රුලං වලින් රස කෑම වර්ග 03 ක්

රුලං කියන්නෙ ශ්‍රී ලාංකික අපිට අලුත් කෑම වර්ගයක් නෙමෙයි. 

රුලං වලින් හදන්න පුළුවන් වෙනස් කෑම වර්ග කීපයක් ගැන ඔබව දැනුවත් කරන්නයි අපි අද සූදානම් වෙන්නේ.

ඉතිං බලන්නකෝ ඒ මොනවද කියල ? 

රුලං සමඟ රෝස් කරගත් අල (Roasted potatoes with semolina) 

අවශ්‍ය ද්‍රව්‍ය

සුදුළූනු ගෙඩි 01 ක්

ඔබට අවශ්‍ය ප්‍රමාණයට කුඩා අල ගෙඩි 03 ක් හෝ 04 ක්

තෙල් මේස හැඳි 03 ක් පමණ

රුලං කෝප්ප 01 ක් පමණ

Thyme කොළ කිණිති 03 ක් පමණ (අත්‍යාවශ්‍ය නැත)

සාදන ආකාරය

සුදුළූනු සහ අල භාජනයකට දමා එයට ලුණු ස්වල්පයක් එකතු කර අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා අල හොඳින් තම්බාගන්න. 

වතුර ඉවත්කර නිමෙන්නට තබන්න.

අවන් එක සෙල්සියස් 180 ට පමණ රත් වීමට තබන්න.

බේකින් තැටියක් ගෙන එහි තෙල් තවරා සූදානම් කර තබාගන්න. 

දැන් නිමෙන්නට තැබූ සුදුළූනු සහ අලවල පොතු ඉවත් කර අල හතරට කපාගන්න. 

අල සහ සුදුළූනු භාජනයකට දමා එයට ඉතිරි තෙල් සහ රුලං දමා අල සහ සුදුළූනු වල හොඳින් රුලං ගෑවෙන සේ කලවම් කරන්න.

සූදානම් කරගත් තැටියේ අතුරා thyme කොල තිබේනම් ඒවාත් අලවලට උඩින් දමා විනාඩි 45 ක් පැයක් පමණ බේක් කරගන්න. 

නිමුණු පසු ආහාරයට ගන්න. 

රුලං මිශ්‍ර යෝගට් කේක් (yogurt semolina cake) 

අවශ්‍ය ද්‍රව්‍ය

කේක් සඳහා

රුලං කෝප්ප 1 ක් 

සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර 03 ක්

සුදු සීනි කෝප්ප ½ ක් 

යෝගට් කෝප්ප 1 ½ ක් 

එලවළු තෙල් කෝප්ප ½ ක්

පාන් පිටි මේස හැඳි 03 ක් 

වැනිලා රසකාරක තේ හැඳි 01 ක්

බේකින් පවුඩර් තේ හැඳි 01 ක්

බේකින් සෝඩා තේ හැඳි ½ ක් 

ලුණු තේ හැඳි ¼ ක් 

සිරප් සඳහා

වතුර කෝප්ප ¾ ක් 

සුදු සීනි කෝප්ප ¾ ක් 

දෙහි හෝ ලෙමන් යුෂ මේස හැඳි 1 ½ ක් (අත්‍යාවශ්‍ය නොවේ) 

සාදන ආකාරය 

ඔබේ අවන් එක ෆැරන්හයිට් 350 / සෙල්සියස් 177 ට රත් වීමට තබන්න. 

කේක් තැටියකට තෙල් කඩදාසියක් දමා බටර් ටිකක් ආලේප කර තැටිය සූදානම් කර තබා ගන්න. (අඟල් 8 × 8 තැටියක් වඩා සුදුසුයි)

සාස්පානක් ගෙන එයට සිරප් සෑදීම සඳහා වෙන් කරගත් සීනී සහ වතුර දමා හොඳින් විනාඩියක් පමණ මඳ ගින්දරේ හොඳින් හැඳි ගාන්න. 

සීනි දියවනතුරු හැඳි ගා ලිපෙන් බාගෙන දෙහි හෝ ලෙමන් යුෂ එකතු කර හොඳින් හැඳිගාන්න. 

නිමෙන තුරු පසෙකින් තබන්න. 

ලොකු භාජනයක් ගෙන එයට බිත්තර බිත්තර සහ සීනි එකතු කර සීනි හොඳින් දියවෙන සේ මිශ්‍ර කරන්න.  

එයටම යෝගට් සහ එලවළු තෙල් ද මිශ්‍ර කර හොඳින් මිශ්‍ර කරගන්න. 

දැන් රුලං, පිටි, වැනිලා රසකාරකය, යෝගට්, බේකින් පවුඩර්, බේකින් සෝඩා සහ ලුණු එකතු කර සියල්ලම හොඳින් මිශ්‍රවන තුරු කලවම් කරගන්න. 

කලින් සූදානම් කරගත් තැටියට මිශ්‍රණය දමා විනාඩි 30 – 34 ක් පමණ කාලයක් බේක් කරගන්න.

අවන් එක ඉවත් කරගත් කේක් පුරා මතට සූදානම් කරගත් සිරප් එක සෙමින් වක්කරන්න. 

නිමුන පසු ආහාරයට ගන්න. 

ශීතකරණයේ තබා දින 03 ක් ආහාරයට ගත හැක. 

මිරිස් රසැති රුලං පාන් (chili semolina bread)

අවශ්‍ය ද්‍රව්‍ය

රුලං 280 g ක්

පාන් පිටි 85 g ක්

බේකින් සෝඩා තේ හැඳි 02 ක්

ලොකු බිත්තර 01 ක් 

කිරි 150 ml ක්

යෝගට් හෝ බටර් මිල්ක් 425 ml ක්

හීනියට කපාගත් ලොකු රතු මිරිස් කරල් 02 ක් පමණ 

සාදන ආකාරය

ඔබේ අවන් එක සෙල්සියස් 190 ට පමණ රත් කරගන්න. 

බේකින් තැටියකට තෙල් කඩදාසියක් දමා සූදානම් කර තබාගන්න. 

තරමක් ලොකු භාජනයක් ගෙන එයට රුලං, පිටි සහ බේකින් සෝඩා දමා හොඳින් මිශ්‍ර කරගන්න.

තවත් භාජනයකට බිත්තර, යෝගට්, කිරි සහ මිරිස් කැබලි දමා හොඳින් මිශ්‍ර කරගන්න.

දැන් දෙවනි මිශ්‍රණය පළමු  මිශ්‍රණය තිබෙන භාජනයට දමා සියල්ලම හොඳින් මිශ්‍ර කරගන්න. 

සූදානම් කරගත් බේකින් තැටියට මිශ්‍රණය දමා විනාඩි 35 ක් 40 ක් පමණ බේක් කරගන්න.

නිමුණු පසු ආහාරයට ගන්න. 

එහෙම නම් මේ කෑම වර්ගත් හදල බලන්න අපි ඔබට ආරාධනා කරනවා. 

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles