නිලැසි – අවසන් කොටස

ප්‍රේමයට සීමාවක් නැතැයි එය සීමා කර ගත යුතු හැඟීමක් නොවේයැයි නිලැසිට පැවසූයේ ද එරන්ද ය.ඔහු බොහෝ තරුණියන් හා ප්‍රේමයෙන් වෙළෙන වගට ඇයට දිනක් තිසරු ඉතා ආදරයෙන් පැහැදිලි කර දුන්නේ ය.නමුත් ඔහුගේ පරම පිවිතුරු ආදරය තමන්ට ම පමණක් බව සිතන්නට පුරුදු වී හුන් නිලැසි එරන්ද ගැන මඳක්වත් සැක නොකළා ය.ඒ අතිශය විශ්වාසය ඇගේ දෑස් මායිමේ දියව යමින් තිබිණ.ඒ නොදන්නා තරුණියක නිසා නොවේ.

මානවී!!

ඇය විවාහයකට පවා නොඑළඹෙන්නේ තාත්තා නිසා බව නිලැසි සිතා සිටියා ය.නමුත් ඇගේ ඒ ප්‍රතිපත්තිය පවා එරන්ද නිසා බිඳී ඇති හැඩ ය.නිලැසි ගල් වී මඳ වෙලාවක් ගෙවා දැම්මා ය.එරන්දගේ අනාගතය යහපත් කරන්නට මානවී ඔහුගේ ගායන සහායිකාවක කිරීමේ තීරණය තමන්ගේ ය.මානවී-එරන්ද හඬ සුසංයෝගය යන්තම් ජනප්‍රිය වීම ආරම්භ වූවා පමණි.

“ඇයි මෙහෙම කරේ?”

නිලැසි ඒ ප්‍රශ්නය ඇසුවේ පොදුවේ ය.මානවීට වචන සොයා ගත හැකි වූවානම් එයට දිය හැකි පැහැදිලි පිළිතුරක් තිබිණ.මානවීගේ භද්‍ර යෞවනය වැනසී ගියේ රාජේන්ද්‍ර වික්‍රමාරච්චි නිසා ය.ඔහුගේ දියණියගේ උමතු ප්‍රේමය තමන් සතු කර ගැනීම ම ඒ අතීතය වෙනුවෙන් දිය හැකි උපරිම දඬුවම නොවන්නේ ද?

“ආදරේ කියන්නේ හිර කරලා තියා ගන්න හැඟීමක් නෙවෙයි,මේ මොහොතෙ විඳින හැඟීමක් කියලා මං ඔයාට අනන්තවත් කියලා තියනවනෙ.මගේ ආදරේ කාට කොයි මොහොතේ ලබා දෙනවද තීරණය කරන්නෙ මම.කිසිම නීතිමය ලියවිල්ලකින් කිසිම ගෑනියෙක්ට කොටු නොවී ඉන්න මම පරිස්සම් වෙන්නේ ඒකයි..”

එරන්ද එසේ කියද්දී නිලැසි ඔහු වෙනුවෙන් සැකසූ ආහාර අඩංගු බඳුන් සහිත පාර්සලය පපුවට තුරුළු කරගත්තේ උතුරා යන වේදනාවකිනි.

“මං අද ආවේ අපි දෙන්නා මැරි කරනවනම් ඒකට අම්මාගේ තාත්තගෙ කැමැත්ත ගන්න මට පුලුවන් කියන්න..”

එරන්දගෙන් සිහින් මඳහසක් පළ විණ.

“ආදරේට ආන්ඩුවෙනුයි අම්මා තාත්තගෙනුයි අවසර අරන් නීති අස්සෙ හිර වෙන්න ඕන නෑ නිලූ.ආදරේ කියන්නේ ආදරේට..ආදරේ පරණ වෙනවනම් අපි ඇත්තටම ඒක අස්සෙ හිර වෙන්න ඕන නෑ..”

නිලැසි ඒ ඔහුගෙන් ඇසූ අවසන් වදන ය.ගීතයක් මනරම්ව ගයන යෞවනයෙකු අගය කළ කතාවේ අවසානය පැමිණ ඇති බව ඇය වටහා ගත්තා ය.ඔහු සමඟ කතාබහ කළ දේ ද ඔහු වෙනුවෙන් කළ කී දේ ද අතීතය මිස මේ මොහොතට අයත් නැති බව දැන නිලැසි පිටව ආවා ය.මහත් හිස්කම ද තමන් ගැන දැනෙන ආත්මානුකම්පාවක ද දරා ගත නොහැකි නිලැසි යා යුතු අත ගැන සිතමින් මොහොතක් කල් ගෙවී ය.

“අනේ අක්කා තත්පරයක් ඉවසන්න.මං එනවා..”

සියදිවි නසා ගත යුතු බව පවසා කෙටි පණිවිඩයක් එවූ අක්කා මුහුදු තීරයේ හිඳින බව ඇසූ දිගැසි වාහනය පැදවූයේ අන් කවරදාකටත් වඩා වේගයෙනි. නීත්‍යානුකූල රියැදුරියක වන්නට ප්‍රිය කළ දිගැසි අද මාර්ග නීති කඩ නොකළේ ද අනතුරකින් තොරව ගමනාන්තයට ආවේ ද කාලය ඇයට කාරුණික වූ නිසාම වන්නට ඇත.මහ මුහුද ද දුම්රිය මාර්ගය ද අසුබ ලකුණක් නොපෙන්වන්නැයි දෙවියන්ට යදිමින් දිගැසි අක්කා සොයා දිව ගියා ය.

ගිනි අව්වේ දැවෙමින් මුහුදට නෙත් අලවා සිටි නිලැසිගේ දෑස තවදුරටත් නිල් පැහැ නොවී ය.ඒවා රත් පැහැ ගැන්වී තිබිණ.ඇය හඬන්නටවත් කදුළු නොමැතිව මිදී ගිය දෑසකින් බලා සිටියේ ජීවිතය අතැර ගන්නට දිරියක් රහිතව ය.

“අක්කා ඇයි මේ..”

සීමා රහිත ගමනක් යන අක්කා අතැර දමන්නට හිත හදා ගත් දිගැසි ඒ සිතුවිල්ල මුහුදට දමා අක්කා වැළඳ ගත්තා ය.ගිනියම් හිරු පායා ඇති අහස යට ඉකි බිඳිමින් එරන්ද තමන්ට වංචා කළ ආකාරය නිලැසි හෙළිදරව් කළා ය.

“අපේ අම්මා දැන් අත්තම්මෙක් අක්කා.එයාට ඒ කාලෙවත් සැනසීමක් ලැබෙයි කියලා හිත හදා ගන්න විතරයි මට ඔය කතාවෙන් පුලුවන්..”

නිලැසිව ප්‍රවේසම් සහගතව නිවසට රැගෙන විත් ඇය සන්සුන් කර නිදන්නට ඉඩ හැරීමෙන් පසු දිගැසි පැවසුවා ය.සිහින් ඉකියක සිරවී හුන් නිලැසි රැවටීම මොනතරම් නරුමදැයි අවබෝධ කරගනිමින් හුන්නා ය.ඇය තිසරු රැවටූ අතර එයට වඩා සියදහස් ගුණයක වේදනාවකට ඈ ඇද දමන්නට එරන්ද ක්‍රියා කළේ ය.

“මට තිසරුගෙන් සමාව ගන්න හිතෙනවා..”

හඬා ඉදිමුණු දෑසකින් අවදි වූ නිලැසි පැවසුවේ සඳැල්ලට වී අක්කා ගැන කල්පනාවේ එල්බ ගත් දිගැසිට ය.

“ඔයාට හිතෙනවනම් ඒක කරන්න අක්කා.ඒත් ජීවිතේ ෂාරුක් ඉන්න හින්දි ෆිල්ම් එකක් නෙවේනෙ.තව පැය බාගෙකින් තිසරු අයියගෙ කා එක මෙතන නතර වෙන් නෑ..එයා කෝල් එක ආන්සර් කරයි..එච්චරයි..”

දිගැසි ඇයට වැටහෙන යථාර්ථය හෙළි කළා ය.අලුත් ඉරක රැස් මුහුණට වැටෙද්දී නිලැසි නිසොල්මන්ව බලා සිටියා ය.

“මට මොකක් කරන්නද කියලා තේරෙන් නෑ..”

ඈ පවසන්නේ වේදනාබර හඬකිනි.පසුතැවිල්ල තරම් භයානක හැඟීමක් තිබිය හැකිදැයි සිතමින් දිගැසි අක්කාගේ හිස පිරිමැද්දා ය.

“බිඳෙන තැන් හදන්න බෑ අක්කා.බිඳෙනවා කැඩෙනවා කියන්නේ ජීවිතේනෙ..ඔයා ආයේ ආයේ එකම වරද නොකර ඉන්න බලන්න..ඒ ඇති.ජීවිතේ ඔහොම තමයි.ආදරේ කියන්නේ රැවටිමට වඩා හුඟාක් ඈත තියන දෙයක් කියලා තේරුම් අරන් ජීවත් වෙන්නකො.ආයේ අඬන්න ඕන වෙන එකක් නෑ..”

සුසුම් ලන අක්කාට කියන්නට වචන සොයමින් දිගැසි කතා කළේ ප්‍රවේසමිනි.නිලැසිගේ දුරකථනය නාද වූයේ ඒ මොහොතේ ය.

“එරන්දයද? මානවීව ඇතිවෙනකොට කතා කරයි..අනේ ප්ලීස් නම්බර් එක බ්ලොක් කරන්න..”

දිගැසි එසේ කියද්දී නිලැසි ඒ ඔහු නොවන බව පෙන්වී ය.ඒ ටෙනාල් ය.අක්කා නැවත ඇගේ ඡායාරූප ප්‍රදර්ශනය ගැන සිතීම ම සතුටක් බව සිතමින් දේශන සඳහා යන්නට ඇඳ පැළඳ ගන්නට දිගැසි නික්මිණ.පිරිසිදු වන්නටත් ඔසරියකින් සැරසෙන්නටත් ආලේපන ගල්වන්නටත් මඳ වෙලාවක් ගත වෙන නිසා දිගැසි කාමරයෙන් පිටතට ආවේ හෝරාවකට ද පසු ය.වැළපෙමින් හුන් නිලැසි ද ගමනකට සූදානම්ව ය

“ඔයා කොහෙහරි යන්නද අක්කා..”

දිගැසි ඇසුවේ පිළිතුර නුවුමනා ප්‍රශ්නයකි.අක්කා විනුදි මුණ ගැසී හිත නිදහස් කර ගන්නට යන ගමනක් දිගැසි අනුමාන කළා ය.

“ටෙනාල් මීට් වෙන්න යනවා.එරන්ද මාව රිද්දන්න ඉන්නවනම් ඒවා හඳේ..”

නිලැසි නව ගමනකට පා තැබුවේ කිරිල්ලක බඳු සැහැල්ලුවෙනි.මෙවැනි හිතුවක්කාර පියෑඹීම් නොනවත්වා කරන්නට තරම් ඇගේ පියාපත් සවිමත් දැයි දිගැසි සසැලෙමින් බලා හුන්නා ය.එවැනි කිරිල්ලන් කිසිදා හිතුමතේ පියෑඹීම අත් නොහරින බව වටහා ගන්නට දිගැසි අසමත් ය.නමුත් ලෝකයේ ගැහැනු අතර නිලැසි වැනි හිතුවක්කාර කිරිල්ලන් අඩු වැඩි ලෙස අපේ දෑස් මත හැපෙමින් පියාඹන්නී ය.

සමාප්තයි!

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...

කුඩුකේඩුකම්

"අම්මේ,මම දැක්කනෙ දෙව්මි පිරිමි ළමයෙක් එක්ක බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා." චතුරි ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන.විශ්ව විද්‍යාලයේ ඉඳලා කාලෙකට...

වැටකොළු පොතු අපතේ නොදා සැකසිය හැකි ආහාර

මේ බොහොම අසීරු කාල පරිච්ඡේදයක්.ගෘහණියන් හැටියට අපිට කිසිවක්ම අපතේ යවන්නට මේ කාලයේ බැහැ.එළවළු පිරිමසාගෙන ඉවුම් පිහුම් කරන්න අපි හුරු වෙන්න ඕනෑ.ඒ නිසාම...

හිමගිරි අරණ -18

"මම හිතුණොත් පාරමීට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා." රවිඳුගේ ඒ වචන හිමාෂා තිගැස්මට ලක් කරන්නට සමත්...

(අ)හිමි සිහින -122

දින කිහිපයක්ම ඔබට අහිමි සිහින ගෙන එන්නට නොහැකි වීම ගැන මුලින්ම අපි ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා.යම් අපහසුතා කිහිපයක් නිසා තමයි ඔබ මඟ...