මතක දිගහැරුම 95 – අප්සාරි සිංහබාහු තිලකරත්න

අනූ පස්වන දිගහැරුම ,

එල්ටීටීඊ සංවිධානයේ ක්‍රීඩා භාරව සිටි තැනැත්තා හෂාන්ව මුණ ගැසී තිබුණි.ඔවුන් ක්‍රිකට් වලට මොන තරම් ආදරය කරනවා ද යනුවෙන් ඒ අවස්ථාවේදී ඔහු හෂාන් සමග පවසා තිබූ අතර ප්‍රභාකරන් පවා ක්‍රිකට් වලට ඉතාම ආසා කරන බව ඔහු පවසා තිබුණි.ඔහු තුළ ක්‍රිකට්වලට තිබූ කැමැත්ත නිසාම ලෝක කුසලාන අවසාන මහා තරගාවලිය දිනයේදි සියලුම එල්ටීටීඊ ක්‍රියාකාරකම් නවත්වන ලෙස ඔහු අණ දී ඇත.ඒ වගේම එදින ඔහු, ඔහුට අයත් බංකරයේ සිට අඟල් දාහතරක කළු සුදු රූපවාහිනියකින් අවසාන මහා තරගය නරඹා ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය කළ පසුව බංකරයෙන් පිටතට පැමිණි ප්‍රභාකරන් ඔහුගේ ඉනේ තිබූ පිස්තෝලය රැගෙන අහසට වෙඩිල්ලක් තබමින් සතුට ප්‍රකාශ කර තිබුනි.විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එලෙස ජයග්‍රහණය කළ විට ජාති ආගම් භේදයකින් සහ පාට පක්ෂ භේදයකින් තොරව සියලුම ජනතාව එකලෙස සතුටු වූවා මෙන්ම සියලු දෙනාම හදවතින්ම ක්‍රිකට් කණ්ඩායමට ආශිර්වාද කළහ .එම නිසා මා සිතන ආකාරයට ක්‍රිකට් ඇතුළු ඕනෑම ක්‍රීඩාවක් යනු ජාතීන් හා ආගම් අතර එකමුතුකම පිළිබිඹු කරන දෙයකි.එපමණක් නොව අප රටේ ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් යනු ජාතීන් අතර එකමුතුකම පිළිබිඹු කරන පාලමක් ලෙස සැලකිය හැකිය .කෙසේ හෝ එල්ටීටීඊ සංවිධානයේ ක්‍රීඩා භාරව සිටි තැනැත්තා හෂාන් සමග යුද්ධය පිළිබඳවත් ,රටේ ඇතැම් දේශපාලන නායකයන් විසින් යුද්ධය නිසා ලබාගන්නා අනිසි ප්‍රයෝජන පිලිබඳවත් බොහෝ විස්තර පවසා තිබුණි.

කෙසේ හෝ ව්‍යාපෘතියේ වැඩ කටයුතු යෙදීම නිසා දෙවරක් පමණ එල්ටීටීඊ සංවිධානයේ අදාල තනතුරු දරන පුද්ගලයන් මුණගැසීමට යාමට හෂාන්ට සිදුවිය.ඉතා හොඳ විනිවිදභාවයකින් යුතුව සියලු කටයුතු සිදු කිරීමට අවශ්‍ය නිසා ඒ ආකාරයට හෂාන් ඉදිරිපත් වී කටයුතු කළේය.නමුත් ඔහු එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයන් මුණගැසීමට යන දිනයන් අප ගත කළේ ඉතාම බියෙන් ය.

ව්‍යාපෘතියේ වැඩ කටයුතු සඳහා වෙනත් ප්‍රදේශ වලට යාමට බොහෝ අවස්ථාවන් වලදී හෂාන්ට සිදුවිය.විදෙස් රටවල් වලින් ව්‍යාපෘතිය සඳහා විශාල වශයෙන් මුදල් ලැබී තිබුණු නිසා එවැනි අවස්ථාවන් වලදී රාත්‍රියෙන් ගත කිරීම සඳහා සුඛෝපභෝගී හෝටල් තෝරාගැනීමට ඔහු හට ඕනෑ තරම් අවස්ථාව තිබුණි.නමුත් ඔහු එවැනි රාත්‍රීන් ගත කළේ ඉතාම අඩු මුදල් වලට තිබුනු නවාතැන් වලය.වරක් ඔහු එසේ වෙනත් ප්‍රදේශයකට යන විට මම ද ඔහු සමග යාමට විමසූ අවස්ථාවේදී ඔහු පැවසුවේ ඒ වන විට මා සිටින තත්ත්වය අනුව එවැනි නවාතැන් වල නවාතැන් ගැනීමට මා හට නොහැකි බවයි.සුනාමියෙන් අවතැන් වූ අහිංසක ජනතාවගේ ඉදිරි අනාගත කටයුතු සඳහා වියදම් කිරීමට තිබූ මුදල් අනිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීමට හෂාන් කිසිම විටෙකත් කැමති වූයේ නැත.ඔහුගේ සහායට ඔවුන් සමඟ ගමනට සහභාගී වන අනෙක් නිලධාරීන්ද හෂාන් සමග එම නවාතැන් වල නවාතැන් ගෙන තිබුණි.

Cricket Aid ව්‍යාපෘතිය හරහා අසරණ දරුවන් හට උපකාර කිරීමට , කදවුරු වල සිටින ජනතාව වෙනුවෙන් උපකාර කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට විශාල වැඩපිළිවෙළක් දියත් කර තිබුණි.ඒ අතරතුරදී එංගලන්තයේ ඉතා ප්‍රසිද්ධ මෙන්ම ප්‍රධාන තලයේ විද්‍යාලයක් වන Leeds College මඟින් මෙරට සුනාමියෙන් දෙමව්පියන් අහිමි වූ අසරණ දරුවන් හතර දෙනකු සඳහා ශිෂ්‍යත්ව හතරක් ලබාදීමට කටයුතු කළේය.එංගලන්තයේ එම විද්‍යාලයට ගොස් අධ්‍යාපන කටයුතු ලැබීමට සියලුම පහසුකම් එම ශිෂ්‍යත්වය මගින් සැලසේ. දෙමව්පියන් අහිමි වූ දරුවකුට එය මිළ කළ නොහැකි තරමේ ඉතාම වටිනා අවස්ථාවක් නිසා එවැනි දරුවන් තෝරා ගැනීම සඳහා හෂාන් වැඩපිළිවෙළක් සකස් කළේය.එම වැඩ පිළිවෙල කිසිවෙකුටත් බාර නොදුන් හෂාන් එවැනි දරුවන් සොයා ගැනීම සඳහා විවිධ ප්‍රදේශවලට ගියේය.ඇත්ත වශයෙන් ම අසරණ වූ අධ්‍යාපනය ලැබීමට අපහසුකම් ඇති දරුවන් සොයා එම වටිනා අවස්ථාව ලබා දීමට ඔහුට උවමනා වූ අතර එම ශිෂ්‍යත්ව හතර අපතේ යාමට හැරීමට ඔහුට වුවමනා වූයේ නැත.කෙසේ හෝ එම ශිෂ්‍යත්ව 4 සඳහා සුදුසුම දරුවන් හතරදෙනකු හෂාන් විසින් තෝරාගෙන තිබුණි.ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු සියලුම කටයුතු ද ඇතුළු නිලධාරීන් විසින් සූදානම් කළහ.

ශිෂ්‍යත්ව ලබා දීමේ කටයුත්ත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එංගලන්තයේ පිහිටි එම විද්‍යාලයට යාමට හෂාන්ට සිදුවිය.දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙන ආකාරය ඇතුළු බොහෝ දේ සාකච්ඡා කිරීම එම ගමනේ අරමුණයි.එංගලන්ත ගමන සඳහා සියලුම වියදම් හෂාන් තම පෞද්ගලික වියදමෙන් දැරූ අතර ක්‍රිකට් ආයතනයෙන් කිසිදු මුදලක් ඔහු ලබා ගත්තේ නැත.එංගලන්තයට යාම සඳහා මා හට ද ඒ මොහොතේ උවමනාවක් තිබුණි.අපගේ නිවුන් දරුවන් දෙදෙනා සඳහා අවශ්‍ය බොහෝ භාණ්ඩ අප මිලදී ගත්තේ එංගලන්තයෙන් නිසා මගේ කුස සිටින අනෙක් දරුවාට ද එම අවස්ථාව ලබාදීමට මා හට අවශ්‍ය විය.ව්‍යාපෘතියේ වැඩ කටයුතු සඳහා හෂාන් එංගලන්තයට යාමට සූදානම් වන විට මම ද ඔහු සමග යාමට තීරණය කළේ ඉන් පසුවය .ඒ අනුව පුතුන් දෙදෙනාද රැගෙන එංගලන්තයට යාමට අප සූදානම් වූයෙමු.

එංගලන්තයට ගිය අප නවාතැන් ගත්තේ අපට හිතවත් අනුර අයියාගේ නිවසේ ය.හෂාන් අනුර අයියා සමග දුම්රිය නැගී අදාල පාසල වෙත ගොස් අවශ්‍ය සියලුම කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කර පැමිණියේය. එංගලන්ත ගමන ගැන හෂාන් එවකට ක්‍රිකට් ආයතනයේ සිටි නිලධාරියෙක් සමග පවසන විට ,

” අපෝ මොකටද මේ ළමයින්ට ඉංග්‍රිසි උගන්නන්නේ රට යවලා ? එයාල ආපහු ලංකාවට එන එකක් නැහැ “

කියමින් සමච්චලයට මෙන් සිනාසී තිබුණි.දෙමව්පියන් අහිමි වී අසරණ වූ දරුවන් එලෙස විදෙස් රටක ශිෂ්‍යත්වයක් ලබා වැඩිදුර අධ්‍යාපනය ලැබීම පිළිබඳව සමච්චලයට ලක් කිරීම හෂාන්ගේ සහ මගේ සිත් වල ඇති කළේ තරමක අප්‍රසාදයකි.විවිධ මිනිසුන් දරන ආකල්ප එකිනෙකට වෙනස් නිසා එවැනි අදහස් මධ්‍යස්ථ සිතින් ඉවසා ගත් හෂාන් ඒ පිළිබඳව වැඩිදුර කතා කිරීමට උනන්දුවක් දැක්වූයේ නැත.කෙසේ හෝ එම පුද්ගලයා ටික කලකට පසුව හදිසියේ අසනීප වී ජීවිතයෙන් සමුගත් අතර එම පුවත අප සියලු දෙනාගේ ම හදවත් කම්පා කරවීය

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles