සස්මිත අගුළු දමා නොතිබූ දොරෙන් කාමරය තුලට ඇතුළු වී යළි දොර වසා දැමුවේය. තමා දින කිහිපයකට පෙර කාමරයෙන් නික්මුණ දිනයේ වූ පිළිවෙලම කාමරය තුළ වන බව ඔහු සැනෙකින් තහවුරු කරගත්තේය. චරක කාමරය තුළට විත් කිසිවක් අවුස්සා දමා නැති බව ඔහු තීරණය කරගත්තේ ඒ අනුවය. සස්මිත කබඩය තුල වූ බෑගය ගෙන ඇඳුම් සියල්ල ඒ තුලට ඔබා ගත්තේය. විදෙස් ගමන් බලපත්‍රය ඇතුලු ලියකියවිලිද ඒ ගමන් මලේම පසෙකට දැම්මේය. භාවිතා නොකෙරූ ඇඳුම් සහ චායා ගෙනදුන් ඇඳුම් සහිත වූ අනෙක් මල්ලද ඔහු යහන මතට ගෙන තැබුවේය. ඉන් පසුව කබඩ් ලාච්චුවේ වූ තවත් කුඩා බෑගයක්ද විශාල බෑගය තුලටම එබුවේය. ඉන් පසුව ඔහු බෑග දෙක යහනේ පසෙකට කර, යහන මත හරහට වැටුණේය. දින කිහිපයකට පෙර, තමා මේ ඉරියව්වේම සිටියදී, චායා විත් තම බාහුවේ හිස තබාගෙන තමා හා සමාන්තරවම වැතිරී උන් අයුරු සැනින් ඔහුට මැවුනේය. එදින විදුලි පංකාව ක්‍රියාත්මක වෙමින් තිබූ බව සිහිවී, සස්මිත ක්ෂණිකව නැගිට විදුලි පංකාවේ ස්විචය දමා විත් එම ඉරියව්වේම වැතිරුනේය.
” ආහ් සස්මිත ..”
” ම්ම්ම්..”
” මොන දේ වුනත්, අපි හැමදාම මෙහෙම ඉන්නවා නේද ?..”
” ඉන්නවා මැණිකේ …”
” උන්නේ නැතත් කමක් නෑ .. මට නිකමට හිතෙනවා ඊයේ යමක් සිදුවෙන්න ඇති කියලා.. සමහරවිට සස්මිත පැට්ටෙක් ඇවිල්ලා ඇති …”
චායා තමා වෙතට හැරුණු විට ඇගේ ඇස් කෙතරම් දිලිසුණිදැයි සස්මිත දෑස් වසාගෙන සිහි කලේය.
” දැන්ම එව්වා හිතන්න එපා.. ඒ වෙච්ච දේට ඉඩ දුන්නට මම තවම පිච්චෙනවා… ඔයා ඒ කීව දේවල් ටික කලා නේ පිලිවෙලට ..”
” ඔව් ඔව්ව් ..”
ඇය එලෙසින් පවසන මොහොතේ, ඇගේ ඇස් වහාම තමා මඟ හැරි බවද සස්මිතට සිහි විය. ඇය එවැනි හිතුවක්කාරකමක් කර ඇතිද ?.. ඇය මෙතරම් සැහැල්ලුවෙන් තමා අතැරි බව අඟවන්නේ ඈ සතු අන් යමක් ගැන විශ්වාසයක් ඇති නිසාද ?
සස්මිත වහා යහනේ කෙලින් වී හිඳගත්තේය. දෑස් දෑතින්ම පොඩි කර හැරියේය.
” නෑ.. එහෙම දෙයක් වෙන්න විදියක් නෑ කීයටවත් .. චායා එච්චරට මෝඩ වෙන කෙල්ලෙක් නෙවෙයි .. චරකගෙයි, විහගිගෙයි සිද්දිය දැන දැනම චායත් එහෙම දෙයක් ආයෙම එක්ස්පීරියන්ස් කරන්න ලෑස්ති වෙන්නේ නෑ … ඒක එහෙම වෙන්නේ නෑ … “
සස්මිත තමාටම පවසා ගත්තේය. එහෙත් ඔහුගේ සිතට ඒ සම්බන්ධව වන සැනසීම ලැබුණේ නැත.
” එහෙම දෙයක් වෙන්නේ නැහැ.. හැම තැනම, හැමදේම වෙනුවෙන් මම කරපු කැප කිරීම් වලට විශ්වයෙන් අපි දෙන්නවා බලාගනීවි චායා..”
සස්මිත බෑග දෙක අතට ගත්තේය. යළි කාමරය පුරා දෑස් යොමු කලේය. ඉන් පසුව, කාමරයෙන් පිටතට විත් අබ ගස යට වූ බංකුව මත බෑග දෙක තබා එතැන සිටගෙන උන්නේය. එක්වරම උඩු මහල දෙස බැලුවේය. එහෙත් ජනේල වසා තිබූ අතර, තිර රෙදිද දමා ඇති බව දුටුවේය. සස්මිතට හෙලුනේ පරාජිත දිගු සුසුමකි. එහි වූයේ සටනකට පසු තම පෙම්වතිය දකින්නට එන සෙබළෙකුට , පෙම්වතිය වෙනදා පෙනී සිටින ජනේල කවුලුව අසල නොමැති වෙද්දී දැනෙන ඉච්චාබංගත්වයට සමාන හැඟීමකි. ඔහු යළි යළි කිහිප වතාවක්ම දෑස් ඒ දෙසට ඇලෙව්වේය. එහෙත් ඕ මැවුනේ හෝ නැත.
සියල්ල සිදු වන්නේ යහපතට බව සස්මිත සිතුවේය. ඇතැම් විට සුව නින්දක් නොලැබූ ඇයට, ඒ සුව නින්ද දැන් ලැබෙමින් තිබෙනවා විය යුතුය. යළි තමා ඇයගේ සුවයට බාධා නොකල යුතුය.
” ආහ් .. උඹ එලියට ඇවිල්ලා.. මම රූම් එකේ බලලා ආවේ..”
චරකගේ හඬින් සස්මිත බෑග දෙකම අතට ගත්තේය. චරක දෙස මද සිනහවක් පෑවේය.
” නංගී ගෙදර නැහැ …”
” හරි සර් .. මං නිකන් මෙතනින් හිටියේ පොඩ්ඩක් ..”
” උඹ දැන් මොකක්ද කරන්න යන්නේ?..”
” එහෙම හිතුවේ නැහැ සර් …. බලලා කරනවා මුකුත් …”
” හරි එහෙනම් .. ආයේ අපි හමු නොවෙන තරමට ඒක අපි හැමෝටම හොඳයි .. උඹට සල්ලි ඕනි නම් කියහං ..”
” දැනට මට අවුලක් නැහැ සර් … “
චරක සස්මිත දෙස බලා උන්නේය. දෙදෙනාම උන්නේ නිහඬවය. සස්මිත චරක දෙස බලා හිස සැලුවේය. තමා නික්ම යන බව පවසන්නට මෙන් හිස සැලුවේය.
” මගේ එකම එක ඉල්ලීමයි තියෙන්නේ සර් … මං මේ යන්නේ, මගේ ජීවිතේ මට තිබුන ලොකුම බලාපොරොත්තුව අතෑරලා දාලා සර්…. සර්ට ඒක නොදැනෙන්න, නොතේරෙන්න හේතුවක් නැහැ.. මම සර් එක්ක තරහක් නැහැ සර් ..මට සර්ව තේරෙනවා… සර් බලන්නේ චායාගේ ජීවිතේ යහපතනේ සර් … ඒකම තමා මටත් ඕනි … චායාට ආදරේ විතරමයි ඕනි සර් .. ගල් හිතක් තියෙන ගෑණියෙක් වෙලා ඉඳලා චායාට හරි මහන්සි ඇති සර් .. එයාව ආදරෙන් බලාගන්න තැනක එයාව නවත්තන්න සර් …එච්චරයි මගේ ඉල්ලීම …”
චරකට එයට පිළිතුරක් දෙන්නට වචන ගලපාගන්නට හැකි වූයේ නැත. සස්මිත පිළිතුරු බලාපොරොත්තුවෙන් රැඳී උන්නේද නැත. ඔහු උගුරෙහි සිරවූ අනෙක් වචන සමඟින් වහා මිදුලෙන් ඉවතට ඇවිද ආවේය. ගේට්ටුවෙන් පිටතට විත්, ප්‍රධාන මාර්ගය දිගේ ඇවිද ආවේය.
මඟ නවතාගත් ත්‍රී රෝද රියකට නැගුණේය. තමා මේ යන්නේ චායාගෙන් සඳහටම ඈතටය. ඇය යළි තමාගේ නොවේය. ඇය ගැන හීන යළි තමා හා සමඟින් එළි වන්නේ නැත. සස්මිත ගල්කිස්ස වෙරළ තීරයේ ඇවිද ගියේය. මහ හඬින් කෑ ගසා හැඬුවේය.
” චායා ….”
ඔහුගේ හඬ උඩු හුලඟට ඔහේ වැටුනේය.
චරක උන්නේ යම් නොසන්සුන්කමක් සමගය. සස්මිත පිටව ගියේ තමා මතට යම් වරදකාරී හැඟීමක් එක් කර බව වැටහේ.
චරකගේ ඒකාකාරි බව බිඳුනේ රහස් පොලිසි මිතුරාගෙන් ආ ඇමතුමෙනි.
” කියහං ..”


