එක මොහොතක් …….

ජීවිතය ඉතාමත්ම අනියත තත්වයට පැමිණ තිබේ.විද්‍යාව තවමත් මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් මාරයා සමග සටන් වදී.වෛද්‍ය වෘත්තිය ඇතුලු සෞඛ්‍ය සේවාවන් මෙතරම් වේදනාකාරි ,අවිනිශ්චිත රැකියාවක් බවට ඉතිහාසයේ කවර කලෙකවත් නොතිබෙන්නට ඇත.

“සමායා,මාව කෝවිඩ් වාට්ටුවෙ ඉන්චාජ් කරල.පුතායි ඔයාවයි රිස්ක් එකකට දාන්න මට බැහැ.ඒ නිසා මම ක්වාටස් වලම නවතින්නම්.අම්මල ඉන්න නිසා ඔයාලට බයක් නැහැනෙ.බඩු මුට්ටු,අවශ්‍ය දේවල් ඔක්කොම ගෙදරට ලැබෙන විදියක් මම සූදානම් කරලයි තියෙන්නෙ.අපිට වෙන කරන්නම දෙයක් ඇත්තෙ නැහැ.අපේ බබාට ඔයා හරි ගෙදර ඉන්නවා.ඒත් ස්ටාෆ් එකේ දෙන්නම වැඩ අය ගෙ දරුවො ගෙදර කා එක්ක හරි අතෑරල එන්න වෙලා.”

තුසිත එක දිගටම කියාගෙන යයි.ආයෙමත් හුදකලාව පිරුණු කාලයක්.ගිය සැරේ පුතා හිටියෙ මේ ලෝකෙට එන්න බලාගෙන.දැන් අපි දෙන්නෙක් විදියට ආයෙමත් ඒ හුදෙකලාවට…..තුසිතට මිස වෙන කිසිවෙකුට පිරවීමට නොහැකි හුදකලාවට ……තුසිතට පෙනේවි යැයි බයෙන් සමායා අමාරුවෙන් කඳුළු නවත්වගත්ත.තුසිතගේ රැකියාව නිසාවෙන් බොහෝ වරප්‍රසාද රැසක්,ගරු බුහුමන් රැසක් උරුම වූයේ නොවේද ?තුසිත වෛද්‍යවරයෙක් වුණේ ඔහුගේ වුවමනාවට නොව ඔහුට ජීව විද්‍යාව අංශයෙන් ඉහළ ම ලකුණු ලැබුණ නිසා බව ඔහු නිතරම පවසන දෙයකි.වෛද්‍ය වෘත්තිය මිස වෙන වෘත්තියක් නොදුටු නිසා.නැත්නම් අනික් රැකියා මෙතරම් වරප්‍රසාද සහිත ඒවා බව ඔහුට නොපෙනුන නිසා…..ඒත් මමත් එහි කොටස් කාරයෙක් විය යුතුද ?සමායා අමනාපයෙන් සිතයි.

“සමායා ,ඇයි?මොකද එක පාරටම කල්පනාවට වැටුනේ?වෙනදා නම් මේ වෙද්දි ඔයා ප්‍රශ්න කෝටියක් විතර අහලා.”

තුසිත සුපුරුදු සැහැල්ලුවෙන් සිනාසෙයි.

“නැහැ,මම කල්පනා කලේ ඔයා වෙන රස්සාවක් කරානම් කොච්චර හොඳද කියලා “මම පුදුම ස්ට්රෙස් එකක ඉන්නෙ තුසිත.ඔයා නම් ජොබ් එක නිසා බිසී වෙනවා.ඒත් මම.මම සම්පූර්ණයෙන් ම ඔයාට හොස්පිට්ල් එකේදි කරදරයක් වෙයිද බයෙන් ….ඒත් මට තේරෙනව මේ වෙලාවෙ අපි මේකට මුහුණ දෙන්න ඕන කියලත්,අනේ මන්දා ….එක්කො ඕනි දෙයක් වෙච්චිදෙන් කියල ඔයා ගෙදර එනවද ?නාලා ක්ලීන් වෙලා ඉමු ?

ඔයාට පිස්සුද ?කෝවිඩ් වාට්ටුවක ඉඳලා ගෙදර ඩේලි යන එන එක පවුල පිටින් මරු කටට පැනීමක්.අනික බබා,අම්මලා ඔයා පොඩි ළමයෙක් වෙන්න එපා මේ වෙලාවෙ.”

තුසිතගේ හඬට අමනාපයක් මුසු වෙද්දී තමාගේ සිතටද සිතට ද කෝපයක් මිශ්‍රවනු සමායාට දැනේ.ඉක්මනින් එතැනින් ඉවත් වෙන ඇය තුසිතට නිතරම තමාට වඩා රැකියාව ලොකු වන්නේ නොවේදැයි යනුවෙන් සිතට නැගෙන කෝප සහගත සිතිවිල්ල සමග පොර බදමින්ම ඔහුගේ කළමනා කටයුතු ලෑස්ති කරයි .
මේ වේලාවේ වෙන කළ යුතු පිළියමක් ද නැත.මාරයා ගේට්ටුව අසල ගැවසෙයි.තුසිතගේ වෑයම ඔහු නිවසට වද්දා නොගැනීමටය.
පුතු ඔහුගේ තුරුලේ සුව නින්දකය.අම්මලා මේ විවාහය වෙනුවෙන් ඇල්ලුවේ එසේ මෙසේ පොරයක් නොවේ.ඒ ඔහුගේ වෛද්‍ය රැකියාව නිසා නොවේද ?ඔහුගේ තත්වය,මුදල් ආදිය පිළිබඳ පම්පෝරි මිස ඔහුගේ ගතිගුණ ගැන කතා බහක් ඇති නොවූ තරම් විය.එහෙත් වාසනාවකට ඔහු බෙහෙවින් ගුණ යහපත් සැමියෙකු ද වූයේ නොවේද ?
“සමායා,පුතා නිදි,ටිකකින් වෙහිකල් එක එයි.කා එක මම ගෙදර තියල යන්නම්.ඔයාට හදිසියේවත් ඕනිවුනොත්.මම නම් ඉතින් ඇතුලෙමනෙ ඉන්නෙ.”

තුසිතගේ සැහැල්ලුව විනෝද ගමනක් යන්නෙකුගේ විලාසයක් නොවෙදැයි සිතුවිල්ල්ලක් සමායාගෙ සිතට නැගේ.හදිසියේ ඔහුගේ රෝහල වෙතට ගිය මොහොතක දුටු රූමත් වෛද්යවරියක,හෙදියක පිළිබඳව ඉරිසියා සහගත කල්පනාවන් සිතට එනමුත් තමන් කෙතරම් මෝඩ ලෙස හැසිරෙනවාද යන්න ගැන සමායාටම සිනහාවක් නැගෙයි.

“වෙලාවකට හිතෙනව මාත් ජොබ් එකක් කළානම් කියල තුසිත.වැඩ එක්ක කම්මැලිත් නැහැ.අනික හැමදාම උදේට යාලුවොත් ඉන්නවා.බලන්න ඔයා යන්න ලෑස්ති වෙන සතුට,සැහැල්ලුව.අපට පාලුයි කියල ඔයා ට ගානක්වත් තියෙනවද ?’
සමායා සිය කේන්තිය වෙනත් විදියකට පිට කරයි.තුසිතගේ දෑස් විසල් වෙයි.

“හරි,ඔයා කියන්නෙ මට මේ රස්සාවෙන් අස් වෙන්න කියලද ?මම අදම අයින් වෙන්නම්.මටත් පුදුම සහනයක් වෙයි ඒක.ඒත් අපිට ජීවිතේ මේ තරම්ම ලේසි වෙන එකක් නැහැ.මොකද මම අයින් වුනොත් අයින් වෙන්නෙ මේ සම්පූර්ණ රස්සාවෙන් මිසක් ඔය ප්‍රයිවට් ඩිස්පැන්සරියක් දාගෙන නම් ඉන්නෙ නෑ.වත්තකින් පිටියකින් එහෙම නැත්නම් වෙන මොනාහරි විදියකින් ගෙදර ඉඳන් අර්න් කරනවා.ඔයාට මම ගෙදර ඉන්නනෙ ඕන.”
තුසිතගේ හඬෙහි ඇත්තේ කෝපයක් නොව තද බවකි .

“පොඩි දුව”
අම්මාගේ කලබල ස්වරය පහත මාලයෙන් ඇසේ.තරප්පු පෙල තරණය කරන ඇගේ කලබලය කියන්නේ කිසියම් කරදරයක පෙරනිමිත්තකි.

“අනේ පොඩි දුව හරිම වැඩේ,අක්කගෙ මහත්තය පොසිටිව් වෙලා.තුසිත පුතාගෙ හොස්පිටල් එකට එවල.පුතාව ඇහුව අක්ක කෝල් කරල.මම කිව්ව බයවෙන්න එපා අපේ තුසිත පුතා ඉන්නකම්,දැන් ඉක්මනින් එයි කියල.අනේ පුතේ ඉක්මනින් යන්න.තමන්ගෙ කෙනෙක් ඉද්දි සැලකිල්ල වෙනයිනෙ.”

අම්මාගේ කන්නලව්ව සමග සමායා දෙස බලන තුසිතගේ මුවග ඇත්තේ උපහාසාත්මක පෙනුමක්දැයි හෝ බැලීමට තරම්වත් ශක්තියක් සමායාට නැත.පුතාව සෙමින් ඇඳ මත තබන තුසිත කඩිමුඩියේ ඇඳ පැලඳ ගනියි.ඔහු තවම දිවා ආහාරය ගෙන හෝ නැති බව සිහිවන සමායා ඔහුට එය මතක් කිරීමට පෙර ඔහු හඬ අවදි කරයි.

“අම්මා බය වෙන්න එපා.එන හැමෝටම හොඳටම සලකනවා.කාවවත් අපි කැමැත්තෙන් මැරෙන්න අරින්නෙ නැහැ.හැමෝමවම බේරගන්නයි බලන්නෙ.මම ඉක්මනින් තත්වෙ බලල අක්කට කෝල් එකක් දෙන්නම්.මම යනව සමායා.රෑ වෙලා කෝල් කරන්නම්.වෙහිකල් එක ලඟලු”

නැත,එහි කිසිදු උපහාසයක් නැත.ඔහුගේ සුපුරුදු සන්සුන් ස්වරය පමණක් එහි ඇත.ඔහු සියල්ලම මෙතරම් සන්සුන් ව බාරගන්නේ වෛද්‍ය වෘත්තියෙන් ලැබුන ඉවසීම නිසාවත්ද ? සමායා දිගු කල්පනාවකට වැටෙයි.තමාගේ ජීවිතය මෙතරම් පහසු එකක් වූයේද ඔහුගේ ඒ ගුණය නිසා නොවේද?
හෙට දිනයේ ඔහු සහ කාර්‍ය මණ්ඩලය ට සාදවා යැවීමට සුදුසු කිසියම් රසවත් කෑමක් පිළිබඳ ව සිතමින් ඇයගේ සිත ඔබ මොබ සරයි.

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content