පැරණි සිරිතට අනුව බබාට අකුරු කියවන්න කැමති අම්මලාටයි..

දැන් කුඩා වියේම දරුවන්ට පොත් පත් හුරුකරන්න අපි පුරුදු වුණත් පැරණි සිරිතට අනුව දරුවන්ට අකුරු කියවන චාරිත්‍ර තිබෙනවා. ඔබ කැමති නම් මේ විදියට ඒ චාරිත්‍ර පිළි පදින්න ඔබට පුලුවන්.

සුබ වෙලාව.

දරුවාගේ හඳහනට අනුව දරුවාට අකුරු කියවීමට සුබ වෙලාවක් බලා පසුව එම සුබ කටයුත්තට සූදානම් වීම තමයි සිරිත.

අකුරු කියවීමේදී සිදු කරන වත්පිළිවෙත්.

මුලින්ම දරුවා එක්කම ආගම සිහි කරන්න. ඉන්පසු සරස්වතී මෑණියන්ට හා ගණ දෙවියන් උදෙසා පූජා පවත්වන්න.
දෙවියන් උදෙසා පවත්වන පූජාවන්ට පූජා භාණ්ඩ සහිතව පූජා වට්ටි ද   පූජා කරන්න.  එහිදී ගිතෙල් සහිත පහනක් දැල්වීමත් සුදුසුයි.
දරුවාට යහපත ප්‍රාර්ථනා කරන්නත් අමතක කරන්න එපා. සියල්ලටම වඩා ඔබේ ආශිර්වාදය දරුවාට බල පානවා.

පූජාව සඳහා තැබිය යුතු පූජා ද්‍රව්‍ය.

තල, උක් හකුරු , වී පොරි, මී පැණි,  උඳු හා තල මිශ්‍ර කැවිලි වර්ග 07ක්,  අඹ, කළු උක්ගස් ඇතුළුව පළතුරු වර්ග 07ක් පළතුරු පූජාව සඳහා තැබිය යුතුයි.
කපුරු , පැන් කලයක්, පඬුරු , නෙළුම් මල්, ඇතුළුව පාට හතකින් මල් වර්ග සපයා ගත යුතුයි.  වට්ටියේ වටේට ක්‍රමානුකූලව බුලත් කොළ අතුරා ඒ මත පූජාව සකස් කළ යුතුයි.
ඉන්පසු දරුවාට යහපත ප්‍රාර්ථනා කර ඔහුට නියම වී ඇති අකුර කියවීමට හා ලිවීමට ඉඩ හරින්න.
වැදගත් – 
මේ ලිපියෙන් අපි ඔබට ඉදිරිපත් කළේ ඔබ පැරණි චාරිත්‍ර අනුගමනය කරනවා නම් කළ යුතු දේවල්. නමුත් මේවා ඇත්තටම අනිවාර්යය නැහැ. දරුවා කුඩා කළ පටන්ම පොත්වලට සමීප කිරීම හොඳ දෙයක්. ඒ වගේම අකුරු කියවීම නැකතකට සූදානම් කළ පසු නැකත් වේලාවටම අකුරු කියවන්නට දරුවාට බලපෑම් කරන්න එපා. සැබෑවටම කළ යුතු වන්නේ දරුවාට අධ්‍යාපනයට ප්‍රිය ජනක ලෙස පිවිසීමට ඉඩහැරීම යි.
එය මවක් ලෙස වඩා හොඳින් කළ හැක්කේ ඔබට යි.  දරුවාගේ මනස තේරුම් ගෙන අධ්‍යාපනයට යොමු කිරීම ඔබේ වගකීමයි.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles