අට මස් වියැති දරු ගැබ කුසේ දරන් සාමාන්‍ය පෙළ ලියූ පහලොස්වියැති දැරිවියක්

අපේ SmartLady සමූහයට යොමු කෙරෙන සමහර නිර්නාමික  ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දී තහවුරු වන ප්‍රධාන කාරණාවක් තිබෙනවා.ඒ තමයි නීතිමය කාරණා ගැන අප සතු දැනුම අල්ප වීම සමහර වෙලාවට අපිව ගැටලු රාශියකට මැදි කරන බව.එදිනෙදා ජීවිතයේ අපට මතු විය හැකි සමහර ගැටලු සහ ඒවායේ නීතිමය පසුබිම සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්නට අපි හිතුවේ ඒ නිසා.

නීතිඥවරියක වන හසිතනී ජයරත්න මහත්මියගේ වෘත්තීය අත්දැකීම් තුළින් අපි ඔබට සත්‍ය සිදුවීම් ඔස්සේ ඒවායේ නීතිමය පසුබිම සම්බන්ධයෙන් කතා කරන්නට හිතුවා.වෘත්තිය සදාචාරය වෙනුවෙන් සත්‍ය සිදුවීමේ සමහර තැන් නිර්මාණාත්මක වෙනස් කර ඇති බවත් පැවසිය යුතුමයි.

මේ නීතිඥවරිය පවසන කතාව.

මේ සිදුවීම වෙලා දැනට වසර තුනක් පමණ ගෙවී ගිහින්.මට අපේ නාගරික රෝහලේ වෛද්‍යවරියකගෙන් ඇමතුමක් එනවා.ඇය පවසන්නේ ඛේදාන්තයක් ගැන කතාවක්.

“මට මේ වතාවේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන  දියණියක් මුණ ගැසුණා.ඇය මේ මොහොත වෙන විට ගර්භනී තත්ත්වයේ තමයි පසු වෙන්නේ.ඒ දුවගේ අම්මට උවමනා කරලා තියෙනවා එයාව කොහොමහරි සාමාන්‍ය පෙළ විභාගයට වාඩි කරවන්න.ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද?”

බරපතළ මට්ටමේ කතාවක්.මට ඒ ගැන වැඩි දුරටත් සොයා බලන්නට සිතුණා.ඉතින් මම අපේ කතා නායිකාව වන ගීතිකාගේ මේ වනවිට තත්ත්වය සොයා බැලුවා.එහිදී මට දැනගන්නට ලැබුණු කාරණාව තමයි ගීතිකා තවමත් සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් අයදුම් පත්‍ර වත් අත්සන් කර නොමැති බව.මට ඒ වෙද්දි වෛද්‍යතුමිය ගීතිකාගේ නිවසේ ලිපිනය පවා ලබා දී තිබුණා.ඇය මුහුණ දී සිටින තත්ත්වය ගැන මට සැබෑවටම විශාල වේදනාවක් දැනුණා.ඉගෙනීම් කටයුතු කරමින් ජීවිතයේ සිහින හඹා යා යුතු වයසක සිටින ඇය ගැබ් අරගෙන.ඒ මදිවට ඇය තවම පසුවන්නේ ළාබාල වයසකයි.මේ හැම දෙයක්ම වෘත්තීයට එහා ගොස් ඇයට පිහිට වන්නට තරම් මාව සංවේදි කර තිබූ බව කිව්වොත් නිවැරදියි.

ගීතිකාගේ නිවසට ගිය පසු මාව තවදුරටත් සංවේදී වුණා.මේ දියණිය ජීවත් වෙන්නේ ඉතාම කුඩා නිවසක.ඒ නිවසේ හිඳින්නේ ඇය සහ අම්මා පමණයි.නමුත් ඒ අම්මාගේ හැසිරීම ඉතාම ඉහළ මට්ටමකින් පැවතුණා.ඇය මේ ප්‍රශ්නය දෙස බැලුවේ බොහොම පුළුල් මානසිකත්වකින් වීම මට මහත් සහනයක් වුණා.ගීතිකාගේ අම්මා වූ ලලිතා කිසිම මොහොතක දියණියට සාප කරමින් බැනවදිමින් හැසිරුණේ නෑ.ඇයට උවමනා වූ එකම දෙය දියණියගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවීම පමණයි.

“මට කොහොම හරි ඒකට උදව් කරන්න නෝනා.”

ඇය මගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියා.නීතිඥවරියක මෙන්ම අම්මා කෙනෙකු සහ ගැහැනියක ලෙස මේ මොහොතේ කළ යුතු හොඳම දේ සුදුසුම ආකාරයට කරන්නට මම තීරණය කළා.

මේ වෙද්දි ගීතිකාගේ උදරය නෙරා එමින් තිබුණා.ඇයට පාසල් අධ්‍යාපනය ලැබීම මේ වෙද්දී කළ නොහැකි බව අපි තේරුම් ගත්තා.විදේශ රටවල නම් එවැනි අවස්ථාවල පවා දැරියකට අධ්‍යාපනය ලැබීමේ අයිතිය හිමි වුණත් අපේ රටේ සමහර ආකල්ප පවතින්නේ සෑහෙන පසුගාමීවයි.එනිසාම තවදුරටත් ගීතිකාව පාසලට නොයවන්න ට අපි තීරණය කළා.වැඩිදුර සොයා බලද්දී ඇගේ පන්ති භාර ගුරුතුමිය මගේ ළඟම පාසල් මිතුරියක් වීමත් මට මහත් සහනයක් ගෙන ආ බව නොකියාම බෑ.ගීතිකා වෙනුවෙන් කළ හැකි දේ ගැන අපි ඉනික්බිතිව කතා කළා.

ගීතිකාගේ ගර්භනී තත්ත්වය රහසක්ව පවත්වා ගන්නට අපට අවශ්‍ය වුණා.ඒ නිසා පාසලේ කිසිවෙකු නොමැති වෙලාවක ඇයව පාසලට ගෙන්වාගෙන ඇගේ විභාග අයදුම්පත්‍රය අත්සන් කිරීමට අපි තීරණයකට ආවා.ඉන්පසු ගීතිකාගේ සත්‍ය තත්ත්වය හෙළි කර මානුෂික හේතුන් මත ඇගේ විභාග මධ්‍යස්ථානය මාරු කරන්නට උසාවි නියෝගයක් ගන්නට මම කටයුතු කළා.උසාවි නියෝගය මත විභාග මධ්‍යස්ථානය මාරු කරගන්නට මට හැකි වීමත් ගීතිකා ලැබූ විශාල ජයග්‍රහණයක්.මේ වෙද්දි ඇය අටමස් ගැබිනියක්.

ගීතිකාට ඇත්තටම සිදු වූ දේ ගැන අපි දැනගන්නේ ඉන්පසුව.

ගීතිකාගේ පියා ජීවතුන් අතර නෑ.ඇගේ අම්මා පාසල් ගුරුවරියක්.ගීතිකාට නැගණියක් ද හිඳිනවා.පාසල් කාලයෙන් පසු අමතර පන්ති කරන්නට නිවෙස් වෙත යාමට ලලිතා මහත්මිය පුරුදුව සිටියා.ඇය බොහෝ වෙලාවට ඒ ගමන යන්නේ ගීතිකාගේ නංගිව ද රැගෙනයි.එවැනි වෙලාවට ගීතිකා රහස් වැඩක් කරන්නට හුරුව සිටියා.ඒ ඇගේ පෙම්වතා නිවසට ගෙන්වා ගැනීමයි.තරුණ දරුවන්ට හැඟීම් ඇති වීම සාමාන්‍ය දෙයක්.නමුත් ඒවා අනන්තයට යාමෙන් බොහෝ කරදර ඇති වන්නට පුලුවන්.ගීතිකා ගර්භනී වන්නේ ද ඒ ආකාරයෙන්.ඇයව අකමැත්තෙන් දූෂණය වී නොතිබුණු අතර ඇගේ පෙම්වතා සමඟ ඇය ලිංගිකව එක්වීම මේ ගර්භනී වීමට හේතුව වුණා.නමුත් ඔහු හොඳ හැසිරීමක් ඇති තරුණයෙකු නෙවෙයි.රැකියාව ලෙස රස්තියාදු ගැසීම කළ මේ තරුණයා ගීතිකාව අත් හරින්නට කැමති වූයේ ද නැහැ.ඔහුට අවශ්‍ය වන්නේ ගීතිකා රැගෙන යන්නටයි.එය වළකාලන්නට ලලිතා ගන්නා උපක්‍රමය කුඩා බෝඩින් කාමරයක අලුත් ජීවිතයක් ඇරඹීමයි. ඒ අතරේ ගීතිකාගේ කුසේ සිටින දරුවාට යම් රෝගී තත්ත්වයක් ඇති බව දැන ගැනීම නිසා පෙම්වතා ඇය අත් හරින්නට ස්ව කැමැත්තෙන්ම තීරණය කරනවා.ගීතිකාගේ අම්මාටත් දියණිය මේ තරුණයාට දෙන්නට කිසිම උවමනාවක් තිබුනේ නෑ.එය ඇයට කරන අනර්ථයක් බව අම්මා දැන සිටියා.

ගීතිකාව කිසිම ප්‍රසව හා නාරීවේදී වෛද්‍යවරයෙක් බාර ගන්නේ නැහැ.ඇය නියමිත කාලයේ ප්‍රතිකාර නොලැබීම එයට හේතුවයි.ඒ නිසාම ඇයට කළ යුතු ප්‍රතිකාර සියල්ල ලබා දෙන්නට අපිට උදව් වන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාව.සායනවලට සහභාගි නොවූ ගීතිකා සායනවලට රැගෙන ගොස් අවශ්‍ය විටමින් වර්ග ලබා දෙන්නේ ඒ කාරුණික පවුල් සෞඛ්‍ය සේවිකාවයි.ඉන්පසු අපිට වෛද්‍යවරයෙක් හට ගීතිකා යොමු කරන්නට ද අවස්ථාව සැලසෙනවා.ඔහුගේ නිවැරදි ප්‍රතිකාර මත ගීතිකාගේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙනවා.

දරුවන් නොමැති එහෙත් බොහෝ ධනවත් මගේ මිතුරියක්ව මට සිහියට නැගෙන්නේ ගීතිකා දරු ප්‍රසූතියෙන් පසු කුමක් කරන්නේද යන්න සිතද්දී.මගේ මිතුරිය වූ ෂෙරීන් ඇගේ යම් රෝගී තත්ත්වයක් නිසා දරුවන්  බිහි කිරීමට අපොහොසත් කෙනෙක්.ගීතිකාගේ දරුවා කුලවද්දා ගැනීමට ෂෙරීන් අකමැති වන්නේ නැහැ.ශෙරීන්ගේ සහ ගීතිකාගේ පෙනුම අතර ඇති දැඩි සමානතා ද ඒ තීරණය ගන්නට ෂෙරීන්ට හොඳ හේතුවක් වනවා.දරුවා ලැබෙන්නට ආසන්නයේදී ගීතිකාව මගේ නිවසේ නවත්වා ගන්නට මම කටයුතු කළා.ඇයට වෛද්‍ය පරීක්ෂණ සඳහා,වෛද්‍ය හමුවීම් සඳහා සියලුම වියදම් දැරුවේ ෂෙරීන් සහ ඇගේ සැමියා විසින්.තමන්ගේ පවුල සම්පූර්ණ වීම නිමිති කරගෙන ෂෙරීන් කිරිමව්වරු සියයකට කිරි දානයක් දෙන්නට පවා කටයුතු කළා.ඒ දානය ලබා දුන් දිනයේ පාන්දර ගීතිකාට ප්‍රසව වේදනා ඇති වුණා.ඒ වෙද්දී ගීතිකාගේ අම්මා ද ඈත පළාතකට මාරුවීම් ලබාගෙන තිබුණා.ඒ නිසා ඇයට ද දියණිය වෙත එන්නට මඳ වෙලාවක් ගත වී තිබුණා.දැඩි ප්‍රසව වේදනා දරාගෙන ඒවා අපිට දැනෙන්නට පවා නොදී සිටි ගීතිකා දරුවා බිහි කර තිබුණා.

ගැටලුව ඇරඹුණේ ඉන්පසුවයි.ගීතිකාගේ දරුවාගේ හෘදය වස්තුව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වී තිබුණා.ඇය සෑහෙන කාලයක් තිස්සේ ගර්භනී බව වසන් කරගෙන සිටීම නිසා නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීමත් ස්කෑන් පරීක්ෂණ ආදිය නිවැරදිව කරගන්නට නොහැකි වීමත් ඒවාට හේතු වන්නට ඇති.ඊළඟ ගැටලුව වුණේ දරුවා ලැබුණු පසු ඒ දරුවා ශෙරීන්ට දෙන්නට ගීතිකාට හිතක් නැති වීමයි.නමුත් ෂෙරින් ඒ ගැන වෛරයක් ඇති කරගත්තේ නැහැ.මේ තමන්ගේ ඉරණම විය හැකි බව කියමින් ඇයි ගීතිකාට ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදුන්නා.ගර්භනී කාලයේදී ඇයට කැමති කැමති දේ රැගෙන දෙන්නට පවා ෂෙරීන් බොහෝ මුදලක් වැය කළා.නමුත් ෂෙරීන් ඒවා ගැන සිතුවේ නෑ.මේ අතර රැකියාවක් හෝ නිවසක් නොමැති ගීතිකාගේ පෙම්වතා මා පසු පස ලුහු බඳින්නට පටන් ගෙන තිබුණා.ඒ කාරණා නිසා නැවතත් දරුවාව ෂෙරීන්ට පවරන්නට ගීතිකා එකඟ වුණා.මම ඒ තරුණයා මඟ හරින්නට බොහෝ උපාය මාර්ග පවා අනුගමනය කළා.ඒ වෙද්දී ෂෙරීන් ගීතිකා සහ ලලිතා සමඟ දරුවා රැගෙන රෝහලෙන් නික්මී පැමිණ තිබුණා.ගීතිකා සෑහෙන වෙලාවක් හැඬීමෙන් පසු දරුවා ෂෙරීන්ට පවරා ලලිතා සමඟ දුර පළාතකට නික්ම ගියා.

මේ අතර කුඩා දරුවාට දිගින් දිගටම හදවත් රෝගය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා දුන්නා.ෂෙරීන් ඒවා විඳ දරා ගත්තේ ඉතාම ඉවසීමෙන් සහ ආදරයකින්.

“බබාගේ හාට් එකේ මරියානා ආගාධයක් තිබ්බද්දෙන්.මං ඒකත් වහනවා.”

කිරි සුවඳක උරුමය නොමැතිව වසර ගණනාවක් පීඩාවෙන් ගත කළ ගැහැනියක් එතරම්ම ශක්තිමත් වීම මගේ වෘත්තීය ජීවිතයේ මා ලැබූ ඉතා සංවේදී අත්දැකීමක් බව නොකියාම බැහැ.ඇය ඒ වෙද්දි හදවතින් මේ දරුවා වැදූ ආදරණීය අම්මා බවට පත්ව සිටියා.පෞද්ගලික රෝහලකදී විශාල මුදලක් වැය කර ඔවුන් දරුවාට හදවත් සැත්කමක් සිදු කළා.ෂෙරීන්ගේ මව්වත්කමේ නාමයෙන් ඒ සැත්කමෙන් දරුවා විශාල වශයෙන් සුවය ලැබුවා.ඒ වෙද්දි කුලවද්දා ගැනීමේ නඩුවත් අවසන් වී නැහැ. මේ අතර ගීතිකා ඒ සාමාර්ථ නවයක් ලබාගෙන සාමාන්‍ය පෙළ සමත්ව තිබුණා.

කුල වද්දා ගැනීමේ නඩුව

කුල වද්දා ගැනීම නීත්‍යානුකූල කළ යුතු කාර්යයක්.ෆේස්බුක් කාන්තා සමූහවල දරුවන් වෙනත් අයට ලබා දෙන්නට කැමැත්තෙන් කාන්තාවන් නිරන්තරයෙන් පෝස්ට් පළ කරත් ලේ හිතන තරමට ලෙහෙසි පහසු නැහැ.කුලවැද්දුම් නඩුවේ “සහය මිත්‍රයා” ලෙස නම් කළේ ලලිතාවයි.ඒ ගීතිකාගේ වයස සම්පූර්ණ වී නැති නිසා.ඔවුන් පදිංචි වී සිටි නිවසේ ලිපිනය දමා අපි කුලවද්දා ගැනීමේ නඩුව උසාවියට ඉදිරිපත් කළා.

ඒ වෙද්දී පැතිර යමින් තිබූ වසංගතය නිසා උසාවි කටයුතු බොහෝ කල් ගත වුණා.කෙසේ හෝ අන්තිම නඩු වාරය පැමිණි අතර එදින උසාවියට බිලිඳාවද ඉදිරිපත් කිරීමට සිදු වුණා.ගීතිකාගේ තත්ත්වය තේරුම් ගැනීම නිසා ඇගෙන් දරුවා ලබාගෙන ෂෙරීන්ට නීත්‍යානුකූල ලෙස දරුවා කුලවැද්දීම ට ගරු අධිකරණය එකඟ වුණා.

වර්තමාන තත්ත්වය 

ගීතිකාගේ අතීතය ඇය වර්තමානයේ ජීවත්වන පළාතේ කිසිවකුත් දන්නේ නැහැ.ඇය දැන් උසස් පෙළ හදාරන සිසුවියක්.ඇගේ අතීතය සම්පූර්ණ රහසක්.නමුත් ඇගේ වත්මන් පාසලේ විදුහල්පතිනිය සහ පන්තිභාර ගුරුතුමිය සැබෑ තත්ත්වය දන්නා අතර ඉතා මානුෂීයව දරුවාට සලකනු ලබනවා.ගීතිකාගේ අනාගතය දැන් සුරක්ෂිතයි.ඇගේ සියලුම අධ්‍යාපනික වියදම් දරන්නෙත් ෂෙරීන් විසින්.ඒ අතර ගීතිකාට සහ ඇගේ අම්මාට නිවැරදි ලෙස මනෝ උපදේශනය ලබාදෙන්නටත් අපි අමතක කළේ නැහැ.

අකාලයේ ගැබ් ගැනීම නිසා විනාශවී යන්නට ඉඩ තිබූ තරුණ ජීවිතයක් නැවත පිපෙන්නට ඉඩ හැරීම ගැන මට දැනෙන්නේ විශාල සතුටක්.ෂෙරීන්ගේ ආදරණීය පවුලද දැන් ජීවත් වන්නේ මහත් සතුටකින්.නීතියට සහ මානුෂියත්වයට එක්ව ඕනෑතරම් දේවල් කළ හැකි බව මේ කතාවෙන් ඔබට වැටහෙන්නට ඇති කියලා මම හිතනවා.

කිසියම් හේතුවක් මත ඔබේ කුසට ආ බිලිඳා දරා ගන්නට ඔබට අපහසු නම් නිවැරදි නීතිමය රාමුව යටතේ දරුවා කුල වැද්ද වීමට කටයුතු කරන්න.ඔබේ සිරුර දරුවෙකු දරා ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම් ඔබට හදවතින් දරුවෙකු වදන්නට බාධාවක් නැහැ.ගීතිකා මෙන් පරවී යන්නට නියමිත යුවතියකට ඔබේ දෑත දිගු කරන්න.කුලවද්දා ගැනීමේ නඩුවක් යනු බොහෝ කාලයක් වැයවන අතිශය හිරිහැරදායක නඩුවක් නොවේ.ඒ නිසා සංවේදී වී තීරණ නොගෙන සෑම විටම රටේ නීතියට අනුව කටයුතු කරන්න

Related Articles

Don't Miss


Latest Articles