පොලිසියේ අසාධාරණ පහර දීමක් නිසා දිවි අහිමි වූ යුවතිය

ආගමික විශ්වාසයන් සහ සංස්කෘතික කාරණා කාන්තාවන්ගේ ජීවිතයට බලපෑමක් එල්ල කිරීම අතීතයේ සිටම පැවත එන්නක්.ඉස්ලාමීය රටවලින් නිරන්තරයෙන් අසන්නට ලැබෙන මෙවැනි පුවත්වල නවතම කතාව ඇසෙන්නේ ටෙහෙරාන් නුවරින්.

පසුගිය සැප්තැම්බර් දහතුන්වැනිදා මාෂා අමිනි නම් විසිදෙහැවිරිදි යුවතිය පොලිස් අත්අඩංගුවට පත් වන්නේ පවුලේ අය සමඟ ගමනක් යමින් සිටියදී.එය Morality Police නමින් හැඳින්වෙන පොලිසියක්.වඩාත් තේරෙන බසින් පැවසුවහොත් ඉරානයේ අධ්‍යාත්මික නායකයාගේ අන්තවාදී ආගම් න්‍යායන් ක්‍රියාත්මක කරන්නන් මෙහි සේවය කරනවා.

මේ අන්තවාදීන් මාෂාට නගන චෝදනාව වන්නේ ඇය විකෘති ලෙස හිජාබය පැළඳ සිටිනවා යන්නයි.පොලිස් භාරයට ගෙන ඇය නිදහස් කර මඳ වෙලාවකින් ඇය ඇද වැටුණු බවත් සිහිසුන් වූ මාෂා රෝහල් ගත කළ බවත් ඉරාන මාධ්‍ය පවසනවා.මාෂාගේ මොළය මිය ගිය බවත් ඉන්පසු දෙවතාවක් හෘදයාබාධ පැමිණ ඇති බවත් පොලිස් වාර්තා පවසන අතර ඇගේ හෘද ස්පන්දනය යථා තත්ත්වයට ගන්නට වෛද්‍යවරුන් ගන්නා හැම තැතක්ම ව්‍යර්ථ කරමින් මාෂා සැප්තැම්බර් දහසය වැනිදා මිය යනවා.ඒ දින තුනක් කෝමා තත්ත්වය යටතේ හිඳීමෙන්.

ඇගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව දැන්වූවත් ඇය කිසිම රෝගී තත්ත්වයකින් නොපෙළුණු බව පවුලේ අය මාධ්‍යයට තහවුරු කරනවා.පොලිස් වාහනය තුළදී මාෂාගේ හිසට පහර දී ඇති බවත් ඒ නිසා අභ්‍යන්තර රුධිර වහනයක් වී ඇති බවත් ඉන්පසු වෛද්‍ය වාර්තා වලින් තහවුරු වන අතර ඇසින් දුටු සාක්ෂිකරුවෙකු ද එය තහවුරු කරනවා.

දැන් ඉරානය ගිනි ගෙන අවසන්!

ඉරානයේ වීදිවල බොහෝ පිරිසක් හිජාබ් ගිනි තබමින් පසු වෙනවා. විශ්ව විද්‍යාල සිසුන් පවා මෙයට එක්වී සිටිනවා.සාමාන්‍යයෙන් විරෝධතාවලට එක් වූ පසු විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනය තහනමට ලක් වෙන නිසා ඔවුන් එයට එක් නොවුණත් මේ වතාවේ එය එසේ වී නැහැ.අහේතුකව මිය යන්නට වූ මාෂා හැම කෙනෙකුගේම කෝපය අවුළුවා අවසන්.මේ විරෝධය ඉරානයේ නගර අසූවක පැතිර ඇති අතර දැනට ජීවිත තිස් ගණනක් ද බිලිගෙන අවසන්.කුමේනිගේ ඡායාරූප ගිනි තැබෙන අතර දිගු කෙස්වැටි කපා දැමීම්,හිජාබ් ගිනි තැබීම් දිගින් දිගටම සිදු වෙනවා.

කැරලි මර්ධන ඒකක ක්‍රියාත්මක වෙමින් පැවතියත් සටන පවතින්නේ නොහැරෙන තැනකයි.

1979 ට පෙර ඉරානයේ හිජාබය අත්‍යවශ්‍ය වූයේ නෑ.අයතුල්ලා කුමේනි පත්වීමෙන් පසු හිජාබය අනිවාර්යය වී කාන්තාවන් විවිධ සදාචාරාත්මක සීමාවලටද ලක් වී තිබෙනවා.මේවාට විරුද්ධව වරින් වර විරෝධතා ඇති වුණත් ඒ සියල්ලම පාලනයට ලක් කෙරුණා.මේ වතාවේ විරෝධය නොනැවතී ඉදිරියට යමින් පවතිනවා.

MashaAmani ලෙස ඇය වෙනුවෙන් සමාජ ජාලාවල ටැග් එකක් ද භාවිතා වෙන අතර බහුතරය විරෝධය නොනවත්වාම පළ කරමින් සිටිනවා.මනුෂ්‍යත්වය අවභාවිතා වීම සහ කාන්තා හිංසනය ගැන ලෝකය පුරා සමාජ ක්‍රියාකාරීන් තමන්ගේ හඬ අවදි කරමින් සිටිනවා.ඉරානයේ අන්තර්ජාලා භාවිතයන්ට සීමා පැනවෙමින් ද තිබෙනවා.

අඳිනා ඇඳුම තුළින් කාන්තාවකගේ ජීවිතය අහිමි වේනම් එය ඉතා ඛේදනීය තත්ත්වයක්.තමන්ගේ සිරුරේ අයිතිය තමන් සතු අතර එහි විලාසිතා කිරීමේ සීමාව ඇත්තේ කාන්තාව සතුවයි.රටේ කාන්තාවන් පාලනය කිරීමට සදාචාර පොලිසියක් තිබීමම මානව හිමිකම් බරපතල ලෙස කඩවන කාරණාවක්.සදාචාර හේතූන් මත මිය ගිය ප්‍රථම කාන්තාව මාෂා නොවේ.තවත් බොහෝ කාන්තාවන් මේ අයුරින්ම ජීවිතය පූජා කර තිබෙන්නේ කිසිම වැදගත්කමක් නැති හේතුන් නිසා.මාෂාගේ මරණය සැඟවීමට තැත් කළ අයුරින්ම ඒවා ද සැඟවීමට ලක් වූ අතර අසාධාරණයට ලක් වූ ගැහැනුන් ඕනෑතරම් මේ රටවල ඇති.ඒ නිසා මේ සිදුවීම් මෙතැනින් අවසන් කරන්නට ඉරාන සටන්කාමීන්ට හැකි වන්නේ නම් එය ඉතාම සුබ ලකුණක්.

ලෝකයේ කිසිම ගැහැනියක සංස්කෘතිය හෝ සදාචාරය නිසා අසාධාරණයට ලක් වී පීඩා විඳිය යුතු නැහැ.

Related Articles

Don't Miss


Latest Articles