නිලැසි -23

නිලැසි තරුණයෙකු හා වෙරළේ ඇවිදින අන්දම තිසරු දුටුවේ අහම්බයකින් නොවේ.ඔහුට ඇමතුමක් පැමිණියේ එවග කියා ය.නිලැසි ගැන කිසිදු අවිශ්වාසයක් නැති දවස් අතීතයට එක් කළ තිසරු වහා මුහුදු තීරය වෙත ගියේ නිලැසිගේ පසුගිය දවස්වල හැසිරීම සිහි කරමිනි.ඔහු ගල් ගැසුණේ එය ගෙතූ කතාවක් නොවන තැන ය.හඬමින් පිටව යන නිලැසි වෙත ගොස් තද පහරක් දීමේ ආශාව මැඩගත් තිසරු එතැනින් යන්නට ගියේ කෝපයෙනි.

එරන්ද නිලැසි යනතුරුම එහෙමෙහෙ ඇවිද්දේ කෝපයෙනි.ඔහුට කෝපය අලුත් වී දැනෙන්නේ අද දවස සැලසුම් කළ ආකාරය අවුල් වී යාම ය.නිලැසි ටෙනාල් ගැන පැවසීම ඔහුගේ කෝපය තදින් අවුලන්නට සමත් විණ.

“මචං..”

ඔහු හැරී බැලුවේ මාධවගේ හඬට ය.

“තිසරු ආවා..මං උඹ කිව්ව විදියටම කෝල් කරා.”

නමුත් එරන්දගේ මුහුණ ඒ අසා පැහැපත් නොවී ය.සැලසුම සකසන විට මෙය අනුවණ කාර්යයක් යැයි තමා කී අන්දම සිහි කරමින් මාධව එරන්දගේ මුහුණ දෙස බලා සිටියේ ය.

“ඇත්තටම ඉතිං දැන් ගින්න මොන පැත්තට යයිද දන්නෑ.මට තේරෙන් නෑ උඹ මේක තිසරුට කිව්වෙ ඇයි කියල.සත්‍ය ප්‍රේමවන්තයෙක් මේක කරානම් ඒ නිලැසිව අයිති කරගන්න කියල මං දන්නව.ඒත් උඹ මෙහෙම කරේ ඇයි කියල මට තේරෙන් නෑ..”

මාධව එසේ කියද්දී එරන්ද හිනැහුණේ වියරු සිනාවකිනි.

“මෙතැනින් පස්සෙ ප්‍රශ්නෙ අයිති එයාට.එයා තිසරු එක්ක ඒක බලා ගනී.පොඩ්ඩක් ජීවිතේ එන්ජෝයි කරන්න එන්න කිව්වම පිළිගත්ත කෙනානෙ දැන් ඔය ආදරෙන් මත් වෙලා ඉන්නේ.එහෙම එකතැනකට කොටුවෙලා ආදරේ කරන්න මට බෑ..”

එරන්දට හිරිහැරයක් වූව ද නොවූව ද නිලැසි තවදුරටත් ප්‍රවේසම්සහගත නැති බව එරන්ද දැන සිටියේ ය.ඇය විවාහයට බල කරන වර්ගයේ ප්‍රේමවන්තියක යැයි ඔහු කිසිසේත් සිතුවේ නැත.නමුත් ආදරය කරන්නට පටන් ගෙන ටික දවසක් ගෙවී යද්දී නිලැසිගේ ලෝකය එරන්ද වටා කැරකෙන්නට පටන් ගත්තේ ය.

“මං ආදරේ කරන්න නොදැන හිටිය කෙල්ලක් නෙවේ එරන්ද..ඒ උනාට මට හිතෙනව මං ඇත්තටම ආදරේ කරන්නේ දැන්..”

බොහෝ වෙහෙස වී එරන්ද වෙනුවෙන් ආහාර පිස ඒවා රැගෙන එද්දී ඇය පවසන්නට වූවා ය.ආදරය සැබෑ ලෙස ඒ ක්‍රියාවල දැවටෙමින් පවතින බව එරන්දට නොපෙනුණා නොවේ.නමුත් ඔහුට වඩා අවශ්‍ය වූයේ රාගය මිස ප්‍රේමය නොවේ.

“පිච්චිලා යන උණුහුමක් වෙන්න පුලුවන් ගැනියෙක් හීතල වැස්සක් වෙන්න පටන් ගත්තා.ඕක තමා එයා වරද්දා ගත්තු තැන.”

එරන්ද එසේ පැවසුවේ නිලැසිට පිටුපෑම වරදක් බව පවසන මාධවට ය.මාධව මිතුරා ගැන පුදුම වෙමින් හුන්නේ ය.ඔහුට සියලුම සැප සම්පත් ලබා දෙන වර්ගයේ ගැහැනියකගෙන් දුරස් වන්නට එරන්ද ක්‍රියා කිරීම ගැන මාධවට දැනුණේ පුදුමයකි.

නමුත් එරන්දට අවශ්‍ය වූයේ එක් දෙයකි, ඒ නිදහස ය.

යහනේ වැතිරී හඬමින් සිටි නිලැසිට එරන්දගේ බැන වැදීම යළි යළිත් කදුළු මතු කරන්නක් විය.නිවසට පැමිණ මෙසේ වැළපීම අම්මා සහමුලින්ම අවුල් කර දමන බව ඇය නොදන්නවා නොවේ.නමුත් ඒ හැම කඳුළම තිසරුගේ අම්මාට පවරා සාම්ප්‍රදායික නැන්දම්මා ලේලි කතාව පැවසීම ඇයගේ සිරිත ය.අම්මා ඉන්පසු සන්සුන් වන්නී ය.

“මට තිබුණේ ටෙනාල්ට ඒ වැඩේ නොදී ඉන්න..”

නිලැසි හැඬුම අතර සිතුවා ය.එරන්ද සිතන තරමටම ඔහු දක්ෂයෙකු නොවන හන්දා ටෙනාල් තෝරා ගත් බව පවසන්නට ඇගේ සිතට ධෛර්යයක් නොතිබිණ.නමුත් කාර්යයක් ඉස්තරම්ව කරන්නට ඇති පුරුද්ද නිසා ඇය ටෙනාල් තෝරා ගත්තා ය.දැන් එරන්ද කෝපයෙනි.ඇතැම්විට මේ ආදරය එතැනින්ම අවසන් වන්නට පවා ඉඩ තිබේ.නිලැසිට එය සිහි වෙද්දී හැඬීමේ වේගය අලුත් වේ.

“මෙතැනින් යන්න අම්මා.මට පාඩුවෙ ඉන්නෝනෙ..”

කාමරයේ දොර හැරෙද්දී නිලැසි එසේ පැවසුවේ කොට්ටය මත තදින් මුහුණ ඔබා ගනිමිනි.නමුත් ඇයගේ උරහිස මත තැබුණු අත අම්මාගේ නොවේ.

“ඇයි ආවේ? අනික ඔයාට මැනර්ස් කියල ජාතියක් නැද්ද කාමරේකට එන්න කලින් පර්මිෂන් ගන්නෝනෙ.”

ඒ වචන අසා උස් හඬින් සිනාසීමට අකමැති තිසරු උස් සිනාවක් නඟන්නට විය.නිලැසි කඳුළු වැල් නොවියැකුණු මුහුණින් ඔහු දෙස බැලුවේ අමනාප බැල්මකිනි.

“මේ ඔයාද මැනර්ස් ගැන කියන්නේ?”

ගැහැනියකට අත එසවීම වරදක් බව තරයේ අදහන තිසරු එසේ ඇසුවේ හැකිතාක් සන්සුන් ස්වරයකිනි.අනතුරුව ඔහු කාමරයේ දොර තදින් වසා නිලැසි වෙත පැමිණියේ ය.

“තමන්ගේ ප්‍රේමවන්තයා එක්ක වලි දාගෙන මෙතනට අඬාගෙන එනව.ඊටපස්සෙ අපේ අම්මා වෙනස්කම් කරනව කියල බොරු අතාරිනව.තමුසෙට පිස්සුද නිලැසි?”

නිලැසිට දැනුණේ තම දෑස් ඉදිරියේ අකුණු රාශියක් පුපුරා යන බවකි.ඇය කිසිත් නොකියා මඳ වෙලාවක් එලෙසම හුන්නා ය.අනතුරුව සිහි එළවා ගත්තා ය.

“මට ඩිවෝස් වෙන්න ඕන..”

තිසරුගෙන් මතු විය යුතු වදන් අනතුරුව ඇගෙන් ඇසිණ.තිසරු තදින් නිලැසිගේ අතක් අල්ලා ගත්තේ ය.ඔහුගේ දෑස් මත ඇවිලෙන ගිනි පුපුරු නිලැසිගේ කෝපය ද අවුලමින් තිබිණ.

“නෑ.මං තමන්ට කවදාවත් දික්කසාදේ දෙන් නෑ.ඒ මං තමුන්ට තියන ආදරේට නෙවෙයි.මේ ගෙදර ඉන්න අනිත් හැම මනුස්සයටම මං ආදරේ නිසා.ඒ මිනිස්සුන්ට ජීවිත කාලෙම තමුන් හින්දා ලැජ්ජාවට පත් වෙන්න මං ඉඩ තියන් නෑ.ඔය රස්තියාදුකාරයා තමන්ව කසාද බැඳගෙන පිළිවෙලක් වෙන් නෑනෙ.එහෙව් මිනිහෙක්ට මේ ගෙදර බිත්තිවල අසූචි ගාන්න ලැබෙන අවස්ථාව මම නවත්තනවා..”

තිසරු දබරඇගිල්ල උලුක් කරගෙන නිලැසිගේ මුහුණට එබුණේ ය.

“ඔය එරන්ද කරන දේ මට එකට දහස් වතාවක් කලෑකි.නමුත් මම කරේ නෑ.මෙතැනින් පස්සෙ තමන්ටත් බොහොම දේවල් දරා ගන්න වෙයි.හැබැයි තමන්ට හැමදාම මිසිස් මොරවක වෙලා ජීවත් වෙන්න වෙනවා..”

තර්ජනය නුපුරුදු මිනිසෙකුගෙන් මතු වූ ඒ තර්ජනයට තිගැස්සුණු නිලැසි බොහෝ වෙලාවක් හිටි පියවරටම සිටියා ය.තිසරු නික්ම ගියේ තදින් දොර වසාගෙන ය.ඒ හඬ තමන්ගේ කම්මුලට එල්ල කළ පහරක් තරම් තදින් නිලැසිට දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles