පසළොස්වක මල් – 02

0
8

” මිහිදුමී දම්සේයා මහවලතැන්න.”

රූසිරියෙන් පිරුණු තරුණ යුවතියක් ප්‍රීතිය හා සොම්නස කැටිකර ගත් දීප්තිමත් දෑසින් දුරකතන තීරය දෙස බලමින් තම නම කිහිපවාරයක්ම මුමුණමින් සිටියාය. හද තුළ තෙරෙපෙන විසල් ප්‍රීතියේ අංශු මාත්‍රයක් හෝ ඉවත නොදමමින් ඈ ඒ ප්‍රීතිය සුවසේ වින්ඳාය. දුරකතන තීරය එහා මෙහා කර ගීතයක් තෝරා යහන මතින් නැඟී සිටි ඈ එයට අනුව පාද තබමින් හිමි හිමිහිට තාලයට පැද්දෙන්නට වූවාය.

අහසින් එහා

තරු මං දිගේ

පියඹන්න දැන්

විහඟෙකු ලෙසින්

අහසින් එහා

සිහිනය දිගේ

පියඹන්න නම්

ආසයි ඉතිං

හිත කළඹමින්

හැඟුමන් එබී

ඔච්චම් කළේ

කවදාක හෝ

නොදැනුණු ලෙසින්

හද ගී පොතේ

සත්සර නැගී

ඒ ආදරේ

ඇය ඉතා සංයමයෙන් ගැයෙන ගීයට දෑස් වසා ගනිමින් පැද්දෙන්නට වූවාය. හිමි හිමිහිට පා තබමින් මුළු හද පත්ලෙන්ම ගීයට දැහැන් ගත වී සිටි ඈ මුව මත මල් හසරැල් වර්ෂා විකසිත වන්නට විය. කුඩා කළ පටන් තමා එකින් එක දුටු සිහින කෙමෙන් කෙමෙන් සැබෑ වන සුබ ලකුණු පෙර නිමිති දෑස් මත මැවෙද්දී ඇගේ මුහුණ පුරා තවත් ප්‍රීතිමත් රේඛා ඇඳෙන්නට පටන් ගැනිණි. 

” දුමී..!” 

” අම්මා..!” 

ඈ වහා දුරකතනය ක්‍රියා විරහිත කොට කාමරයෙන් පිටතට හිස පෙව්වාය. 

” රෑට කන්නැද්ද දරුවෝ ..?” 

” රෑට කන වෙලාවත් ඇවිල්ලද ?” 

” ම්ම්ම්.. දැන් ඉතිං උදේද , රෑද , ඉර පායනවද , බැහැලා යනවද කියලාවත් සිහියකින් නෙමෙයි ඉන්නේ. කොළඹ සිහියෙන් “

බොරු නෝක්කාඩුවක් මවා පෑ ඈ මව වෙත දිව ගොස් ඈට තදින් ඇය හට තුරුළු වූවාය.

” අනේ යන්න , බොරු ආදරේ..”

” අනේ.. මොනාද අම්මා..?” 

” අන්කල් ශමෙල් කතා කළා. “

සිනාසුණු වැඩිමහලු කාන්තාව රූ සිරියෙන් උතුරා හැළෙන තරුණ ස්ත්‍රී උවන දෙසට හැරුණාය.

” මාමා විස්තරේ කියලා. ආන්ටි මහීකලාගේ ගෙදර විස්තර ඇහුවා. “

” ඔහ්.. ! ඉතිං ?” 

” ඉතිං මං විස්තර ටික කිව්වා. මාමට ඉව වැටිලා කරපු හොර වැඩේ ගැන. “

” මොකද්ද ?” 

” අන්කල් ශමෙල් මගෙන් ඇහුවා කෙල්ල ඉල්ලලා තියෙන්නේ ජ’පුරෙ විතරද කියලා ?” 

විසල් කරගත් දෑසින් තරුණිය මව දෙස බලා සිටියාය. 

” මාමා තමයි එහෙම කියලා තියෙන්නේ. හැමදේම මං හොයලා බැලුවා මට ඕක බලන්න බැරි උනානේ කියලා “

තරුණිය වහා තොල්පට නොපිටට පෙරළා ගත්තාය.

” ඔක්කොම රෙඩි කරගෙන , නවතින්න තැනත් ලෑස්ති කරගෙන එයාට කිව්වේ කියලා කිව්වලු.” 

” අනේ අම්මා..!” 

” දැන් ඉතිං කෙඳිරි ගාන්න එපා. මං කිව්වා ඔයාට ඕක කරන්න කලින් මාමාගෙන් අහන්න කියලා. කොහෙද ඉතිං පණ්ඩිතයිනේ. මාමගේ මෝඩ දුව “

” අනේ.. අම්මා..!” 

” මෙහෙ එන්න..!” 

නැවතත් දියණියගේ අතින් අල්ලා ගත් ඈ නිදන කාමරය තුළට පිවිස එහි යහන මත අසුන් ගත්තාය. 

” හැරෙන්න පුලුවන්නං තවත් කල් තියනවා දරුවෝ. ගවර්මන්ට් යුනිවසිටි එකක්ම ඕනෙ කියලා එකකුත් නෑනේ. අපි ප්‍රයිවට් එකකට හරි ඇප්ලයි කරමු. “

” අනේ අම්මා..!” 

එවර මේතාක් ප්‍රීතියෙන් පිරී පැවතුණු දෙනෙත මතට කඳුළු බිඳු රැසක් එකතු වූ අතර එය හොඳින්ම දුටු වැඩිමහලු කාන්තාව විසල් සුසුමක් හෙළුවාය. 

” අම්මලා මාව බලාගත්තා , කන්න අඳින්න දුන්නා. , ඉගැන්නුවා. මං ඒවට මුළු සංසාරෙම ණයයි අම්මා. ඒත් .. මට මං කවුද කියන එක අමතක කරන්න බෑ. ඇයි මට මෙහෙම උනේ ? කවුරු නිසාද මට මෙහෙම උනේ කියන එක හොයන්න ඕනේ. මගේ ඔලුව ඇතුළේ ප්‍රශ්න දාහක් තියනවා අම්මා. මට ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර ඕනේ. “

ඈ වහා ගිලිහුණු කඳුළු බිඳුව කොපුලකින් පිසදා දැමුවාය. 

” දුමී..! දරුවෝ..! ඔයා කියන කතාව සාධාරණයි. ඒත්.. ඔය අපි කරපුවා කියපුවා ආයේ ආයේ කියලා ඔයා කරන්නේ අපිව ඔයාගෙ ජීවිතෙන් පිට මිනිස්සු කරන එකනේ ?” 

” අනේ.. අම්මා..!” 

ඈ පෙරටත් වඩා මෙවර කලබල වූවාය.

” එහෙම දෙයක් නෑ අම්මා. අම්මා , මාමා කියන්නේ මොකද්ද මං ඒ ඕනෙම දෙයක් දෙපාරක් නොහිතා කරනවා අම්මා. අද මේ වෙනකන් මට ඕන හැමදේම අම්මායි , මාමයි මට ඉල්ලන්නත් කලින්ම දුන්නා. මං ඔය දෙන්නට අර කිව්වා වගේ මුළු සංසාරෙටම ණයයි. ඔයාලා කරන්න කියන දේ වගේම එපා කියන දේ නොකර ඉන්නත්

 මං ආයේ දෙපාර දෙපාර හිතන්නෑ අම්මා. ඒත්.. මේ කාරණේදි මට උදව් කරන්න අම්මා. “

” පුංචි කාලේ ඉඳන්ම මං කවදාවත් ඔයාලගෙන් දෙයක් ඉල්ලලා නෑ. මොකද ඉල්ලන්නත් කලින්ම ඔයාලා මට හැමදේම දුන්නා. ඔයයි , මාමයි කියන්නේ මොකක්ද ඒ හැම දෙයක්ම මං දෙපාරක් නොහිතා කරනවා අම්මා. ඒත්.. මේ වෙලාවේ මට කොළඹ යන්න දෙන්න. “

තරුණියගේ ආයාචනාත්මක දෑස දෙස බලා සිටිය නොහැකි වූ වැඩිමහලු කාන්තාව නැවත ඉවත බලා ගත්තාය. 

” භරණ හිතන්නේ ඔයා කොළඹට ආසාවේ ජ’පුරෙ තෝරන් කියලා.?” 

” මාමාට ඇත්ත කාරණේ කියන්න එපා අම්මා “

” ශමෙල් මගෙන් ඇහුවා ඔයත් එක්ක මටත් යන්න ඕනෙද කියලා. මාමා ආයේ එනකන් අන්කල් ශමෙල් උනත් අපි දෙන්නා ගැන බලන එක නතර කරන්නෑ. මං එතකොට කිව්වා මං අවශ්‍ය නෑ ඔයාට නවතින්න හොඳ තැනක් මං බැලුවා කියලා. එතකොට කියනවා ඔයාව තැන් තැන් වල නතර නොකර කෙලින්ම එහෙන් ගෙයක් ගත්තානං ඉවරනේ කියලා. ඒත්.. භරණ වගේම මාත් ආයේ කොළඹට යන්න කැමති නෑ දරුවෝ. ඒ කොළඹ අපෙන් උදුර ගත්තු දේවල් හොඳටම ඇති. ශමෙල් කියන විදිහට ඔයා දැන් ලොකු ළමයෙක්. ඔයාට ඔයාගේ ජීවිතේ හදාගෙන , ලස්සනට ඉස්සරහට යන්න අපි ඉඩ දෙන්න ඕනේ. මාමා උනත් අන්තිම මොහොතේ මේ වැඩේට කැමති උනේ ඒ නිසා. අපිට බෑ ඔයාගේ ජීවිතේ තව දුරටත් අපිට ඕන සීමාවේ තියාගන්න. ඒ දෙන්නම හිතන්නේ එහෙම. ඒත්.. මට මහ බයක් දැනෙනවා කෙල්ලේ. ඔයා කොළඹ යන්නේ මොකටද කියලා හොඳාකාරවම දන්නේ මම. පරණ දේවල් වලින් මං හරි අමාරුවෙන් ගොඩ ආවේ පුතේ. ආයේ ඒවගේ දුකකට ෆේස් කරන්න මට බෑ. එහෙම දුකක් ආයේ දරාගන්න මට බෑ.. “

ඈ අවසන් වා‍ක්‍යය අවසානයේ ඉකි බිඳිමින් කඳුළු සැලුවාය.

” අනේ.. අම්මා..! මං කවදාවත් දෙයියෝ බුදුන් වගේ ඉන්න අම්මටවත් , මාමටවත් දුකක් දෙන්නෑ අම්මා. ඔය දෙන්නා කියන ඕනෙම දේකට මං එකඟ වෙන්නං. මට මේ ගමන යන්න දෙන්න. මං හොඳට ඉගෙනගන්නවා. අම්මලා කැමති විදිහටම ලස්සනට ජීවිතේ හදාගන්නවා. කවදාවත් අම්මලාගේ තීරණේකට පිටින් යන්නෑ. පොරොන්දු වෙනවා අම්මා..! කැම්පස් එකටයි , කොළඹටයි තියන ආසාවට විතරක් මං මේ ගමන ගිය බව මාමාට කියන්න. වෙන මුකුත් එපා. “

තරුණ දෑසින් ගිලිහී කොපුල මතට වැටුණු කඳුළු බිඳුව පිසළූ වැඩිහිටි කාන්තාව සෙමින් ඇගේ හිස පිරි මදින්නට පටන් ගත් අතර තරුණිය මව් උරහිස මත තම හිස තැබුවාය. 

” මේ ගැන ආන්ටි මහීකාට කියමුද පුතේ ?” 

මිනිත්තු කිහිපයකට පසු විශාඛා මහවලතැන්න යළි මුව හැරියාය.

” එපා අම්මා.. ඒ ආන්ටි ඒක අනවශ්‍ය කරදරයක් කියලා හිතුවොත් ?” 

දියණියගේ පිළිතුරත් සමඟ ඈ මුව මඳ මන්දහාසයක් නැඟිණි. 

” මහීකා කියන්නේ හොඳ දැනුම් තේරුම් ඇති ගෑනියෙක් දරුවෝ. කසාද මනුස්සයත් නැතුව අර යෝධයෝ වගේ කොල්ලො දෙන්නෙක් හදලා උන් දෙන්නව අද ඔය වගේ තැනකට ගේනවා කියන එක ලේසි පාසු ගෑනියෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. අවුරුදු ගාණකින් මුණ නොගැහුනත් ඒ මහීකා මේ විශාඛා ගැනත් , මේ විශාඛා ඒ මහීකා ගැනත් හොඳට තේරුම් අරන් ඉන්නේ. “

” මං ඒ ගෙදර ඉඳලා කැම්පස් එකට යන එන එක විතරක් කරන්නං අම්මා. මට පාඩුවේ එතන ඉන්න තිබුණොත් ඇති. “

” ඔයාට මේ මං වගේම හිතේ සැනසිල්ලේ මහීකා එක්ක ඉන්න පුලුවන් පුතේ. මොනයම්ම දේකදි හරි ප්‍රශ්නයක් , කරදරයක් ගැන මහීකා එක්ක කතා කරන්න බය වෙන්නෙපා. පිටින් මොන මොන චරිත වලට ආරූඪ වෙලා හිටියත් අපි හැමෝම ඇතුළේ ඉන්නේ එකම ගෑනියෙක් පුතේ. ඒ ගෑනිට වයස් බේදයක් නෑ. අවුරුදු හැටක ගෑනියෙක්ට උනත් තමන්ගේ හිත යට ඉන්න අවුරුදු විස්සේ වගේම අවුරුදු දහයේ පොඩි කෙල්ලව උනත් අමතක කරලා දාන්න බෑ.  හැම ගෑනිම එහෙමයි. ඒත් ගෑනු අපි ඒ දිහා බලන්න තේරුම් ගන්නෑ. ඔයාගේ ඇඟ ඇතුළේ ඉන්න දුක්ඛිතම පොඩි කෙල්ලව මට දැනෙනවා. ඔයා මෙච්චර ලොකු වෙලත් ඔයාට ඕනේ ඒ පොඩි කෙල්ලට සාධාරණයක් කරන්න. මගේ ඇඟ ඇතුළෙ ඉන්න අම්මා කියන ගෑනි ඔයාට ඔය කරන වැඩේ නතර කරන්න කියන්නේ මගේ දරුවට ඒකෙන් හානියක් , කරදරයක් වෙයි කියන බයට. ඒත්.. මගෙ ඇතුළේ ඉන්න කැරළිකාර ගෑනි කියන්නෙම ඔයාට මේ දේට ඉඩ දෙන්න කියලා. මං භරණගෙනුත් මේ දේවල් හංගන් ඉන්නේ ඒ නිසාමයි. 

ඔයා මේ දේවල් කොහොම කරන්න හිතන් ඉන්නවද කියලා මං දන්නෑ පුතේ. හැබැයි .. එකක් , මගේ ඇඟේ ඉන්න අම්මා කියන ගෑනිට එයාගේ දරුවා වෙනුවෙන් විස්සෝප වෙන්නවත් , අර කැරළිකාර ගෑනිට ඔයාට උදව් කරන්න වෙච්ච එක ගැන පසුතැවෙන්නවත් ඉඩ තියන්න එපා. මගේ ජීවිතේ දැන් ගෙවිලා ඉවරයි. භරණ උනත් මහා ලොකු දේවල් මේ ජීවිතෙන් බලාපොරොත්තු වෙන්නෑ. ඒත්… ඔයා එහෙම නෑ. ඔයාගේ ඉස්සරහා ලස්සන ජීවිතයක් තියනවා. ඔයා හැමදේකින්ම දිනන්න ඕනේ පුතේ. මේ ලෝකේ හිටියේ නැතත් එහා ලෝකෙට හරි ගිහිල්ලා මට ඔයා දිහා සතුටු වෙන්න පුලුවන් වෙන්න ඔයා මේ හැමදේටම උත්තර හොයාගන්න ඕනේ. “

” අනේ.. අම්මා..!” 

ඉකි ගසා වැළපෙන වියපත් කාන්තාව වැළඳගත් තරුණියද එක දිගට ඉකි බිඳමින් හැඬුවාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here