වේගයෙන් හතිළමින් මහා මාර්ගයේ දිව ගිය තරුණයා පමුණුව රෙදි පිළි සැල් අතර අතුරු සිදුරු නොමැතිව සිටින ජනයා අතරින් රිංගා දිගටම වේගයෙන් දිව ගියේය. තමා පසුපස තවමත් ලුහුබැඳ එන පොලිස් නිලධාරියා දෙස හැරී බැලූ ඔහු ඉදිරිය වෙත හැරුණු සැණින් ඔහුගේ මුහුණ හරහා වේගවත් පහරක් එල්ල විය. බලාපොරොත්තු නොවූ සහ දරාගත නොහැකි පහර හමුවේ අඩි කිහිපයක් පසුපසට විසි වී ගිය තරුණයා මාර්ගය මැදම ඇද වැටුණේය. වහා දිව ආ සචින්ද්‍ර ඔහුගේ කමිස කොලරයෙන් අල්ලා ඔහු ඉහලට එසවූ අතර තමා පසුපසින් හඹා ආ සචින්ද්‍ර දෙසත් තමා ඉදිරියේ සිට තමාට පහර දුන් මනුහස් දෙසත් ඔහු බියෙන් වෙව්ලමින් මාරුවෙන් මාරුවට බැලුවේය.
” මං.. මං මුකුත් කළේ නෑ..”
” එහෙනං මොන හු##& කටද යකෝ දිව්වේ ?”
එතැන් සිට පොලිස් ස්ථානයට රැගෙන එන තුරුත් , පොලිස් ස්ථානයට රැගෙන ආ පසුවත් තරුණයා වචනයක් හෝ නොදොඩා මුනිවත රකිමින් සිටියේය .
” සර්.. ! මිනිහා වචනයක්වත් කියන්නෑ සර්. “
” උගේ කට ඇරවගන්න වෙනවා සචින්ද්‍ර .අපිට ඌව මෙහෙම අල්ලන්න උවමනාවක් තිබ්බේ නෑනේ. අපිට ඕන උනේ උගෙන් අදීශගේ පවුල ගැන විස්තර ටිකක් දැනගන්න. මූ මොන කෙහෙල්මලකටද ෂියෝනාව දැකලා දිව්වේ ? ඒ කියන්නේ ඌ ෂියෝනාව දන්නවා කියන එකනේ. පොලීසිය දැකලා දුවනවා කියන්නේ ඌ මොනා හරි හංගනවා කියන එක. අන්න ඒ නිසා උගෙ කට ඇරගන්නම වෙනවා. “
සචින්ද්‍ර කලිසම් සාක්කුවේ නාද වන දුරකතනය අතට ගෙන එහි තීරය දෙස බලා නැවතත් මනුහස් දෙස බැලුවේය.
” ලොක්කා..!”
සචින්ද්‍රගෙන් ලබා ගත් දුරකතනයට මනුහස් පිළිතුරු බැඳීමට පටන් ගත්තේය.
” මනුහස් , උඹලා දැන් ටිකකට කලින් කාවහරි අරන් ආවද ?”
මනුහස් පිළිතුරක් දීමට පෙර සචින්ද්‍ර දෙස බලා මුව ඇද කළේය.
” මිනිහව හම්බ වෙන්න ගියේ පොඩි තොරතුරු ටිකක් දැනගන්න සර්. ඒ උනාට මිනිහා අපිව දැක්කා විතරයි දිව්වා. “
” සමහර මිනිස්සු හරි මෝඩයි බං. උන් පොලීසිය නෙමෙයි පීඑච්අයි ව දැක්කත් දුවනවා. එහෙමයි කියලා කුදලන් ඇවිල්ලා ඔහොම කූඩුවේ දානවද ? ”
” සර්.. ඒ උනාට..”
” මගෙන් කුණුහරප අහගන්නැතුව ඔන්න ඕකාව එළියට දාපන් . “
මනුහස්ට තම ප්‍රධාන නිලධාරියා වෙත තවත් කරුණු පහදා දිය නොහැකි වූයේය . දුරකතනය තුළින් ගුගුරා හැළුණු ඔහු ඔහුගේ අවසන් නියෝගයද දී හමාර කළේය.
කේන්තියෙන්ම ජංගම දුරකතනය මේසය මතට විසි කළ මනුහස් තොල් පට තද කරමින් දත් මිටි කෑවේය.
නැවත වතාවක් නාද දෙන ජංගම දුරකතනය අතට ගත් ඔහු එකී කෝපය මධ්‍යයේම එයට පිළිතුරු බැන්ඳේය.
” මනුවා.. උඹ කිව්ව වැඩේ හරි “
” මොකද්ද බං ?”
” අර මගෙන් ඩීටේල්ස් ටිකක් ඉල්ලුවේ බෑන්ක් එකේ. ෆුල් ඩීටේල්ස් ටික මං උඹට වට්ස්ඇප් කළා. බලහන් “
” තෑන්ක්ස් මචං..”
වහ වහා දුරකතන ඇමතුම විසන්ධි කළ ඔහු චමීර විසින් එවා තිබූ කෙටි පණිවිඩ විස්තරය දෙස දෑස යොමු කළේය. එක් වරම විසල් වී ගිය දෑසින් සචින්ද්‍ර දෙස බැලූ ඔහු සමච්චල් සිනහවක් නැඟුවේය.
” අරූව එළියට දාපන්…”
කිසිවක් නොදෙඩූ සචින්ද්‍ර වීදුරු ද්වාරය හැර පිටතට පැමිණි අතර ඔහු පසුපසින්ම මනුහස්ද නිල කාමරයෙන් පිටතට ආවේය.
” කොන්ගැජුලේශන්ස් මනුහස් …!”
මනුහස්ව දුටු වහා ඉක්මන් අඩි තබා ඔහු අසලට පැමිණි නාලක දසනායක ඔහු වෙත දකුණත දිගු කරමින් සුබ පැතුම් එක් කළේය. රජකාරී මට්ටමෙන් නිතරම තමන් හා ගැටෙන්නට උත්සාහ දරන , එතරම් ප්‍රියතාවයක් නොමැති පුද්ගලයෙකු වූ නාලක දසනායකගේ මේ වෙනසට හේතුව තබා ඔහු සුබ පතන කාරණය පිළිබඳව හෝ වැටහීමක් නොවුණු මනුහස් සචින්ද්‍ර දෙසද බලමින් නාලක හට තම අත පෙරළා දිගු කළේය.
” වයිෆ් වේවා ගර්ල්ෆ්‍රෙන්ඩ් වේවා කවුරු වේවා කාගේ උනත් සාර්ථකත්වයක් ඉස්සරහා කුහක වෙන්නැතුව සුබ පතන එක අපේ යුතුකමනේ. “
දසනායක එතැනින් නොනැවතී එසේ පවසමින් මනුහස්ගේ බාහුවට තට්ටුවක්ද දමා පිටව ගියේය.
” ඒ මොකෝ බං ඒ ?”
” දන්නෑ සර්..”
එක දිගට ජංගම දුරකතනයට ලැබෙන කෙටි පණිවිඩ වල හඬින් නැවතත් කල්පනාව බිඳ ගත් මනුහස් ජංගම දුරකතනය අතට ගෙන එයටද ඇස යැව්වේය.
උසස් අධ්‍යාපන ආයතනයේ මිතුරු මිතුරියන් එකතු වී සිටින වට්ස්ඇප් සමූහය වෙත එක දිගට නෙත්‍යා වෙනුවෙන් සුබ පැතුම් ලැබෙමින් තිබුණේය.
” congratulations nethya. “
” all the best nethya.”
” hearties congratulations Nethya. “
කෙටි පණිවිඩ අතර තිබූ සමාජ මාධ්‍ය අතර සංසරණය වෙමින් තිබෙන එක්තරා ජායාරූපයක් වෙතට දෑස විතැන් කළ මනුහස්ගේ හදවත කෝපයෙන් ගුගුරා හැලුණේය.
” මල්දෙණිය සමූහ ව්‍යාපාරයේ නව සභාපතිනිය වූ නෙත්‍යා සඳනාරී මල්දෙණිය මහත්මියට අපගේ උණුසුම් සුබ පැතුම් ..”
රක්ත වර්ණයට හැරුණු දෑසින් සචින්ද්‍ර දෙස බැලූ මනුහස් යළිත් වහා තම නිල කාමරයට පිවිසියේය.
දිගින් දිගටම නෙත්‍යාගේ දුරකතනය වෙත ඇමතුමක් ගැනීමට උත්සාහ කළද ඈ ඒ කිසිවකට පිළිතුරු නුදුන්නාය. නමුත් උත්සාහය අත නොහැරි ඔහුගේ දොළොස්වන දුරකතන ඇමතුමට නෙත්‍යා අනෙක් පස සිට පිළිතුරු ලබා දුන්නාය.
” හෙලෝ මනූ…”
” ඔයා කොහෙද ඉන්නේ ?”
” හෙඩ් ඔෆිස් එකේ මනූ..”
” මං දැන්ම එනවා. ඔය මළ ඉලව්ව ඕන එකෙක්ට කරගන්න කියලා දමලා ගහලා එනවා. “
ඔහු කෝපයෙන් ගුගුරා හැලුණේය.
හදවත පුරා නැඟ එන කෝපය දරාගත නොහැකිය.
” මනූ එපා..! “
එවර ඔහුගේ දෑස කෝපයෙන් මෙන්ම විශ්මයෙන්ද පිරී ගියේය. මිට මොළවා ගත් එක් අතකින් අසල තිබූ මේසයට තද පහරක් එල්ල කළ ඔහු දුරකතනය සවනට තවත් තද කර ගත්තේය.
” ඇයි ? ඇයි එපා කියන්නේ ? තමුසෙ මං කවුරු කියලද හිතන් ඉන්නේ නෙත්‍යා. ? මං කලින්ම කිව්වා උන්ගේ එක රුපියලක්වත් අපිට ඕනෙත් නෑ , ඔයා ඕවට සම්බන්ධ වෙන්න අවශ්‍යත් නෑ කියලා. ඔයා මගෙන් පර්මිශන් ගත්තේ ඔය හැමදේම කාටහරි බාර දීලා එනවා කියන පොරොන්දුව උඩ. මං දැන් ඔතනට එනවා. කරුණාකරලා ඔය ගත්තු පට්ටන් ආයේ උන්ටම දීලා මාත් එක්ක එන්න එනවා. එච්චරයි. “
” මනූ මං එක පාරකුත් කිව්වා. ඔයා මෙහෙ එන්න එපා. “
” ඒක හරි කතාවක්නේ ? තමුසේ මගේ ගෑ…..”
මනුහස් වහා මුවින් පිටවන්නට ගිය වචනය ගිල ගත්තේය. ඉන්පසුව එක් අතකින් හිසකෙස් ඇද ගනිමින් කෝපයෙන් වෙව්ලුවේය .
” නෑ.. නෑ.. මගෙ නෙමෙයිනේ. තාම අරූගෙනේ. ඔය හින්දා වෙන්නැති දෙතුන් පාරක්ම බඳිමු කිව්වම හදිස්සියක් නෑ කිය කිය පරක්කු කළේ ?”
” මනූ ඔයා ඉන්නේ කේන්ති ගිහිල්ලා. මං කියන දේ ටිකක් අහන්න. මං ඔයාගෙන් දවස් තුන හතරක් ඉල්ලුවා. මට ඒ දවස් තුන හතර දෙන්න මනූ. මං මේ හැමදේම පිළිවෙළක් කරන්නම් “
” දවස් තුන හතරක්. ? මොකටද දවස් තුන හතරක් ? ආයේ මට ඔයාව නැති කරන්නද හදන්නේ නෙත්‍යා ? “
” මනූ… කලබල වෙන්න එපා..”
” මට තමුසෙව ඕනේ නෙත්‍යා. ඔයා දන්නවා මට ඔයාව කොච්චර වටිනවද කියන එක. ආයේ පාරක් මට ඔයාව නැති කරගන්න බෑ. මේ විදිහේ වැඩ කරලා මාව පිස්සෙක් කරන්න එපා..”
එවර ඔහුගේ ස්වරය කෝපයෙන් මිදී ආයාචනාත්මක එකක් බවට හැරී තිබුණේය. කිසිදා කිසිවෙකු ඉදිරියේ හෝ මෙලෙස යටහත් පහත් නොවන ඔහු ඇගේ ආදරය හමුවේ අයදින්නටද පටන් ගෙන තිබුණේය.
” පොඩි වෙලාවක් දෙන්න මනූ , මං ඔයාට ගන්නං “
දුරකතන ඇමතුම විසන්ධි වී ගියේය. වේගයෙන් හුස්ම ඉහල පහල දමන දේහදාරියාගේ කෝපයේ තරම වේගයෙන් ඉහල පහල යන ඔහුගේ දෙවුරින් මෙන්ම දෑතේ ඉලිප්පී ගිය නහර වලින්ද හොඳින් පෙනුණේය . හේ වහා වීදුරු ද්වාරය හැර ගෙන පිටතට ගියේය.
” කෝ අරූ…?”
” එළියට දැම්මා සර්. “
මනුහස් වහා පොලිස් ස්ථානයෙන් පිටතට අඩිය තබා ඉන් පිටව යන තරුණයාගේ පසුපසින් ගොස් වහා ඔහුගේ ගෙලෙන් අල්ලා ගත්තේය .
” සර්.. සර්.. මට යන්න කිව්වනේ සර්..”
” යමං .. උඹට යන්න ඕන තැනට මං උඹව ගිහින් දාන්නං “
එසේ පැවසූ ඔහු තරුණයාගේ ගෙලෙන් අල්වා තම මෝටර් රථය වෙත ඇදගෙන විත් එහි එක් දොරක් විවර කර ඔහුව ඒ තුළට තල්ලු කර දමා නැවත දොර වැසුවේය.
” සර්..?”
සිදුවන කිසිවක් වටහාගත නොහැකි වූ සචින්ද්‍ර වහා පොලිස් ස්ථානයෙන් පිටත සිටි මනුහස් අසලට දිව ආවේය.
” සර් කොහෙද යන්නේ ? මාත් එන්නං ! ”
” උඹ හිටහන්.. “
” සර් .. ! මොකද්ද සර් ප්‍රශ්නේ ?”
” එක පාරක් කිව්වනේ. මගෙන් ගුටි නොකා පැත්තකට වෙලා හිටහන් “
එසේ පැවසූ මනුහස් මෝටර් රථයේ දොර හැර එයට ගොඩ වී එය පණ ගන්වා වේගයෙන් ඉදිරියට ඇදෙන්නට පටන් ගත්තේය.


