නිලැසි -36

“ඩිවෝස් නඩුව යකාට ගියාවේ..ඔයා ඔයාගෙ වැඩ පටන් ගන්න..”

නිලැසිගේ මානසිකත්වය බිංදුවටම වැටෙද්දී මානවී ඇයට සිහි කළා ය.නමුත් නිලැසි සිටියේ අනාගතය ගැන නිශ්චිත අරමුණකින් තොරව ය.කළ හැකි දේ සිතමින් දෑස් නිතරම තෙතට හරවා ගනිමිනි.

“තිසරු අයියගෙ අනුකම්පාව නම් බලාපොරොත්තු වෙන්න එපා අක්කේ..”

දිගැසි එසේ පැවසුවේ නිලැසි දෙස තවදුරටත් ළතෙත්ව බලන්නට අපොහොසත්ව ය.තිසරුගේ යම් වරදක් නිසා දික්කසාදය වෙනුවෙන් සූදානම් වන්නට සිදු වූවානම් අක්කා වෙනුවෙන් සෑම මොහොතක්ම වැය කරන්නට දිගැසි පසුබට වන්නේ නැත.නමුත් දැන් තත්ත්වය වෙනස් ය.ඇයට හිත හදා ගන්නට අසීරු එබැවිනි.

“මොනව වුණත් නිලැසි අක්කා මේ වෙලාවේ ඉන්නේ ස්ට්‍රෙස් වෙලා.ඔයාට මොකුත්ම කියන්නෙත් නෑ..රශ්මිට බබා නිසා එයාට දෙන්න් කාලෙකුත් නෑ..ඒ නිසා ඔයා අක්කා එක්ක ඉන්න.මොනව වුණත් ඒ ඔයාගේ අක්කා..”

දුලාජ් දිගැසිට නිරන්තරයෙන් සිහි කළේ ය.ඒ ඇය සැබෑවටම සහෝදරිය අතැර දමා හිඳින බැවිනි.

“ආදරෙයි කසාදෙයි කියන්නේ දෙකක් කියල දැන් මට තේරෙනවා..”

නිලැසි බොහෝ දවසක් කල්පනා කිරීමෙන් අනතුරුව එරන්දට එසේ පැවසුවා ය.ඔහුගේ තොල් මත සිනාවක් ඇඳිණ.විවාහයකට බල නොකරන්නේ නම් ඇය හා විසීම ඔහුට ගැටළුවක් නොවේ.

“කසාදයක් කියන්නේ තනිකරම පැවැත්ම වෙනුවෙන් කරන බොරුවක් බබී..”

එරන්ද ඔහුගේ ආටෝප සහිත බස් ඇරඹී ය.නිලැසි ඒවා තරයේ විශ්වාස කරමින් ඔහු තරම් දාර්ශනික කතා දන්නා මිනිසෙකු නැතැයි අදහන බැවින් එරන්ද සිතට නැගෙන ඕනෑම විකාර සහගත කතාවක් පවසන්නේ ඈ සමඟ ය.

“පැවැත්ම වෙනුවෙන්ම කියන්නත් බෑ නේද? සමහර මිනිස්සු බැන්දත් දරුවෝ හදන්න කැමති නෑනේ..”

නිලැසි එසේ පවසද්දී එරන්ද කළේ උස් හඬින් හිනැහීම ය.ඔහු එතැනදී පැවැත්ම ලෙස අදහස් කළේ වර්ගයාගේ පැවැත්ම නොවේ.

“මම කියන්නේ එහෙම පැවැත්මක් නෙවේ බබී.පුද්ගල පැවැත්ම.කෙනෙක් කසාදයට තෝරා ගන්නේ කොහොම කෙනෙක් කියලද ඔයා හිතන්නේ..”

එරන්ද අසද්දී නිලැසි මොහොතක් ඒ ගැන සිතන්නට වූවා ය.අතීතයේ නම් ඈ සිතා හුන්නේ වඩාත්ම ආදරය දැනෙන තරුණයෙකු විවාහ කරගන්නට ය. එය වඩා උගත් තරුණයෙකු විය යුතු බව ඈ සිතුවේ සුමාල් හා විවාහයට සැරසෙද්දී ය.විවාහ කරගත යුත්තේ කඩවසම් සහ ධනවත් මිනිසෙකු බව තීරණය කරන්නට නිලැසි සිතුවේ සැමියා ලෙස තිසරු තෝරා ගනිද්දී ය.

“තමන්ට ජීවත් වෙන්න පහසුම සහ ආදරේම කෙනා..”

නිලැසි එරන්දට වඩා සුන්දර පිළිතුරක් ලබා දුන්නේ ය.ඒවා ඇගේ නිර්මිත කතා මිස සත්‍ය නොවන බව දන්නා එරන්ද හිනැහෙමින් මොහොතක් ගෙවී ය.

“මිනිස්සු බහුතරයක්ම කසාද බඳින්න තෝරා ගන්නේ තමන්ගෙ පැවැත්ම තහවුරු කරන ගෑනියෙක් හරි මිනිහෙක් හරි තමයි බබී..සල්ලි තියන මිනිහෙක්..හොඳ දේපලක් තියන ගෑනියෙක්.බුද්ධිමත් දරුවො හදන්න පුළුවන් වෙන විදිහේ මිනිහෙක්.ලස්සන ළමයි උපද්දන්න පුළුවන් විදියේ ගෑනියෙක්.. ඕක සමහරුන්ට මෙහෙම වෙනවා.සමහර පිරිමින්ට ඕනේ තමන්ගේ පරම්පරාව ගෙනියන්න පුළුවන් තරම් හයිය ගෑනියෙක්.ළමයි උපද්දවන මැෂින්..අන්න ඒකයි මම කියන්නේ කොයි අතින් බැලුවත් කසාදයක් කියන්නෙ බොරුවක්..”

විවාහය එපමණකට අසත්‍යයක් බව නිලැසි තවමත් නොසිතන්නී ය.තමන් තිසරුට අවංක වූවානම් ධනය ද සමාජ තත්ත්වය ද සුන්දර දරුවන් ද සියල්ල ලැබෙන්නේ උතුරා යන ආදරයක් ද සමඟ බව දැන් ඇය දන්නී ය.නමුත් ඒ සිහින ලෝකය දැන් ඇයට අයත් නැත.ඇතැම්විට තිසරුගේ සශ්‍රීකවත් ලෝකය නොදන්නා ගැහැනියකට අනාගතයේ හිමි වන්නට ඉඩ ඇති බව සිතද්දී ඇයට මතු වන්නේ දැඩි ඊර්ෂ්‍යාවකි.

“ඕවා මොකුත් නොහිතන මිනිස්සුත් ඉන්නව.අපේ මල්ලි මේ ජෙනරේශන් එකේ සිහින කුමාරයෙක්.ඒත් ඒ මනුස්සයා රශ්මිගෙ ආදරේ පස්සෙ ගියේ පිස්සෙක් වගේ.මල්ලි එහෙම සිහින කුමාරයෙක් හින්දම රශ්මි එයාට ආදරේ කරන්න කොච්චර බය උනාද?මල්ලි ඉක්මනින් මැරි කරන එකයි කැමරා පෙන්නන්න බැරි රශ්මිව බලෙන්ම ලෝකෙට පෙන්නන එකයි එයාගේ ජනප්‍රියකම නැත්තටම නැති කරයි කියල මං හිතුවේ..”

තම සුන්දර බිරිඳ ගැන ලෝකය ඉදිරියේ ඉමහත්ම ප්‍රේමයෙන් පවසන නිම්න එය තම පරිහානියට හේතු කර ගන්නා බව නිලැසි තදින් විශ්වාස කළ ද සිදු වූයේ අනිකකි.නිම්න- රශ්මි ප්‍රේමය යෞවන පරම්පරාවේ උමතුවක් බවට පත් වූයේ නිම්න යෞවනියන්ගේ සිහින කුමරා වූවාට වඩා වේගයෙනි. බිරිඳට නිවසේ කටයුතුවලට අත් උදව් දීම, ඇය ගැන නිරන්තරයෙන් සොයා බැලීම, ඇගේ උපන්දිනයට පුදුම කිරීම් ලබා දීම නිම්න ඉටු කරන්නේ ද ජනප්‍රියත්වය වෙනුවෙන් නොව සැබෑ මානසික සහනය උදෙසා බව නිලැසි දන්නී ය.ඇතැම්විට ඒ ප්‍රේමයේ තිබූ අව්‍යාජ බවම එය එතරම් ආකර්ෂණයක් සඳහා හේතු වන්නට ඇත.

“නිම්නත් මොනතරම් මෝඩයෙක්ද කියලා පේනවනෙ.අවුරුදු තිහටත් කලින් කසාදයක් කරගෙන තාත්තෙකුත් උනා.එහෙම නැතුව ලයිෆ් එක එන්ජෝයි කරානම් ජීවිතේ මාර රහක් වෙන්න තිබ්බා.පොඩි එකෙක්ගෙ ඩයිපර් මාරු කර කර ඌට නැළවිලි ගී කිය කිය ඉන්න ජීවිතේ පට්ට සැපක් කියල හිතන්න තරම් ඌත් මෝඩයෙක්..”

එරන්ද එසේ පැවසුව ද මල්ලීට ඒ ජීවිතය මහමෙරකට වඩා අගනා බව ඔහුට පැහැදිලි කරන ආකාරයක් නිලැසිට නොවැටහිණ.

“මේ රටේ ජනප්‍රිය නළුවෝ කොච්චර ඉන්නවද නිලූ..මං තාම ආදරයක් ගැන හිතලවත් නෑ කියන..හැබැයි පොඩි එකා මොන්ටිසෝරිත් යනවා..”

එරන්ද එසේ කියද්දී නිලැසිගේ දෑස් මත මුහුණු කිහිපයක් ම ඇදී මැකී ගිය අතර ඇය තනිවම හිනැහුණා ය.

“බබාලා නර්සරි ගියාට ඒ මිනිස්සු ඇත්තටම ආදරේ කරල නැතුව ඇති ඉතිං…”

ඇය පැවසුවේ ඒ සිනාව අතරිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles