පවුල රැක ගැනීමට දේවාල පසුපස ගිය බිරිඳගේ කතාව.

පවුල් ජීවිතයක් අවුල් වෙන සාධක මොනවද කියලා ඔබෙන් ඇහුවොත් අනියම් සම්බන්ධතා, නැන්දම්මාගේ ගැටළු, මුදල් ප්‍රශ්න,ලිංගික ගැටළු, කෝපය වගේ කරුණු ඔබට මතක් වෙයි.

අද මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්පකුමාරි මහත්මිය හෙළි කරන කතාන්දරයේ තිබෙන්නේ ඒ එකම ගැටළුවක් වත් නොවෙයි.

මිථ්‍යා ව්ශ්වාස!! ඔව්.එයත් පවුලක් සහමුලින්ම අවුල් වෙන්න හේතුවක්.

දීප්තිගේ සැමියා වූ අසංක ඉංජිනේරුවෙක්.ඔහු සේවය කරන්නේ විදේශ රටක. ඔවුන්ගේ එකම දියණිය පියුමි දහය වසරේ සිසුවියක්.හොඳින් මිල මුදල් ඇති සැපපහසු ජීවිතයක් ඔවුන්ට අයිතියි.අසංක දිනක් විදේශයේ සිට රත්නා මහත්මිය අමතන්නේ ඇගෙන් උපදේශනයට වේලාවක් වෙන් කර ගන්න.

“දීප්තිගේ වැඩේ යන්තර මන්තර පස්සෙ යන එක.මේක මටත් දුවටත් මහ කරදරයක්.මාස තුන හතරකට පාරක් ලංකාවට ඇවිල්ල යන්න පුලුවන් මං නොඑන්නේ ඒ කරදර හින්දා.මං අවුරුදු එකහමාරකින් ගෙදර ආවේ නෑ.දුවත් ඕලෙවල් කට උඩ වුණාට ළකුණු හොඳටම අඩුයි..”

ඔහු එසේ පවසනවා.අනතුරුව රත්නා මහත්මියගේ උපදෙස් පරිදි දීප්ති සහ පියුමි සමඟ උපදේශනයට එන්නට අසංක ක්‍රියාකරන්නේ නැවත මවු රටට ආ පසු.පියුමිගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් උපදේශකවරියක හමු වීමට කියලා තමයි ඔවුන් එන්නේ.

“මේක මල වදයක්.මගෙ ඉනේ, කරේ,අත් වල හැමතැනම යන්තර.ඉස්කෝලේ ළමයි හිනා වෙනවා.මට පාඩම් කරන්න මානසිකත්වයක් නෑ.තාත්තා ගෙදර එන්නෙ නැත්තේ අම්මගෙ විකාර නිසා.මට ඒකට දුකයි.අම්මා එක්ක හැමතිස්සෙම දේවාල ගාණෙ යන්න ගියාම මගෙ ස්ටඩීස් පාඩු වෙනවා..”

පියුමි හෙළි කරනවා.රත්නා මහත්මිය උපක්‍රමශීලිව දීප්ති සමඟ කතාබහ කරද්දී ඇය අසංක වෙනත් රටක සිටින නිසා මුදල් ගැන සහ ඔහු ගැන බියෙන් මේවාට නැඹුරු වූ බව සොයා ගන්නවා.දන්නා කාන්තාවක් ඇයට මේ ගුරුකම් ගැන හඳුන්වා දීමෙන් පසු රැකියාවක් නොකර ගෙදර ඉන්න දීප්ති මේවට ඇබ්බැහි වී තිබෙනව.

ඉතින් උපදේශනයට පසු පියුමි ඉතා හොඳින් පාඩම් වැඩ කර හොඳ ලකුණු මට්ටමකට එනව.

“දරුවට අපල නෑ.එයාට පාඩම් කරන ක්‍රම කියා දුන්නම හොඳ ලකුණු මට්ටමකට ආවා කියලා දීප්තිට දැන් තේරෙනවද?”උපදේශකවරිය ඊළඟ උපදේශන වාරයේදී එසේ අසද්දී පියුමි එතැනදීම සියළුම යන්තර ගලවා ඉවත් කරනවා.

මුදල් අතිශය නාස්ති කරමින් මානසික සුවය නැති කරගනිමින් දීප්ති මේ විකාර පසුපස යාම නිසා ඇයත් අසංකත් අතර ලිංගික ජීවිතයට ද ගැටළු ඇති වී අවසන්. දීප්ති ගෙදරට ආරක්ෂා යන්තර ගෙනා පසු ලිංගිකව හැසිරීම කිල්ලක් ලෙස සලකනවා.ඒ නිසා මාස කිහිපයකට වතාවක් නිවසට එන සැමියාට ලිංගික සතුටක් ඇගෙන් ලැබෙන්නේ නෑ.අසංක බුද්ධිමත් නිසා ඉවසූ මුත් වෙනත් සම්බන්ධතා ඇති කර නොගත් නමුත් දැඩි එපා වීමකින් සිටිනවා. ඒ වගේම මස් මාළු භාවිතය අතැර දැමිම නිසා පියුමිගේ වර්ධනයට ද බාධාවන් සිදු වී අවසන්.

මුදල් නාස්තිය, මානසික සතුට නැති කර ගැනීම සහ සැමියා සමඟ සම්බන්ධතා දුරස් කිරීම නිසා පවුලට සිදු වූ හානිය දීප්ති උපදේශනයට පසු වටහා ගන්නවා. දැන් ඇගේ කර මත ඇත්තේ අසංක තිළිණ කළ රත්තරන් මාලයක් පමණයි.මස් මාළු තවදුරටත් තහනම් දේ නෙවෙයි.අසංක සමඟ ඇගේ සම්බන්ධතාවයත් යහපත්.ඇය දැන් අදහන්නේ ආගම පමණයි.

හිතවත් ඔබට කියන්නට ඇත්තේ ද මිථ්‍යා විශ්වාස දියුණු සමාජයකට කෙසේවත් ගැළපෙන්නේ නැහැ. ඒවා පසුපස යාමෙන් ඔබට නැතිව යන්නේ මුදල් සහ ඔබේ කාලයත් පවුලේ සතුටත් පමණයි.කේන්දර බලමින් බියපත් වීමෙන් මානසික සතුට බිංදුවටම වැටෙන අවස්ථාද ඕනෑ තරම්

මිථ්‍යා විශ්වාස කිසිවකට අප ආරක්ෂා කළ නොහැකි බව වටහා ගන්නට හොඳම කාලයක් පසු කරමින් හිඳින අපට දීප්තිගෙන් ගත හැකි ආදර්ශ ඒවායි.

Related Articles

Don't Miss


Latest Articles