විනාඩි 15න් Restaurant රසට ක්‍රිස්පි චිකන් ගෙදරදීම

ක්‍රිස්පි චිකන් කියන්නෙ ලොකු කුඩා වයස් බේදයක් නැතුව අපි කවුරුත් කන්න කැමති හරිම රසවත් කෑමක්නෙ.

පවුලේ හැමෝම එකතු වෙන හවස තේ වෙලාවට, පොඩි ගමනක් යන්න සූදානම් වෙන වෙලාවට වගේම සරල රාත්‍රී ආහාරයකට වුනත් බොහොම අපූරුවට ගැළපෙන ක්‍රිස්පි චිකන් හරිම පහසුවෙන් වගේම රසට ගෙදරදීම පිළියෙල කරගන්නෙ කොහොමද කියලයි ඔන්න අපි අද කියල දෙන්න සූදානම් වෙන්නෙ.

රසකාරක සහ වර්ණක එකතු කරපු ආහාර වල සෞඛ්‍යාරක්ෂිත බව සහ ගුණාත්මක බව ගැන නිරතුරුවම කතාබහට ලක්වෙන කාලයක්නෙ මේක. 

ඒම කාලෙක රසවත් ගුණවත් ආහාරයක් ඔබේ පවුලේ සාමාජිකයන්ට දෙන විදිහ ගැන නිරතුරුවම වෙහෙසෙන ඔබට මේ ක්‍රිස්පි චිකන් හදල බය නැතුව රසවිඳින්න පුළුවන්.

එහෙනම් අපි මුලින්ම බලමු මේ සඳහා අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුකුල් මස් 500 g ක් (තරමක් විශාල කැබලි වලට කපා ගන්න) 
  • වතුර 1 L ක්
  • සීනි මේස හැඳි 01 ක්
  • තලාගත් රතු ලූණු ගෙඩි 02 ක් 
  • පාන් පිටි 240 g ක් 
  • බඩ ඉරිඟු පිටි / cornstarch 60 g ක්
  • බේකින් පවුඩර් මේස හැඳි 01 ක් 
  • ලුණු කුඩු
  • ගම්මිරිස් කුඩු
  • මිරිස් කුඩු
  • සුදුළූණු බික් 03 ක් පමණ

දැන් අපි බලමු කොහොමද අපි ක්‍රිස්පි චිකන් හදාගන්නෙ කියල

සාදාගන්නා ආකාරය

මුලින්ම, කුකුල් මස් කැබලි ටික හොඳින් සෝදා පිරිසිදු කරගන්න ඕන. ඔබ කැමති නම් සම පිටින්ම හෝ සම රහිතව කුකුල් මස් කැබලි මේ සඳහා යොදාගත හැකියි. 

දැන් තරමක් විශාල භාජනයක් ගෙන එයට වතුර 1 L ක්, ලුණු කුඩු මේස හැඳි හැඳි 1 ½ ක්, සීනි මේස හැඳි 01 ක් සහ තලාගත් රතු ලූණු ගෙඩි 02 ක් එකතු කර සීනි සහ ලුණු කුඩු හොඳින් දියවෙන තුරු මිශ්‍රකර ගන්න.

ඊළඟට, සෝදා පිරිසිදු කරගත් මස් කැබලි මේ වතුර භාජනයේ ගිල්වා, භාජනය හොඳින් වසා පැය 06 ක් පමණ ශීතකරණයේ තබන්න. 

ශීතකරණයෙන් ඉවතට ගත් වතුර වල ගිල්වූ මස් කැබලි ඉවතට ගෙන වතුර බේරීමට තබා සීතල ඉවත්වී කාමර උෂණත්වයට පැමිනෙන තුරු තබා ගැනීම අවශ්‍යයි.

දැන් තැටියක් ලිප තබා තැටිය රත්වන විට සුදුලූණු පෙති තැටියට දමා බැඳගන්න ඕන.

හොඳින් බැඳුනු සුදුලූණු බ්ලෙන්ඩරයක් ආධාරයෙන් කුඩු කරගන්න.  

මේ අතර තවත් භාජනයක් ගෙන එයට පාන් පිටි, බේකින් පවුඩර්, ලුණු, සුදු ලූණු කුඩු මේස හැඳි 01ක්, මිරිස් කුඩු මේස හැඳි 01 ක්, ගම්මිරිස් කුඩු මේස හැඳි 01 ක් සහ බඩ ඉරිඟු පිටි එක්කර හොඳින් කලවම් කර පෙනේරයක් භාවිතා කරමින් දෙතුන් වතාවක් පිටි මිශ්‍රණය හලා ගන්න.

දැන් මේ පිටි මිශ්‍රණය සමාන කොටස් දෙකකට බෙදා වෙනම භාජන දෙකකට දමා ගෙන එක් පිටි භාජනයකට බිත්තර දෙක දමා කලවම් කර දියාරු පිටි මිශ්‍රණයක් සාදා ගන්න. 

දැන් භාජනයක් ලිප තබා එයට තෙල් දමා තෙල් රත්වීමට තබන්න. අපි මස් බඳින්න සූදානම් වෙන්නෙ ගැඹුරු තෙලේ නිසා ඒ සඳහා අවශ්‍ය තෙල් ප්‍රමාණය පිළිබඳ ඔබ සැළකිලිමත් විය යුතුමයි.  

දැන් කාමර උෂ්ණත්වයේ ඇති කුකුල් මස් කැබලි වල මුලින්ම බිත්තර සහිත පිටි මිශ්‍රණය හොඳින් දවටා ඊළඟට වියළි පිටි මිශ්‍රණය හොඳින් දවටා ගන්න ඕන.

වියළි පිටි දැවටූ කුකුල් මස් කැබලි රත්වූ තෙලට දමා සාමාන්‍ය උෂ්ණත්වයේ දෙපැත්ත පෙරළමින් රන්වන් පාට වනතුරු හොඳින් බැඳ ගැනීම අවශ්‍යයි. 

මේ සඳහා සාමාන්‍යයෙන් විනාඩි 10 ක් 15 ක් පමණ ගතවෙනවා. (බැඳුනු මස් කැබලි කැපූ විට මද සුදු පැහැයෙන් හොඳින් තැම්බී තිබිය යුතුයි)

හොඳින් බැඳුණු කුකුල් මස් කැබලි ලිපෙන් ඉවතට ගෙන ඔබ කැමති සෝස් වර්ගයක් සමඟ මඳ රස්නෙන්ම ආහාරයට ගන්න ඔබට පුළුවන්.

ඔබ ටිකක් සැරට කන්න කැමති කෙනෙක් නම් මිරිස් කුඩු සහ ගම්මිරිස් කුඩු තව වැඩිපුර එකතු කරගන්න පුළුවන්. 

එහෙනම් කාල බලමුද, මේ විදිහට හදපු ක්‍රිස්පි චිකන් ?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles