අම්මා නිසා පෞරුෂත්වයට හානි වූ පුතෙක්.

(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.)

දරුවන් සම්බන්ධ කාරණාවලදී අම්මා කෙනෙක් හැටියට කටයුතු කරන්න ඕන හරිම ප්‍රවේසමෙන්.දරුවා අධික්‍රියාකාරී,දඟ වැඩී වගේ කාරණා ඔබට වෛද්‍ය නිර්දේශයකින් තොරව තීරණය කරන්න බෑ.”දඟ කරන්නෙ නැතුව ඉන්න ළමයෝ” කියලා අම්මගෙන් බැනුම් අහන එක දරුවකුගේ පෞරුෂ වර්ධනයට මොනතරම් බලපානවද? අද අපි කතා කරන්නේ ඒ ගැනයි

ජේෂ්ඨ මනෝ උපදේශිකා සහ මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්පකුමාරි මහත්මිය පැවැත්වූ දරුවන්ගෙ වැඩසටහනකදී ඇයට හමුවූ දරුවෙක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ.

පුංචි ඔවිඳු මේ වැඩසටහනට සහභාගී වෙන්න එන්නේ අම්මා එක්ක.අම්මා ඔහුව හඳුන්වාදෙනකොට ඔවිඳුගේ අමුතු හැසිරීමක් රත්නා මහත්මියගේ ඇස ගැටෙනවා.ඔහු අම්මගෙ පිටුපසට වෙලා ඇගේ සාරිපොට අල්ලමින් ඇඹරෙමින් ඉන්නවා.සාමාන්‍ය පිරිමි දරුවෙකුගේ හැසිරීමට වඩා ඔවිඳුගේ හැසිරීම වෙනස්. ඒ නිසා උපදේශිකාව මගෙන් ප්‍රශ්නයක් අහනවා.

“මේ දරුවට වයස කීයද?”

“දොළහයි..”

නමුත් ඔහු කුලෑටි ලෙස හැසිරෙන්නේ පෙරපාසල් දරුවෙක් වගේ.උපදේශිකාව වෙනසක් නොපෙන්වා ඔහුව තමන්ගේ වැඩසටහනට යොමු කර ගන්නවා.ඔවිඳුගේ කුලෑටි ගති දරුවන් අතරදී පහව යන අන්දම රත්නා මහත්මියගේ නිරීක්ෂණයට අසු වෙනවා.ඔහු ගී ගයනවා.නටනවා.දරුවන් එක්ක සුහද වෙනවා.මෙය අම්මටත් පුදුමයක්.

ඊළඟ දවසේ අපූරු දෙයක් සිද්ධ වෙනවා.රත්නා මහත්මිය වැඩසටහන පැවැත්වෙන ස්ථානයට එද්දී පුංචි කලබලයක් සිද්ධ වෙලා.ආයතනයේ දේපළකට හානි කරපු පුංචි දඟකාරයෝ ටිකකට ගොඩනැගිල්ල හිමිකරු දෙහි කපමින් ඉන්නවා.රත්නා මහත්මිය එක්වරම එතනට නොගිහින් සිදුවීම නිරීක්ෂණය කරනවා.පුදුමයකට වගේ දඟ කල්ලියේ ඉස්සරහින්ම ඉන්නෙ ඔවිඳු.

“මොකද පුතේ වුණේ?”

රත්නා මහත්මිය අහනකොට උත්තර දෙන්නෙත් ඔවිඳු.

“මේ ස්විච් එක දාන්න ගියාම ඒක කැඩුණනෙ මිස්..”

හිමිකරු ඉන්න තරහෙන් උනාට උපදේශිකාවට නම් මේ දඟයන්ගේ හැසිරීම සාමාන්‍යයි.ඇය අලාබය ගෙවන්න පොරොන්දු වෙලා කලබලය සංසිඳවනවා.ගෙදරින් එළියට එන්නේ නැති කිසිම දඟ වැඩක් කරන්නෙ නැති ඔවිඳු මෙතනදී හරි දඟ කිරිම උපදේශිකාවට නම් සතුටක්.

මේ දරුවා ගෙදරදි දඟ නොකරන හරිම කුලෑටි දරුවෙක්.ඒත් ඔහු සමවයස් මිතුරන් ඇසුරේදී දඟකාරයෙක් බවට පත්වුණා.

“පුතා ලැජ්ජාශීලී ළමයෙක් නෙමෙයි.එහෙනම් ඇයි ගෙදරදි එයා කුලෑටි කියලා අම්මා කියන්නේ?”

ඔවිඳු බොහොම සාමාන්‍ය දරුවෙක් බව තේරුම් ගන්න උපදේශිකාව අම්මාගෙන් අහනවා.

“මෙයා කෙල්ලො දෙන්නෙක් එක්කනේ හැදෙන්නේ මිස්.අක්කලගෙ තාලෙට හැදිලා මෙයත් කෙල්ල වගේ..”

අම්මා ඒක කියන්නේ ආඩම්බරෙන්.සමහර අවස්ථාවලදී ගැහැණු දරුවන් ඉන්න පවුලක පිරිමි දරුවාව සහෝදරියන්ගේ තාලයටම ඇතිදැඩි වෙන්න ඉඩ ඇරීම ඔහුගේ පෞරුෂයට බාධාවක්.අක්කලාගේ ඇඳුම් ඇඳීම,ආලේපන භාවිතයට හුරුවීම වගේ දේවල් හින්දා පිරිමි දරුවන්ගේ පෞරුෂය බිඳ වැටෙන්න පුළුවන්.ගැහැනු දරුවන් පිරිසක් ඉන්න ගෙදර එකම කොල්ලා දඟයෙක් උනාට කමක් නෑ.

“මෙයා පොඩි කාලේ හරිම දඟයි .හැමතිස්සෙම දුවනවා.ගස් නගිනවා.අක්කලාට ගහනවා.වැස්සෙ තෙමෙනවා.මට හිතුණා පුතා අධික්‍රියාකාරී දරුවෙක් කියලා.ඉතින් මං එයාට හැම වෙලාවෙම කිව්ව අක්කලා වගේ ඉන්න කියලා..ඊට පස්සේ තමයි ඔය කුලෑටි වුණේ..හැබැයි ඉතින් ඉස්කෝලෙ ටීචලා නම් මාර ආදරෙයි.”

මේ දරුවා ශරීර ප්‍රමාණයෙන් ටිකක් මහත දරුවෙක්.ඒ නිසා ඔහු පාසලේ උසුළු විසුළු වලට ලක් වෙලා තිබුණා.නමුත් ඒවාට පෙරළා රණ්ඩු කරන්න ඔහු අපොහොසත්.

“මම දවසක රටේ ජනාධිපති වෙනවා.අම්මා විතරනේ මට ආදරේ.අම්මට ලොකු රස්සාවක් දෙනවා.තාත්තා මට ගහන හින්දා එයාව මගේ driver කරගන්නවා.අක්කලාටත් මගේ ගෙදර සර්වන්ට්ලා වෙන්න වෙනවා..මට ඉස්කෝලෙදි නම් හදන හැමෝගෙම හිස ගසා දානවා..”

ලැජ්ජාශීලී දරුවෙක් වීම නිසා ඔවිඳුට තිබුණේ ඒ වගේ සැලසුම්.ඔහු වර්තමානයේ සටන් කරන්න දැනගෙන හිටියේ නෑ.තමන්ගේ අයිතීන් දිනාගන්න දිනාගන්න අපොහොසත්.ඒනිසා දවසක රටේ ඉහළම තැනට ගිහින් ඔහුගේ ළපටි හිත තලපු අයට දඬුවම් කරන්න තමයි ඔහුගේ සැලසුම වුණේ.

දරුවන්ගේ අධික්‍රියාකාරීත්වය වැනි රෝග ඔබට හඳුනා ගන්න බැහැ.යන්තම් හෝ සැකයක් තියෙනවා නම් කළ යුත්තේ එකම දෙයයි.ඒ දරුවාව ළමා උපදේශනයකට රැගෙන යාමයි.එහෙම නැතුව ඔබ රෝග විනිශ්චය කර දරුවාව පාලනය කිරීමෙන් ඔහුගේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා වෙන්න පුළුවන්.ඒ නිසා පොඩ්ඩක් දඟකරන ළමයින්ට අධික්‍රියාකාරී ළමයින් හෝ වෙනත් ගැටළු ඇති දරුවන්ගේ ලේබල් අලවන්න එපා.ඔවුන් පාලනය කරන්න ඔබේ ක්‍රම අනුගමනය කරන්නත් එපා.සමාජ ජාලා උපදේශන වලින් දරුවන්ගේ ගැටළුවලට විසඳුම් හොයන්නත් එපා.ළමයි දඟකාරයි.ළමයි දුවනවා පනිනවා.ඒවාට ඉඩ දෙන්න.පාලනය කරමින් පෞරුෂය බිඳ දමන්න එපා.

රත්නා මහත්මිය ළමා පිරිසේ නායකයා බවට ඔවිඳුව පත් කළා.ඔහුගේ හැසිරීම සහ පෞරුෂය සෑහෙන දුරකට වෙනස් වෙන්න එය ඉවහල් වුණා.ඔහුව අගය කිරීමට ලක් වෙලා තිබුණෙත් නෑ.ඔහු ගී ගයන්න ආසා බව උපදේශිකාව සොයාගත්තා.නමුත් ඔහුට මිහිරි ලෙස ගී ගයන්න බෑ.නමුත් ඔහු ගීත පටිගත කරන තැන්වලට රැගෙන ගොස් Off mike එකක් ලබාදී ඔහු පසුබිම් ගායනයට සම්බන්ධ වූ බව අඟවන්නත් උපදේශිකාව ක්‍රියා කළා.ඔහු අදටත් දන්නේ නෑ ඒ ගීතයේ ඔහුගේ හඬ නැති බව.ඒ නිසා ඔහු ගීතය අවසානයේ තමන්ගේ වීරත්වය අම්මාට පළ කළේ සතුටින්.

දරුවන් වුවමනාවට වඩා පාලනය කරන්න එපා.එය ඔවුන්ගේ පෞරුෂය බිඳ දමන හේතුවයි.දරුවාට තමන්ම වී ගොඩනැඟෙන්න ඉඩ දෙන්න.

Related Articles

Don't Miss


Latest Articles