසේ වේදැයි සිතාගත නොහැකිව බලා සිටියෙමු.විනාඩි 45කට පමණ පසුව වෛද්‍යවරයා දැඩි සත්කාර ඒකකයෙන් පිටතට පැමිණියේය.

” මේක හාස්කමක් “

ඉන්දියානු වෛද්‍යවරයා පැමිණියේ එසේ කියාගෙන ය.

” මේක ඇත්තටම ආශ්චර්යයක්.අම්මාගේ counts ඔක්කොම ආපහු සාමාන්‍ය තත්ත්වයට පත් වේගෙන එනවා “

වෛද්‍යවරයා ලබා දුන් එම ආරංචියෙන් අප සියලු දෙනාගේම සිත් තුළ ඇති වූ සතුට වචනයෙන් විස්තර කළ නොහැකි තරම් විය. ඇත්ත වශයෙන්ම වශයෙන්ම වෛද්‍යවරයා විසින් පැවසූ පරිදිම අප සියලු දෙනාවම දෙනාම පුදුමයට පත්කරමින් අම්මා ක්‍රම ක්‍රමයෙන් සුව අතට හැරෙන්නට විය.ඉන් පසුව දින දෙකක කාලයක් වත් අම්මට දැඩි සත්කාර ඒකකයේ සිටීමට සිදුවූයේ නැත.සති දෙකක කාලයක් පුරාවට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර මධ්‍යයේ සිටි අම්මාව දින දෙකක් ගතවන්නටත් පෙර සාමාන්‍ය රෝහල් කාමරයකට මාරු කෙරුණි.ඉන්පසු වැඩි දිනක් යන්නට මත්තෙන් අම්මා හොඳින් ම සුවය ලැබූ නිසා නැවත ඇයව නිවසට රැගෙන ඒමට අප හට හැකියාව ලැබුණි.ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඇය ඒ තරම් ඉක්මනින් සුව වීම ඇත්ත වශයෙන්ම හාස්කමක් ලෙස අප සියලු දෙනාටම දැනුනි.

අවිස්සාවේල්ල ආසනයේ උඩුගම නැමැති ප්‍රදේශයේ විශාල වශයෙන් රණවිරු පවුල් ජීවත් වූහ.එම පවුල් වල මියගිය රණවිරුවන් සිහිපත් කර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ වඩම්මවා ධර්ම දේශනාවක් පැවැත්වීමට අප කටයුතු සූදානම් කළේ අම්මාගේ උපන්දිනය උපන්දිනය යෙදී තිබෙන මාර්තු විසි එක් වැනි දාකය.වග විහාරස්ථානයේ සංවිධානය කර තිබූ එම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියහ.රණවිරු පවුල් වල දරුවන් හට අවශ්‍ය පොත් පත් පරිත්‍යාගයක්ද කළ අප මියගිය රණවිරුවන් සිහිපත් කර ඔවුන්ගේ පවුල් වෙත සල් පැල ප්‍රධානය කළේ ඔවුන් ගේ නිවෙස් වල ඒවා රෝපණය කිරීම සඳහාය.සල් පැල ප්‍රදානය කිරීමේ අදහස අප වෙත ලබාදුන්නේ ප්‍රවීණ ගත්කතුවරයකු සහ සාහිත්‍යවේදියකු වන සුජිත් අක්කරවත්ත මහතාය.සල් ගස යනු, සිදුහත් කුමාරයාගේ උපත සිහිවන , අපගේ බෞද්ධ ආගමට අනුව විශාල වටිනාකමක් ඇති ශාකයක් වන නිසා රණවිරු පවුල් වෙත එවැනි දෙයක් ලබා දීම වඩාත් උචිත බව ඔහු පැවසුවේය. එපමනක් නොව සල් ගස යනු දේවතාවුන් වහන්සේලා වැඩම කරවන ,ඉතා භක්තියෙන් වන්දනාමාන කළ හැකි වන්දනීය ශාකයක් ද බව ඔහු අප සමග පැවසුවේය.සල් පැල සොයා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවීය.නමුත් අප කෙසේ හෝ අපට අවශ්‍ය ප්‍රමාණයට සල් පැල ලබාගෙන රණවිරු පවුල් වෙත ඒවා ප්‍රදානය කළෙමු.කෙසේ හෝ එම සල් පැල ප්‍රදානයෙන් පසුව එක් සල් පැලයක් ඉතිරි විය.අම්මාගේ උපන් දිනය නිමිත්තෙන් අප කළ පින් කම සිහිපත් වීම උදෙසා මා එම සල් පැලය රැගෙන විත් අපගේ නිවසේ දොර ඉදිරිපිට රෝපණය කළෙමි.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles