මග තොටේදි කාන්තාවන්ට ලිංගික අතවර කරන්න පෙළඹුණු සැමියෙක්.

(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.)

අපිළිවෙලට ඉන්න අපිළිවෙල ගැහැනුන්ට ජීවිතය අසීරු වෙන කතා ඔබ අහලා ඇති.නමුත් අතිශය පිළිවෙළ සහ ගෘහනියක වී නිවසේ කටයුතු වලට හොඳින් කැපවීම පවුල් ජීවිතයක් බිඳ වට්ටවාවි කියලා ඔබ නිකමටවත් හිතලා තියනවාද?

අද අපි ඔබට කියන්නේ එවැනි කතාවක්.

ආලෝකා සහ වසන්ත විවාහ වී වසර පහක් පමණ ගෙවී ගිහින් තිබුණා.ආලෝකා හරිම පිළිවෙළකට වැඩ කරන කෙනෙක්.ඇය දුරබැහැර පළාතක සිට වසන්තගේ නිවසට ආවේ යෝජිත විවාහයක ප්‍රතිඵලයක් ලෙසයි.
වසන්තත් වසන්තගේ අම්මත් පමණයි නිවස ජීවත් වුණේ.වසන්තගේ අම්මා ආලෝකාටත් වසන්තටත් කිසිලෙසකින් හිරිහැරයක් කරපු නැන්දම්මා කෙනෙක් නොවෙයි. ඇය ලේලියටත් පුතාටත් නිදහ්සේ ජීවිතේ ගෙවන්න බාධාවක් වුනේ නෑ. නමුත් ආලෝකා නිවසට ආවට පස්සෙ ගෙදර අඩුපාඩු දකින්න පටන් ගත්තා. දැකපු ප්‍රධානම අඩුපාඩුව තමයි ,වසන්ත සහ අම්මගේ අපිළිවෙළ. ආලෝකා කිසිම කෙනෙකුට වැරදි අඩුපාඩු කියන කාන්තාවක් නෙමෙයි.ඇය ඒ නිසා නිවස සම්පූර්ණයෙන්ම පිරිසිදු කරගත්තා. මුලුතැන්ගෙය ඇයට වුවමනා පරිදි සකස් කරගත්තා.වසන්තගේ අම්මා මේ දේවල් වලට මැදිහත් නොවී ලේලියට අවශ්‍ය පරිදි කටයුතු කරන්න ඉඩ දුන්නා.

ආලෝකා හැමවෙලාවකම හිටියේ සෝදමින් අස් කරමින්. ඇයට අවශ්‍ය වුනේ කුණු පොඩ්ඩක් වත් නැති පිරිසිදු නිවසක්. ඒ වෙනුවෙන් ඇය බොහෝ වෙහෙසුනා. හැමවිටම බොහොම පිලිවෙලට ලස්සනට ඇය නිවස තියා ගත්තා. ගෙදරට එන සෑම කෙනෙක් ම අලුත් ලේලිය ගැන ප්‍රශංසා කලා, වසන්තගේ මිතුරන් ඔවුන්ගේ බිරින්දෑවරුන්ට ආදර්ශයට පවා ගන්න කීවේ ආලෝකාව . දක්ශ ගෘහනියක් ලෙස ඇය හැමෝම අතර ප්‍රචලිත වුනා. ඇය සිය යුතුකම් ඉටු කරන සර්ව සම්පූර්ණ බිරිදක් බව සිතූ ආලෝකා ජීවත් වුනේ සතුටින් .

විවාහයෙන් පසු ඉක්මණින්ම ඔවුන් දරුවෙකු හදන්න තීරණය කලා. විවාහ ජීවිතේ වගකීම් වැඩි වෙමින් පවුලට දරුවෙක් එකතු වුනා. දරුවා ඉපදිමත් එක්කම ආලෝකාගේ දවසම වැය වුණේ බබාගෙ වැඩ වලට, වගේම දරුව හැඩි කරන ගෙදර අස් කරන්න.
දවස තිස්සේම වැඩ කරන ආලෝකාට නිවසට එන වසන්ත ගැන හොයන්න බලන්න වෙල්වක් තිබ්බෙ නෑ.. ඇත්තටම ඇය වසන්ත ගැන සොයා නොබැලූ තරම්.
වසන්ත රැකියාව කළේ පරිගණක ක්ෂේත්‍රය ආශ්‍රිතවයි .රැකියාවෙන් හොඳ වැටුපක් ලැබුණු වසන්තට වුනේ ගෙදර ඇවිත් වැඩි කාලයක් තනියම ගත කරන්න , මොකද ආලෝකා ගෙදර වැඩ වලට වසන්ත සම්බන්ධ කර ගත්තෙත් නෑ, වසන්ත සමග සතුටින් ඉන්න කාලයක් ඇය ලග තිබුනෙත් නෑ. ඉතින් ඔහු ගෙදර ආවට පස්සෙත් ලැප්ටොප් එකත් එක්ක ඉන්න පටන් ගත්තා. දෙන්න අතර වැඩි කතා බහක් නැති,ලිංගික කටයුතු වැඩිය සිද්ධ නොවුණු පවුල් ජීවිතය ඔහේ ගලාගෙන ගියා.

“ආලෝකා, නිදාගන්න එන්නේ නැද්ද?”

පුංචි පුතා කලින් නින්දට ගිය වෙලාවට වසන්ත ආලෝකාට කතා කළත් ඇය හිටියේ ගේ මොප් කරමින්, කුස්සිය අස් කරමින්, බාත් රූම් මදිමින්. ස්වාමියාටත් ඇයව අවශ්‍ය බවත් ඇයට හිතුනෙ නැති තරම්. මේ නිසාම වසන්තට බිරිද සමග ලිංගිකව එක් වෙන්න ලැබුනෙ නෑ.. ඔහුට හැමදාම එම අවශ්‍යතා යටපත් කරගෙන නිහඩව ඉන්න සිදුවුනා.

ඔහේ ගලාගෙන ගිය ජීවිතේ වෙනස් වෙන්නේ එක්වරමයි.

“වසන්ත අපේ ලිඳ ලඟ අපි නානවා බලාගෙන හිටියා..”

ගමේ කාන්තාවන් අසැබි විදියට බනිමින් එහෙම චෝදනාවක් අරගෙන ආවා .වසන්තගේ අම්මා ඔවුන්ට අපහාස කරලා පන්නගත්තා.නමුත් ඒ චෝදනාව දිගින් දිගටම එල්ල වෙන්න පටන් ගත්තා.

“වසන්ත බස් එකේදී ගෑනු කෙනෙකුට හේත්තු වෙන්න ගිහින් කුඩ පාරක් කෑවා..”

ඒ වගේ චෝදනාත් අහන්න ලැබුණා.වසන්තගේ පරිගණකය සෝදිසි කල ආලෝකාට එය තුළ අසභ්‍ය වීඩියෝ බොහෝ ප්‍රමාණයක් ගබඩා කර ඇති බව දකින්න ලැබුණා. සමහර කාන්තාවන් ලෙස ඇය අනවශ්‍ය ලෙස කෝපයට පත්ව රන්ඩු සරුවල් කරමින් අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කර ගත්තේ නෑ.. හොදින් කල්පනා කල ඇයට කොතැන හෝ යම් ගැටලුවක් ඇති බව තේරුම් ගියා. හොදම මිතුරියක් සමග මේ ගැටලුව පැවසූ ඇයට මිතුරියගෙන් ලැබුන උපදෙස් අනුව ඇය
පවුල් උපදේශනය සදහ යොමු වුනා. මිතුරිය පැවසූ අයුරින් තම සැමියාගෙ ගැටලුවට හොඳම විසඳුමක් මේ තුලින් ලැබේවි කියන විශ්වාසය ඇය තුල තිබුනා.

පලමුව ඇය උපදේශනයට ආවේ වසන්තගේ අම්මා සමග.වසන්ත උපදේශනයට ඒම තරයේ ප්‍රතික්ෂේප කරලා තිබුණා.

“මගෙන් එයාට කවදාවත් අඩුපාඩුවක් වෙලා නැහැ .මම ගෙදර වැඩ හරියටම ඉෂ්ට කරන කෙනෙක්.මුදල් නාස්ති කරන්නේ, රණ්ඩු කරන්නේ නැහැ.වසන්තට මෙහෙම වුණේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ.”

ආලෝකා එහෙම කියද්දි වසන්ත ඉස්සර මේ වගේ නැති බව ඔහුගේ අම්මා කියන්න පටන් ගත්තා.මේ ප්‍රශ්නය විසඳන්න වසන්තව උවමනා බව උපදේශකතුමියට තේරුම් ගියත් ඔහු ආවේම නෑ.ඔහුව ගෙන්වන්න වසන්තගේ අම්මා යොදා ගන්න රත්නා මහත්මිය උපායශීලි වුණා.

“ඔය ප්‍රශ්නෙට හේතුව ආලෝකාගේ හැසිරීම කියලයි ඒ නෝනා කියන්නේ.ඒක දැන ගන්න යන්න..”

අම්මා එහෙම කියද්දී වසන්ත උපදේශනයට ගියා.

“මෙයා හරිම කෙට්ටුයි.මට හැඟීමක් ඇති වෙන්නේ නැති තරම්.ඇඟ ටිකක් මහත් කර ගන්න උනන්දු වෙන්න කියලා කිව්වට ආලෝකාගේ කැමැත්තක් නෑ.
මෙයාට හැම වෙලාවෙම ඕනේ පිලිවෙලට ඉන්න විතරයි.අස් පස් කරල එයා ඇඳට එනකොට මට නින්ද ගිහිල්ලා.හැමතිස්සෙම ගෙවල් අස් කරන්න ඕනේ නෑ කියල කිව්වට කවදාවත් ඒක පිළිගන්නේ නෑ.ඕනෑවට වඩා පිලිවෙල ගොඩක් දේවල් අවුල් කරා කියලයි මට කියන්න තියෙන්නේ..මං දන්නවා මම කරන්නේ වැරැද්දක් කියලා.මගේ මේ අමුතු ආසාවල් නිසා මන් කරන දේවල් එක්ක මම සමාජයෙන් නින්දා විඳිනවා. ඒත් මටත් හැගීම් ආසාවල් තියනව, ඒව හැමදාම යටපත් කරන් ඉන්න බෑනෙ..මගේ හැඟීම් පිට කරගන්න විදියක් අවශ්‍යයි.වෙනත් කාන්තාවක් යාලු කරගන්න,ගණිකාවන් ඇසුරු කරන්න වගේ දේවල් වලටත් මම කැමති නෑ .එවෙලේ හිතට එන ආශාවන් මම පිට කරන්නේ මේ විදියට.මේක වැරදි හැසිරීමක් කියලත් මට තේරෙනවා.මට වෙලාවකට හිතෙනව මේක මානසික රෝගයක් ද කියලත්”

වසන්ත ඒ විදියට තමන්ගේ තත්ත්වය හෙළි කළා.

ඕනෑවට වඩා පිළිවෙලත් සැමියාට ප්‍රසන්නව හැසිරීමෙන් වැළකීමත් හින්දා ජීවිතය අවුල් වෙන්න පටන් අරගෙන කියලා ආලෝකාට පැහැදිලි කරන්න උපදේශකවරිය ක්‍රියා කළා.

මෙතැන තියෙන වැදගත්ම කාරණාව තමයි සැමියාගේ පොඩි චැට් එකකටත් පවුල් ජීවිතේ අවුල් කරගන්න බොහෝ කාන්තාවන් අතර මේ කාන්තාව තීරණය කරනවා සැමියාට සමාව දෙන්න.ඇය බොහොම ඉවසීමෙන් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න තීරණය කළා.නිතරම අස්-පස් කරන්න නොයා සැමියාට වෙලාව දෙන්න ඇය එකඟ වුණා.ශරීර ස්වභාවයන් විවිධ බව බවත් ඒවා වෙනස් කරගන්න අපහසු බවත් වසන්තට තේරුම් කරලා දෙන්න උපදේශකවරියට පුලුවන් වුණා. අනිවාර්යෙන් දික්කසාදයකින් කෙළවර වෙන්න තිබුණු ප්‍රශ්නයක් බිරිඳගේ ඉවසීම සහ සමාව දීමේ ගුණය නිසා විසඳන්න පහසු වුණා.

මේ ගැටළුවෙන් ඔබ තේරුම් ගත යුත්තේ මෙන්න මේ දේවල් .බිරිඳක් කියන්නේ ගේදොර අස්පස් කරන,රහට උයන පිහන කෙනෙක් කියලා ඔබ හිතාගෙන ඉන්නවනම් ඇත්තටම එහි වැරැද්දක් තියෙනවා.ඔබේ සැමියා සහ ඔබ පවුල් ජීවිතය ගත කළ යුතුමයි.ඔබේ ආශාවන් ඔහු විසිනුත් ඔහුගේ ආශාවන් ඔබ විසිනුත් සන්තර්පණය කළ යුතුයි.නිවසේ කටයුතු බදාගෙන ඉන්න එකෙන් ඔබට සැමියාව මග ඇරෙන්න දෙන්න එපා .හැඩි වුණු ගෙදරක් පහුවදාට අස් කරගන්න පුළුවන්.නමුත් අවුල් වුණු පවුල් ජීවිතයක් පිලිසකර කිරීම හරිම අපහසුයි.

මේ කතාවෙන් ඔබට ඉවසීම සහ සමාව දීම ගැන පාඩමක් ඉගෙන ගන්නත් පුළුවන්.දික්කසාදයකට නොගිහින් ගැටලුව විසඳා ගන්න හැකි වුණේ ආලෝකා තමන් ද වැරදි බව අවබෝධ කර ගත් නිසා. ඇය සැමියාටම වරද පවරමින් තමන් නිවැරදි බව කියා ඔහු පිළිකුල් නොකළ නිසා.

විවාහයක් කියන්නේ අනෙකා තේරුම් ගත යුතු සහ සමාව දෙමින් ඉදිරියට යා යුතු ගමනක් කියලා මේ කතාවෙන් ඔබට පැහැදිලි වෙන්න ඇති නේද?

Related Articles

Don't Miss


Latest Articles