හිමගිරි අරණ -74

සහන් සිහින දකින ලෝකය දියණිය අතින් ඉටු වේදැයි හිමාෂාට සිතා ගන්නට නොහැක.නමුත් ඒ රාත්‍රියේම අලුත් නංගි බලන්නට යාමට දිනාරාට උවමනා විය.ඒ අලුත් දෙයක් දකින්නට කුඩා දරුවෙකුට ඇති ආශාව නිසා බව අමායා නම් සහතික කර පැවසුවා ය.

“සහන් කියන කියන කෝලං පිළිගන්න ලෑස්ති වෙන්න එපා.පුංචි අය  කොහොමත් එක එක අලුත් දේවල් වලට ආසයි.ඔයා මැරි කළාම ඉක්මනින් ප්‍රෙග්නන්ට් වෙන්න.බබාට එයාගේ අලුත් ලෝකේ නංගියෙක් මල්ලියෙක් හිටියම ඇති.දාලා ගිය තාත්තට හිටපු ගමන් දරු සෙනෙහසක් ආවයි කියලා ඔයාලා ඒ පස්සේ දුවන්න ඕන නෑ.අනික ඔය මල්මිගෙ එකම බබා වෙන එකකුත් නෑ නේ.එතකොට ඉතින් ආයෙත් ඔය සහෝදරකම් ඉවරයි.”

සහන්ගේ අතීතය අමතක නොකරමින් අමායා දැඩිව පවසද්දී හිමාෂා කිසිවක්ම නොකියා දියණිය සූදානම් කර ගත්තා ය.අතීතය සිහි කරමින් කෝපයෙන් පුපුරමින් සිටි අමායා ඔවුන් සමග ඒ ගමනට සහභාගී වන්නට රවිඳුට ද බැන වදින්නට අමතක නොකළා ය.

“ඔය මිනිහාට ඕනවට වඩා ෆිට් වෙන්න එපා.ඔයා ලොකුකමට ඉන්නව අයියා.”

අමායාගේ සහෝදරකම ගැන හිමාෂාට දැනෙන්නේ ආදරයකි.ඇය තමන් පසු කළ අතිශය අමාරු කාල පරිච්ඡේදය හොඳින්ම දන්නා තැනැත්තිය බව හිමාෂා දන්නී ය.ඒ කාලයේ ලෝකයට සඟවා කදුළු පිස දැමීම මොනතරමට පහසු වුව ද අමායාට හොරා එය කිරීම අතිශය අපහසු වූ බව හිමාෂා සිහි කළා ය.සහන්ට සමාව දෙන්නට තමන් ක්‍රියා කළ ද නැගණියට එය අපහසු ය.ඇය තවමත් අතීත මතක සිතේ දරා හිඳින්නී ය.

“මාත් එක්ක මේ ගමන යන්න ඔයා නොහිටියා නම් මට මහ අසරණකමක් දැනෙන්නත් තිබුණා.”

පෞද්ගලික රෝහලේ විදුලි සෝපානයට ගොඩ වෙන අතර හිමාෂා පැවසුවේ රවිඳුගේ උරහිසට මුදුව අතැඟිලි තබමිනි.ඔහු හිනැහුණේ මෘදු ලෙස ය.ඒ මෘදු සිනාව ඔහුගෙන් නැඟෙන්නේ නම් ඕනෑම කාර්යයක් ඔහුට පැවරීම ඉතා පහසු බව කාර්යාලීය සගයන් සිතන අන්දම සිහි වී හිමාෂාට ද සිනාවක් නැඟිණ.

“එහෙම වුනානම් මොනවා වෙයිද? ඔයාට සහන්ගෙන් පළිගන්න හිතෙයිද?”

පලිගැනීම සිදු වන්නේ ඔහුගේ ජීවිතයට හෝ නමට හානියක් කිරීමෙන් නොවේ.ඔහු ඉතා පැහැබර ජීවිතයක් ගෙන යද්දී තමන් අසරණ වූ බව සිතා අම්මා ගෙනෙන කුමක් හෝ යෝජනාවට කැමැති වූයේ නම් එයද තමන් අසීරුතාවයට පත් කරන්නට හේතුවන බව දැන් හිමාෂාට වැටහේ.දික්කසාද ගැහැනියක බව කියමින් ඇයට පැමිණි මංගල යෝජනා සියල්ලම පරිණත වූ මිනිසුන්ගෙනි.ඇතැම්විට ඒ අතරම සාර්ථක ආදරවන්තයන් ඉන්නට ඉඩ තිබුණද බහුතරය අමායා පවසන පරිදි “කසාදයක උවමනාව පමණක් ඇති අය” වීම සාමාන්‍ය කරුණක් බව හිමාෂා දන්නී ය.

“මම ඔයාට කිට්ටු වෙනකන්,දුර ඉඳලා ඔයාගේ යාළුවෙක් වෙලා ඉන්නකම් හිතගෙන හිටියේ ඔයා මේ සේරම හරිම ලේසියෙන් දරාගෙන ඉන්නවා කියලා.ඇත්තම කිව්වොත් ඔයා දුක් වෙලා ඉවරයි කියලා.”

හිමාෂා හිනැහුණේ අත රැඳි මල් කළඹට ය.තමන් සිහින දහසක් සහිත බිරිඳක් වී සිටි කාලයේ තම සැමියා දිනා ගන්නට වෙර දැරූ ගැහැනිය දැන් ඔහු අයත් කරගෙන හමාර ය.මල් කළඹක් රැගෙන ඔවුන්ගේ මුල්ම දරුවා දකින්නට යන තරමට ශක්තිමත් වීම ගැන ඇය දෙවියන්ට ස්තුතිවන්ත වූවා ය.

නැත!

ඒ ශක්තිය පැමිණියේ තමන්ගේ හදවතේ ඇති ශක්තිවන්ත බව නිසා යැයි මුසා බස් දොඩන්නට හිමාෂාගේ කැමැත්තක් නොවේ.ඒ සවිය ඇති කළේ ඔහු ය.ඔහුගේ ආදරය ය.

“ගෑනු ගොඩක් වෙලාවට තමන්ගෙ හිතේ තියෙන හැම දුකක්ම ගල් කරගෙන ජීවත් වෙන්න හරිම දක්ෂයි රවිඳු.මතක ඇති කාලෙක ඉඳලා මම හිටියේ හිම කන්දක් වගේ ගල් වෙලා.ඔයාලා හිමා හිමා කියලා කතා කරනකොට මම හිතපු එක දෙයක් තියෙනවා.ඔව්! මම ඉන්නේ හිම වගේ සීතල වෙලා තමයි.”

මල්මි සිටින රෝහල් කාමරයට ඇවිද එන අතර රවිඳු ඒ කතාවට හිනැහුණේ දඟකාර සිනාවකිනි.ඔහුගේ මෘදු සිනාවට වඩා ඒ සිනාව සිත් අලවන බව හිමාෂාට සිතිණ.

“හිම වුණත් ඉරේ රැස් වැටුණාම දිය වෙනව.මම දිනුම් කියන්නෙ අන්න ඒ හින්දා.”

මල්මි සිටින රෝහල් කාමරයට හිමාෂා ඇතුළුවූයේ රවිඳුගේ ඒ කතාවට පිපී ආ සිනාවෙනි.මල් කළඹක් ඔසවාගත් තරුණ ගැහැනිය මලක් මෙන් පිබිදී සිටින අන්දම මල්මි පුදුමයෙන් නැරඹුවා ය.මේ ගැහැනිය ඇගේ ආදරය උදුරා නොගන්නැයි අයදිමින් තමන් වෙත කිසි දිනෙක නොආවා ය.විවාහක මිනිසෙකුට ආදරය කරද්දී ඒ සිදුවීමට මුහුණ දීම අනිවාර්ය බව සිතමින් එයට මුහුණ දීමට මල්මි මඟ බලා හුන්නද ඇයට කිසිදිනෙක ඒ අවස්ථාව නොලැබිණි.ඒ වෙනුවට හිමාෂා ඇය දකින්නට ආවේ අද ය.මල්මි මාතෘත්වයට පත්ව ගෙවී යන දෙවැනි දිනයේ දී ය.හිමාෂාගේ උණුසුම් සුබ පැතුම පිළි ගනිද්දී පවා තමන් නිවැරදි සිහියකින් නැතැයි මල්මිට සිතේ.ඇය ඒ වෙනුවට දිනාරා සහ තම බිළිඳිය අතර සමානතා දකින්නට වෙහෙසුණා ය.

මල්මිට ඇතිවෙමින් පැවතුණේ තෝරා ගන්නට අසීරු සිතුවිලි දාමයකි.නමුත් සහන් මේ මොහොතේ ඊර්ෂ්‍යාවෙන් දැවෙන්නට වූයේ ය.හිමාෂා වෙනත් දෑතක රැඳී තිබේ.ඇය හිමි කරගත් තරුණයා කඩවසම් යෞවනයෙකි.තමන්ට වඩා ඔහු බොහෝ ළාබාල සහ කඩවසම් බව සිතෙද්දී නැඟී එන ඊර්ෂ්‍යාව සඟවා ගන්නට සහන්ට උවමනා විය.

“තාත්තේ,මට නංගිව අල්ලලා බලන්න ඕන.”

දිනාරාගේ හඬ මතුව ආවේ  කාමරයේ වූ සීතල නිහැඬියාව හදිසියේ බිඳ දමමිනි.සහන් වහා තම වැඩිමහල් දියණිය වෙත ආවේ ය.ඔහු දෝත පෑවේ ඇය ඔසවා ගන්නට ය.නමුත් ඒ සමඟ ම ඔහුගේ සතුට බිඳී ගියේ ය.දැරිය තාත්තා කියන්නේ තමන්ට නොවේ.රවිඳුට ය. සහන්ගේ දෑත නොදුටුවා සේ රවිඳුගේ කමිසයෙන් අදින දැරිය දෙස සැබෑ සන්තෝසයෙන් බලා සිටියේ මල්මි පමණකි.තම දියණියට සහන් සින්නකරව අයත් වන බවට තහවුරු කරගන්නට මේ දසුන ප්‍රමාණවත් බව ඇය සිතුවා ය.උදුරා ගැනීම දිනයක වේදනාත්මක සිදුවීමකින් කෙළවර වන්නට හැකි බව ඇගේ මිතුරියන් අනාවැකි කී දවස් මල්මි සිහි කළා ය.නමුත් ඒ සියල්ලම බොරු අනාවැකි බවට පත්වී අවසන් ය.ඇයට අවශ්‍ය වූ ඈ ආදරය දිනාගෙන තිබේ.අතැර ආ අතීතය ඉඳහිටක සහන්ගෙ සිතේ හොල්මන් කරන බව ඇය නොදැන සිටියා ද නොවේ.නමුත් ඒ අතීතය අතීතයක් බව දැන් ඔහුට ද පිළි ගන්නට සිදු වන බව මල්මි සිතුවේ සැනසීමකිනි. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles