වැරදි වැටහීම් නිසා ගත් වැරදි තීරණයක් නිසා දෙපැත්තට වී හුදෙකලාව ජීවිතේ ගෙවූ ඔවුන්.

විවාහ ජීවිතයක් තුලදි ගැටලු ඇතිවීම අතිශය සාමාන්‍ය දෙයකි.නමුත් ඒ ගැටලු ඕනෑවට වඩා දුරදිග ගෙනගොස් දික්කසාදයක් දක්වා යෑම තරමක් හිතන්නට ඕනෑ කාරණාවක්.

පවුල් දෙකක දෙවිදියකට අනුව ජීවත් වූ දෙපලක් එක වහලක් යටට එක්වූ පසු ඔවුන්ගේ ගති පැවතුම් ගලපා ගෙන ජීවත් වීමට ඔවුන්ට කාලයත් එක්කම සිදුවනවා.එය අසාර්ථක වූ විගසම දික්කසාදයක් දක්වා නොයා ඉතා ඉවසීමෙන් කටයුතු කිරීමෙන් බොහෝ ප්‍රශ්න මග හරවා ගැනීම කල හැකියි

මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුශ්පකුමාරි මහත්මියගේ අත්දැකීම් ඇසුරෙන් අද අපිට ඔබට කියන්න හදන්නේ තරමක වෙනස් කතාවක්

දේශීකා සහ විරාජ් කියන්නේ මංගල යෝජනාවක් නිසා මුණගැහුනු යුවළක්.වැදගත් පවුලක රූමත් යුවතියක් වන දේශිකාට , කඩවසම් ව්‍යාපාරිකයෙක් වන විරාජ් කෙරෙහි ආදරයක් ඇතිවෙන්නේ මේ මංගල යෝජනාව නිසා ඔවුන් මුණගැහුනාට පස්සේ. යෝජනාවකින් මුණගැහුනත් ඉතා ආදරෙන් බැඳෙන මේ යුවළ ටික කලකින් යුගදිවියට එළඹෙන්නේ හැමදෙනාගේම ආශිර්වාද මැද්දේ.

විවාහ වෙලා කෙටි කාලයකින් ඔවුන්ගේ ජීවිතය තවත් සුන්දර එකක් වෙන්නේ ඔවුන්ගේ ලෝකයට දියණියක් එකතු වීමත් එක්ක

දක්ශ ව්‍යාපාරිකයෙක් වන විරාජ්ගේ කාර්‍යබහුල බව මේ වෙද්දි තරමක් වැඩි වෙනවා.ඒ වගේම ඔහු නිවසට එන්න ප්‍රමාද වීම සහ නිතර නිතර නිවසින් බැහැරව සිටීමේ කාලයත් වැඩි වෙන්නේ මේ කාර්‍යබහුල බවත් එක්කමයි.සමාජශීලි පුද්ගලයෙක් වන ඔහුට ව්‍යාපාරික කටයුතු නිසාවෙන්ම නිතර විදෙස් ගතවීමට ,සාද සහ රැස්වීම් වලට සහභාගි වීමටත් සිදුවෙනවා. නිවස තුලම හැදී වැඩුන දේශිකා, විරාජ් සමඟ සහභාගි විය හැකි අවස්ථාවන් පවා මග හරින්නේ මේ දේවල් ඇයට නුහුරු නිසාමයි

නමුත් කල් ගත වෙද්දි මේ තත්වය ඇයට නුරුස්සන ස්වාභාවයක් ඇතිවෙනවා.විරාජ්ගේ මේ ක්‍රියාකලාපය ගැන අපැහැදීමක් ඇති කරගන්න ඇය නිතර නිතර ඔහුට දෝශාරෝපනය කරන්නත් ඔහු හා ගැටුම් ඇති කරගැනීමටත් පටන් ගන්නවා. ඉතා වෙහෙස වී නිවසට එන විරාජ් ,දේශිකාගේ මේ හැසිරීම ඉවසන්නේ නෑ. දෙදෙනා පහර දීගන්න පවා පෙළඹෙන්නේ ඉන් පසුවයි.
වරක් දරුවාද රැගෙන දුම්රියට පනින්නට පවා දේශිකා උත්සහ කරනවා

තත්වය උග්‍ර අතට පත්වන බව වටහා ගන්නා දෙමව්පියන් දේශිකාට දරුවාද රැගෙන නිවසට එන්න කියන්නේ මේ ගැටුම් දුරදිග ගොස් ජීවිත හානි ඇතිවේයැයි සිතමින්.
වසරක් දෙකක් ගතවී යද්දි දේශිකා සහ විරාජ් ඔවුන්ගේ විවාහය දික්කසාදයකින් අවසන් කරගන්නවා

ඉන්පසු ගෙවෙන කාලයේදී දියණිය වෙනුවෙන් සියලු යුතුකම් ඉටු කරන විරාජුත් ,දියණිය රැකබලාගෙන දෙමව්පියන්ගේ නිවසේ ජීවත් වන දේශිකාත් නැවත විවාහයන් කරගැනීමට සිතන්නේ නෑ

වසර අටකට පසුව දියණිය වැඩිවිය පැමිණෙනවා.

” අපි විරාජ්ට එන්න කියමු “

දේශිකාගේ දෙමව්පියන් යෝජනා කරන්නේ එහෙම.ඊට විරෝධය පල නොකරන දේශිකා තමන්ගේ දියණියගේ පියාට නිවසට එන්න ඉඩ හරිනවා
කවදත් සමාජශීලි පුද්ගලයෙක් වන විරාජ් දියණිය වෙනුවෙන් පැමිණ , නෑදෑ හිතවතුන් අතර ඉතා මිත්‍රශීලි ආකාරයෙන් කටයුතු කරනවා

විරාජ් සහ දේශිකා අතර පරණ හිතවත්කම අලුත් වන්නට පටන් ගන්නේ ඉන්පසුවයි. නිතර කතාබහ කරමින් ඔවුන්ගේ අදහස් බෙදාගනිමින් ටික කාලයක් ගතවෙන්නේ මේ විදියට

” ආපහු ඔය මිනිහට නම් අහු වෙන්න එපා “

සමහර නෑදෑයන් දේශිකාට එහෙම කියද්දි,

” ඔය දෙන්නා ආපහු එකතු වෙනවා නම් කොච්චර හොඳද දරුවා වෙනුවෙන් “

සමහර නෑදෑයන් සහ දෙමව්පියන් දේශිකාට එහෙම කියනවා

මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුශ්පකුමාරි මහත්මියගේ උපදේශනයට ඔවුන් දෙදෙනා යොමු වෙන්නෙ ඉන්පසුවයි

වසර ගණනාවකට පෙර දෙදෙනාට නීරස වී ගිය පවුල් ජීවිතයේ ගැටුම් , බහින්බස් වීම් සහ පහරදීම් ඔවුන් රත්නා මහත්මිය ඉදිරියේ පවසන්නේ සිනාසෙමින්.
එදා ඇතිවූ ගැටලු ඊට වඩා වෙනස් විදියට විසඳගන්නට තිබුනු බවත් , ඔවුන්ගේ තරුණ ජීවිත වලින් අවුරුදු අටක කාලයක් අපතේ ගිය බවත් ඔවුන් පිළිගන්නවා.

සිදුවූ වරද නිවැරදි කරගන්නට සිතන ඔවුන් දෙදෙනා නැවත විවාහ වෙනවා !

රත්නා පුශ්පකුමාරි මහත්මිය පවසන විදියට මේ ආකාරයට පවුල් ජීවිතය තුල සිදුවන ගැටලු බොහෝමයකදි අඹු සැමියන් ඒ මොහොතේ ඉතා නොසන්සුන් ලෙස කටයුතු කලත් කාලය විසින් නිවැරදි දේ ඔවුන්ට පහදා දෙනවා.

පවුල් ජීවිතය තුල ඇතිවන ගැටලු වලදී , බහින්බස් වීම් සහ පහරදීම් වලට නොයා , මානසිකව එවැනි දේවල් වලින් ඈත්වී කාලය ගත කිරීමට උත්සහ කිරීම තුලින් බොහෝ ගැටලු මග හරවාගෙන හොඳ මානසිකත්වයක් තුල සාර්ථක විවාහ ජීවිතයක් ගත කල හැකි බවට රත්නා මහත්මිය උපදෙස් දෙනවා.

Related Articles

Don't Miss


Latest Articles