අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස් කර ඇත.

නිලුෂි පෙනුමෙන් බොහොම සුන්දර යුවතියක්.ඇය ඇතිදැඩි  වෙන්නේ කායිකව මානසිකව සහ සමාජීයව සැලකිය යුතු තරම් බාධක නැති සුවපහසු පරිසරයකයි.නිලුෂි උසස් අධ්‍යාපනය හදාරා අවසන් වීමත් එක්කම විදේශ ගත වෙනවා. ඒ ඇය වඩාත් ප්‍රිය කරන විලාසිතා සම්බන්ධ උපාධිය හදාරන්න.නිලුෂිගේ සම්පූර්ණ කාලය අධ්‍යාපනය සමඟ ගතවෙනවා.අපේ රටේ හැම අම්මා තාත්තා කෙනෙකුගේම සාම්ප්‍රදාය වෙන්නේ හොඳ අධ්‍යාපනයකින් පසුව දියණියක් ඉතා ඉක්මනින්ම විවාහ කර දීමයි.නිලුෂිගේ අම්මාටත් තාත්තාටත් එය පොදු කාරණාවක් වෙනවා.

“මට දැන්ම බඳින්න බෑ අනේ”

ඒ සම්බන්ධයෙන් එහෙම උත්තර දෙන නිලුෂි නැවත ලංකාවට ඇවිත් ඇය ඇගේම ව්‍යාපාරයක් පටන් ගන්නවා.ඒ ව්‍යාපාරය ඇයට හොඳ මානසික තෘප්තිමත් භාවයක් ඇති කරන්නට සමත්.එනිසාම ඇය සතුටින් සැනසීමෙන් ජීවත් වෙනවා.

“ඔයා දැන් මැරි කරන්න ඕන දුව.නංගියි මල්ලියි දෙන්නම මැරි කරලා ඉවරයි.බාල සහෝදරයෝ කසාද බැන්දම වැඩිමල් සහෝදරී මෙහෙම ඉඳලා හරියන් නෑ.”

වෘත්තිය අතින් නිලුෂි මොනතරම් සාර්ථක වුණත් ඇගේ අම්මාත් තාත්තාත් නිරන්තරයෙන් නගන්නේ එහෙම චෝදනාවක්.ඇය කොහොමහරි විවාහ වෙන්නම ඕනෑ.ඒ දෙමාපියන්ගේ අවසන් තීරණය.

“ගෙදරට නාකි වෙන්නද අනේ හදන්නේ? මොනව තිබ්බත් මොකටද කසාදයක් බැඳලා දරුවෙක් නොහදා”

සමාජයත් නිලුෂිට දැඩිව බලපෑම් කරන්නට පටන් ගන්නවා.එය අවසන් වෙන්නේ නිලුෂි විවාහයකට කැමැත්ත පළ කිරීමෙන්.

ඒත් ඇගේ සිහින සහ ආශාවන් මිය යන්නේ එදා පටන්!!

චාමර,නිලුෂිගේ ස්වාමි පුරුෂයා බවට පත් වෙනවා.චාමර කියන්නේ ඉතාම ආවේගශීලි තරුණයෙක්.

“නිලුෂි,ඔයා රස්සාවට යන්න ඕනෑ නෑ.ඔයා මොකටද රස්සාවල් කරන්නේ.ගෙදරට වෙලා මේ තියන දේවල් බලා ගන්න.”

රැකියාව නිසා නිලුෂි බොහෝ කාර්යබහුල වූ දිනක කෝපයට පත් වෙන චාමර නිලුෂිට එවැනි නියෝගයක් ලබා දෙනවා.චාමර තමන් කියන දේ අවසාන තීරණය ලෙස ක්‍රියාත්මක කරන ඔහුගේ මතයට අනුව වැඩ කරන පුද්ගලයෙක් බව නිලුෂිට වැටහෙන්නේ එවැනි සිදුවීම් නිසා. බිරිඳ තමන්ගේ තීරණ අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු බව චාමර සිතන නිසාම එදායින් පසු නිලුෂිට ඇගේ ව්‍යාපාරයට සහ වැඩිදුර අධ්‍යාපනයට සමු දෙන්නට සිදු වෙනවා.මේ සියළුම කාරණා නිසා චාමර සමඟ ගෙවන පවුල් ජීවිතය නිලුෂිට කිසිම සතුටක් ලබා දෙන්නේ නෑ.ඇය විවාහය ගැන මැවූ සිහින පවා ඔහු අතින් බිඳ වැටෙන්නේ දිගින් දිගටම.

චාමරට තිබුණේ එකම එක ආශාවක් පමණයි.ඒ වාහන මිලදී ගැනීම සහ ඒවා විකිණීමයි. එපමණක් නෙවෙයි,චාමර කිසිම අයුරකින් ළයාන්විත නැති මිනිසෙක්.ඔහු ආදරය සහ කරුණාව යන වචන හඳුනන්නේවත් නෑ.විවාහයක් තුළ දෙදෙනා අති සමීපතමයන් විය යුතු වුණත් චාමර කිසිම දවසක නිලුෂිට සමීප වෙන්නේ නෑ. ඔහු සුළු දේට පවා පරුෂ වචනයෙන් බැන වදිමින් අහේතුකව ඇය ප්‍රතික්ෂේප කරමින් කාලය ගත වෙද්දි නිලුෂිට  ඇයව අහිමි වෙන්න පටන් ගන්නවා.

ඒ අහිමි වීම නිලුෂිව රැගෙන යන්නේ වඩාත් නරක තැනකටයි.

ඇගේ ජීවන රටාව සහමුලින්ම වෙනස් වෙනවා.ඇය ඔහේ දවසම නිදා ගන්නවා.එකම ඇඳුමින් දවස් ගණන් ගෙවා දමනවා.ඉතා පිරිසිදු සහ පිළිවෙළ තරුණියක් වුණු නිලුෂි බොහොම අපිරිසිදු සහ අපිළිවෙළ වෙන්නට පටන් ගන්නවා.කලකිරීම සහ දුක සමඟ ඇය දින ගණන් ගෙවා දමන්නේ කඳුළින්.

“මොකටද යාළුවන්ගෙ ගෙවල්වල යන්නේ?”

චාමර එසේ අසමින් ඇයව මිතුරු ආශ්‍රයෙන් පවා වළක්වනවා.නමුත් දිගින් දිගටම මෙහෙම ඉන්නට අමාරු නිසා නිලුෂි උපදේශනයට යොමු වෙන්නට උත්සාහ කරනවා

“තමුසෙට පිස්සුද නිලූෂි ඒවට යන්න.”

ඇගේ දුරකථනය පවා පොළොවේ ගසමින් චාමර ඒ මොහොතේ දැඩි ආවේගශීලීව හැසිරෙන්නට පටන් ගන්නවා.ඇයව තවත් මානසිකව අඩපණ කරන ඔහු ඇය තමන්ගේම මනසේ සිරකාරියක කරන්නට කටයුතු කරනවා.නිලුෂි ගැබිණියක්  වන්නේ ඒ අතර.ගැබිනියකට තමන්ගේ පවුලෙන් දැඩි මානසික සහ කායික උදව් ලැබෙන්නට උවමනා වුණත් නිලූෂිට ඒ කිසිවක් ම ලැබෙන්නේ නැහැ.ඔවුන් ඇය ගැන කිසිම විටක තකන්නේ නැහැ.මානසික පීඩා සහ කායික පීඩා දරාගෙනම මාස නවයක් තිස්සේ ජීවත් වී නිලුෂි තමන්ගේ දරුවාව බිහි කරනවා.

දරුවකු බිහි කළ මවකට මානසික සහනය අනිවාර්ය සාධකයක් වුණත් නිලුෂි එය ලැබීමට තරම් වාසනාවන්ත වෙන්නෙත් නැහැ.

දරුවා ලැබීමෙන් පසුව ඇයට සහනයක් තෘප්තියක් දැනෙන්නේ නෑ.වගකීම් වර්ධනය වීම,ආදරණීයන්ගේ ප්‍රතික්ෂේප වීම, හුදකලා වීම නිසාඇය තනියම කතා කරන්න පුරුදු වෙනවා.

“මම කාමරේට ගිහින් බලනකොට නිලුෂි තනියම කියෝනවා.අපිට මේ මහ ලොකු දෑවැදි එහෙම එක්ක කරේ ගහලා තියෙන්නෙ පිස්සියෙක්ද කොහෙද?”

නිලුෂිගේ නැන්දම්මා ඇගේ තනිව කතා කිරීම ගැන එසේ පවසමින් ඇයට මානසික රෝගයක් වැළඳී ඇති බවට ප්‍රචාරය කරන්නට පටන් ගන්නවා.ඒ පීඩනයත් සමඟ නිලුෂි තවත් අසහනයට පත්වෙනවා.නිතරම චාමරගේ ගුටිබැට වලට පවා ලක්වෙන ඇය එක් දිනයකදී තීරණයක් ගන්නවා.

“මට තවත් මෙහෙම ඉන්න බෑ.මම මගේ අම්මා ගාවට යනවා.”

එසේ සිතා නිලුෂි දරුවාත් රැගෙන ටික දවසකට හෝ තම දෙමව්පියන් එක්ක කාලය ගත කරන්නට නැවත තමන්ගේ මහ ගෙදර යන්නට තීරණය කරනවා.

“මට මේ විදියට තවත් ඉන්න බෑ අම්මා.” නිලුෂි ඈ විඳින පීඩා ගැන අම්මාට කෙටියෙන් පවසද්දී දියණියට මනෝ උපදේශනය අවශ්‍ය බව අම්මා තේරුම් ගන්නවා.ඉන්පසු අම්මාගේ මැදිහත්වීම නිසා ඉන්පසු ඇයට නිවැරදි උපදේශනයට අවස්ථාව ලැබෙනවා.ඇය මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවිය වෙත යොමු වෙන්නේ ඒ ආකාරයටයි.

“මිස් මට සතුටු වෙන්න කිසිම හේතුවක් නැහැ, මට මහත්තයා නිසා සතුටක් නැහැ, දරුවා නිසා සතුටක් නැහැ, මගෙ කියලා මුකුත් නැති මට හිනා වෙලා ඉන්න කිසිම හේතුවක් නැහැ”

ඒ ඇය මනෝ උපදේශකවරිය සමඟ පවසන ආරම්භක කතාවයි.

ඉන්පසු වසර ගණනක් පුරා ඇගේ ජිවීත කතාවම ඇය හැඬූ කඳුලින් පවසනවා.කිසිවෙකුගේ සවන්දීමක් නොලැබුණු ඇයට  මනෝ උපදේශිකාවගේ සවන් දීම මහත් පිටුවහලක් සැනසීමක් බවයි නිලුෂි පවසන්නේ.කිසිවෙකුටත් නොකියපු කාටවත් නොපෙන්වූ පීඩනයක් ඒ විදියට පිට කිරීම නිසා. ඇය සන්සුන් වෙනවා හැබැයි ඒ බොහොම අසීරුවෙන්.

නිලුෂිගේ ගැටලුව සම්බන්ධයෙන් මනෝ උපදේශිකාවගේ වෘත්තිමය මැදිහත් වීම මේ ආකාරයට සිදු වුණා.

මනෝ උපදේශිකාව පවසන අන්දමට නිලුෂි ඉන්නේ ක්ලමථයෙන්. විශාදයෙහි මුලික අවස්ථාවන් නිලුෂි පසු කරමින් බව මනෝ උපදේශිකාව නිගමනයකට ආවත්, ඒ බව ඇයට අඟවමින් ඇය තවත් අසීරුතාවයට පත් කරනවා වෙනුවට ඇයට ඇයගේ ශක්තීන් පෙන්වා දෙන්නට උපදේශිකාව උත්සාහ  කරනවා.

මනෝ උපදේශිකාව ඇයට වගේම මෙවැනි ගැටලු ඇති ඔබට පිළිතුරු දෙන්නේ මේ විදියට.

මේ ඉතා අසීරු කාල පරිච්ඡේදයක්.ඔබ හැම කෙනෙකුටම මෙවැනි ගැටළු ඕනෑම මොහොතක පැන නගින්න පුලුවන්.

අපි ජීවත් වෙන්නේ එක දිනයක් ද, අවුරුද්දක් ද අවුරුදු පනහක්ද අසුවක්ද අපි දන්නේ නෑ.හෙට මැරෙයිද කියලාවත් අපිට කියන්න බැහැ. ඒ බව නොදැන ජීවිතේ හුඟාක් අසීරු තීරණ අපි ගන්නවා. බාහිර පාර්ශවයන් සතුටු කරන්න අපි හරි අමාරුවෙන් විඳවනවා.

අධ්‍යාපනය , රැකියාව , ව්‍යාපාරය, විවාහය මේ  සියලුම දේවල් සාර්ථකත්වය කරා රැගෙන යන්න අපි කැමතියි. ඒ සඳහා අපිට අභ්‍යන්තර ප්‍රේරණයක් අවශ්‍යයි . Motivation එකක් අවශ්‍යයි. ඒකට හීන සහ බලාපොරොත්තු අත්‍යවශ්‍යයි. හීන නැති මිනිස්සු ජීවත් වෙන්නේ පූර්ණ හිස් මනසකින්.අපිට ජිවිතේ go එකක් තියෙන්නේ හීනත් එක්ක ගමනක් යනකොට විතරයි. 

ඔබගේ හීන, අභිප්‍රායන් ඔබගේ කායික මානසික සමාජයීය අධ්‍යාත්මික කියන “යහපැවැත්මට” හානියක් නොවනවා නම් තවකෙකුගේ යහපැවැත්ම ට ද හානියක් නොකරනවා නම් ඔබ කළ යුතු දෙයක් තියෙනවා.කවදාවත්ම ඔබේ හීන මරාගෙන අනිත් අය සතුටු කරන්න නැවත සැකසිය නොහැකි තීරණ ගන්න එපා.තමන්ට තමන් නැති වුණාම ජීවත් වෙන එක හිසරදයක්. 

අපට මුණ ගැහෙන පෙම්වතා හෝ ස්වාමිපුරුෂයා අපි හිතන පතන ආකාරයේම කෙනෙක් වීම අහම්බයක්.එහෙම නොවුණු තැනකදි ආදරය කරුණාවත්,සැලකීම සහ සොයා බැලීම යන විවිධ අපේක්ෂාවන් එක්ක හුදකලා වීම අපරාදයක්.

ඔබට නොසන්සුන් පුද්ගලයකු පූර්ණව වෙනස් කිරිම අපහසුයි. නමුත් ඔබට වෙනස් වීම පහසුවෙන් කළ හැකියි. මඟ හැරුණු ඔබව ඔබට සොයා දෙන්න. පිරිසිදුව පිලිවෙළට ඔබ ඔබව පවත්වා ගන්න.කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.තම හැකියා දක්ෂතා පිරික්සන්න.ඒ වෙනුවෙන් කළ හැකි දේ අවබෝධ කරගන්න.ඒවා සමඟ නැගිටින්න. අද දවසට ආදරේ කරන්න. සැහැල්ලුවෙන් අභියෝග ජය ගන්න මනසක් එවිට තමන් සතුවෙනවා කියලා විශ්වාසයට ගන්න.

මනෝ උපදේශිකාව නිලුෂිට මුලින්ම ඒ උපදෙස් ලබා දෙනවා.ඒවායින් ඇය නැවත නැගිටීම ආරම්භ කරනවා.ඉන්පසු

ඇය තීරණය කරනවා ඇගේ  ව්‍යාපාර නැවත අරඹන්න. ජීවිතයට හීනයක් එකතු කරගෙන නැවත ගමන් ගන්න. ඇය තේරුම් ගන්නවා තමාට තමා මඟ හැරුන නිසා අනෙකාගේ අයහපත් දේවල් විඳවීමට කාලය නිකරුණේ වැය වූ බව.නිලුෂි දරුවා රැගෙන නැවත ඇගේ ගෙදර ට එනවා. ඇගේ අවධානය ප්‍රයෝජනවත් දේකට යොදවන හැම අවස්ථාවකම සුලු සුලු වේදනාවල් අමනාපකම් වලට මුලිකත්වය දෙන්න අමතක වන බව මනෝ උපදේශිකාව කියු කාරණාව ඇය ක්‍රියාවෙන් අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්නවා.ඇය දරුවාත් සමඟ තමන්ට සමීප සහ දුරස්ථ සියලු සබඳතා යහපත්ව පවත්වා ගනිමින් තම හීන සොයා සතුටින් ගමන් කරන්නියක් බවට මේ වෙද්දී පත්ව තිබෙනවා.

මෙවැනි සිදුවීම් මේ කාලයේ ඕනෑතරම් තිබෙනවා.මේ කාල සීමාව අපි හැමෝටම අතිශය අමාරු කාල පරිච්ඡේදයක්.ඒ නිසා මෙවැනි ලිපි පෙළක් ඔබට ගෙන එන්නට අපි හිතුවා.අපේ SmartLady සමූහයට තමන්ගේ ගැටලු ඉදිරිපත් කරන කාන්තාවන්ට උදව්වක් වීමට තමයි අපි මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවිය සමඟ එක්වී මේ ගැන සාකච්ඡා කරන්නේ.ඒ මේ කාලයේ උපදේශනයට යොමු වීම ආර්ථික තත්ත්වය මත සමහරුන්‍ට එතරම් පහසු කාරණාවක් නොවන නිසා.

මේ කතාව ඇසුරෙන් මනෝ උපදේශිකාව ලිපිය කියවන ඔබට පොදුවේ දෙන අවවාදය තමයි මේ.

ජිවිතේ යම්තැනකදී තමන්ට තමන්ව මුණගැහෙනවා. එදාට අපි ජිවිතය මොනතරම් අසීරු වුණත්  අතහැර නොයන්නට වග බලා ගන්නවා.අපි අපිවම දරා ගන්නවා. මානසික ශක්තිය කියන්නේ අන්න ඒකට බව අමතක නොකර ඉන්න.ශක්තිමත් වී ඔබව සොයා ගන්න.

ඔබට වෘත්තිය උපදේශනයක් අවශ්‍ය නම් 071- 4757951 අංකයෙන් ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවිය සම්බන්ධ කරගෙන ගෙවීම් සහිතව ඇගේ සේවාව ලබා iගත හැකියි.

Related Articles

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content