නිලැසි -37

“මම ඔයාගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ ලොකු…”

නිලැසිගේ දික්කසාද නඩුව සම්බන්ධයෙන් දැන ගත් දා රාජේන්ද්‍ර ඇයට ඇමතූයේ සැර පරුෂ හඬකින් ය.ආදරය සම්බන්ධයෙන් බොහෝ නිදහස් අදහස් ඇති බව සිතා හුන් තාත්තා ඉතා සාම්ප්‍රදායික මිනිසකු ලෙස තමන් ඇමතීම ගැන නිලැසි පුදුමයෙන් නෙත් අයා ගත්තා ය.

“මම ඒ මනුස්සයා එක්ක ඉන්න කැමති නෑ.”

හිතුවක්කාර වී සියල්ල දිනන්නට පුරුදු වී සිටි නිලැසි හිතුවක්කාර හඩකින් තාත්තාට පැවසුවා ය.

“මෙතන උනේ ඔයා එයත් එක්ක ඉන්න කැමති නැති එක නෙමෙයි නේ..ඒ මනුස්සයා ඔයා අයින් කරන එක..”

එතෙක් වෙලා පසෙකට වී හඬමින් සිටි රසාදරී දියණියට කඩා පැන්නා ය.
නිලැසිට විශේෂයක් දක්වමින් සෑම මොහොතකම ඇගේ පාර්ශවයෙන් ගැටළුවක් දෙස බැලීමට වූ පුරුද්දම තමන්ට බූමරංගයක් වූ බව රසාදරී සිතුවා ය.

“තිසරුගේ ගැටළු හින්ද තමයි මේ සේරම සිද්ධ වුණේ..”

පරදින්නට අකමැති නිලැසි වගක් නැති හඬකින් එසේ පැවසුවා ය.එහෙත් ඇගේ ඇතුලාන්තය ඉකිගසා වැලපෙමින් තිබිණි.

“තිසරුගෙ ගැටලුවක් තිබ්බනං ඩිවෝස් එකට ඉස්සර වෙන්න ඕනේ ඔයානෙ. දැන් මෙතැන ඔයා හින්දා මගෙත් නිම්නගෙත් මුළු අනාගතයම ඉවරයි.ගොසිප් එකක් වැදුනම ගොඩ යන එක මේ ෆීල්ඩ් එක ඇතුළෙ ලේසි නෑ.. ඒක ඔයා හොදටම දන්නවා නේ..”

තාත්තා එසේ පවසද්දී නිලැසි කෝපයෙන් මඳ වෙලාවක් ගල් ගැසී සිටියා ය.

“එහෙනම් තාත්තා ගැනත් ඔය ගොසිප් තියෙන්නෙ.ඒවා නිසා තාත්තටවත් මානවී අක්කටවත් කිසිම හානියක් වුණේ නෑනේ..”

රහස මොනතරම් නිරුවත්ව සිටියද එය හිඳින්නේ සැඟවී බව සිතන්නට කැමති රාජේන්ද්‍ර නිලැසි දෙස රෞද්‍ර ඇසකින් බලා සිටියේ ය.ලෝකයට තමන් තරමට ආදරණීය තාත්තා කෙනෙකු නැති බව පැවසුවද ඔහුගේ ඇතුළාන්තය ඒ කතාවෙන් බොහෝ සේ පීඩා විඳින්නට පටන් ගත්තේ ය.නියපිටින් පහරක් නොගසා දරුවන් සමග මිත්‍රශීලීව ජීවත්වෙන බවටත් ඔවුන් ඇතිදැඩි වන්නේ තමන්ගේ ආදරය පිරුණු ලෝකයක බව මාධ්‍යවලට මොන තරම් පැවසුවද සැබෑ රාජේන්ද්‍ර අවදි වූයේ ඒ මොහොතේ ය.

වේගයෙන් ආ අතුල් පහර නිලැසිගේ කම්මුල මත පතිත වූයේ එබැවිනි. කුඩා බැනුමකට පවා හඬන්නට පුරුදු වී සිටියේ කුඩා දැරියකි.වයසින් වැඩෙත්ම නිලැසි වඩ වඩාත් හිතුවක්කාර වූ බැවින් අම්මාගේත් තාත්තාගේත් ඇනුම් බැනුම් වලට ප්‍රතිචාර දැක්වූයේ එකට එක පැවසීමෙනි.නමුත් මේ මොහොතේ ඇය කිසිවක් ම පැවසූයේ නැත.නිසොල්මන්ව බලා හුන්නා ය.

“මානවී ගැන කතාව සම්පූර්ණම මීඩියා කාරයෝ හදපු බොරුවක් හින්ද තමයි ඒකෙන් මට කිසිම හානියක් නොවුණේ.ඒකෙන් මානවීටත් හානියක් නොවෙන්නේ.ඒ වුණාට තමන් මේ කරගෙන තියෙන වැඩේ සම්පූර්ණ ඇත්ත වැඩක්.තිසරු තැන තැන තමන්ගේ චරිත ඝාතනය නොකර ඉන්න හින්ද තමයි තමන් මේ විදිහටවත් ඔළුව උස්සගෙන ඉන්නේ..”

රාජේන්ද්‍ර සැර වන්නේ නිලැසිගේ අනියම් ප්‍රේමය හන්දාම නොවේ.ඇය ඇගේ කුඩා පොල් කෙන්ද ගැන අසද්දී තමන්ගේ පරාල ඇණය ගැන පැවසූ හන්දා ය.ඔහු තේජමාන වෘක්ෂයක් ලෙස වැජඹෙද්දී නිලැසි කළ චෝදනාව ඔහුට සියුම් පොරෝ පහරක් නොවී ය.එය බරපතල චෝදනාවකි.දියණියක විසින් පියෙකුට කළ චෝදනාවකි.

“මහ කකුළුවා කෙලින් යන්නෙපැයි පැටව් යන්න..”

රසාදරී එවැන්නක් පැවසුවා නම් ඔහුට මෙතරම් වේදනාවක් නොදැනෙන්නට ද තිබිණ.නමුත් ඇය හිඳින්නේ මානවීගේ ප්‍රේමය නොදන්නා ගාණට ය.ගැහැනියකට එසේ සිටිය හැකිදැයි රාජේන්ද්‍ර ඇතැම්විට පුදුමයට පත් විය.
රසාදරී තරමට තිසරු නොඉවසන බව රාජේන්ද්‍ර දනියි.තම යෞවනය ද රැකියාව ද අනාගතය ද වික්‍රමාරච්චි මහත්මිය වන්නට කැප කළ රසාදරී තම කිරීටය මානවීට දෙන්නට නොකැමති වූවා ය.ඇය සියළු වේදනා දරාගෙන රැඳී සිටියේ ද සිටින්නේ ද එනිසා ය.නමුත් තිසරුට එසේ රැඳී සිටින්නට අවශ්‍යතාවයක් නොවන බව රාජේන්ද්‍ර නොදන්නවා නොවේ.මේ මඟ හැරිය හැකි තත්ත්වයක් නොවේ.දික්කසාදය ඉක්මනින් ලබා ගන්නටත් එය කිසිදු මාධ්‍යයකට ආරංචි වීමට ඉඩ නොදෙන්නටත් ක්‍රියා කළ යුතු බව රාජේන්ද්‍ර සිතී ය.

“තමන් ඇත්තටම අර හිච්චි කොල්ලා එක්ක සම්බන්ධයක් තියනව නේද?”

රාජේන්ද්‍ර දියණියගෙන් එසේ ඇසුවේ අවඥාසහගත හඬකිනි.එරන්දට එවැනි නමකින් අමතන්නට හේතුව ඔහුට කිසිම වටිනාකමක් නොදෙන්නට තාත්තා තීරණය කළ නිසා බව නිලැසි තේරුම් ගත්තා ය.

“බබී…මට ඕනෑ ඔයාගෙ තාත්තා වගේ වෙන්න..”එරන්ද එසේ කියන අන්දම ඇය සිහි කළේ වේදනාවෙනි.තාත්තා මෙසේ හැසිරෙන්නේ නම් දික්කසාදයෙන් පසුව හෝ එරන්ද හා විවාහය සිහිනයක්ම බව නිලැසිට දැනෙන්නට වූයේ හදවත වේදනාවෙන් පිරී යද්දී ය.

“එයා හිච්චි නෑ තාත්තා.හරියට පාර පෙන්නුවොත් මල්ලිටත් වඩා දුර යයි..”

නිලැසි ඒ අවඥා සහගත ප්‍රකාශයට එරෙහි වූවා ය.නිලැසි සමඟ දිගින් දිගටම ඒ ගැන කතා කරන්නට නොසතුටු රාජේන්ද්‍ර එතැනින් නික්මුණේ මුවට නැගුණු සරදම් හසරැල්ල නොමැකෙන්නට දෙමිනි.

“මිනිහා ජයග්‍රහණයට පාර තෝරන්නේ ෂෝට් කට්ස් වලින්.අන්න ඒකයි මෙතැන අවුල.මං වගේ වෙන්න මගෙ දුව රවට්ටා ගත්තට බෑ..”

විසිත්ත කාමරයෙන් නික්මෙන්නට පෙර රාජේන්ද්‍ර වික්‍රමාරච්චි ප්‍රතාපවත් හඬකින් පැවසී ය.ඒ වචන කිහිපය බොහෝ වෙලාවක් නිලැසිගේ සවන් මත නින්නාද නැංවී ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles