අක්කාගේ සැමියා සමඟ පෙමින් බැදුණු නංගි

විවාහ ජීවිතය කියන්නේ බොහොම සුන්දරව සහ අවබෝධය ගොනු කරගෙන යා යුතු ජීවන ගමනක්.අපි එකිනෙකාට උපකාර කරන තරමට අනෙකා සමඟ රැඳෙන තරමට අපේ සහකරු අප වෙත බැඳෙනවා.ඇත්තටම විවාහ ජීවිතය කණ්නාඩියක් වගේ.ඔබ කැඩපත ගැන ජනප්‍රිය කතාවක් අහලා ඇති.” මම කැඩපතට රැව්වොත් කැඩපත මට රවනවා.මම කැඩපතට හිනා වුණොත් කැඩපත මට හිනා වෙනවා.” විවාහයත් ඒ වගේ.ඔබ සහකරුට සලකන සහ ඔහු වෙනුවෙන් කැප වෙන තරමට ඔබට ආදරය සහ විශ්වාසය පෙරලා ලැබෙනවා.

නදීෂා දිගුකාලීන ආදර සම්බන්ධයකට පසු කෝලිත සමඟ විවාහ වෙනවා.කෝලිත රජයේ රැකියාවක් කරන කෙනෙක්.නදීෂා ඇගේ ස්වයං රැකියාවක් පවත්වාගෙන යනවා.කිසිම ගැටලුවක් නැතිව ඔවුන්ගේ ජීවිතය ගලාගෙන යන අතරේ තමයි නදීෂාට පුංචි දියණියක් ලැබෙනවා.ගර්භනී කාලයේදී ඇයට එතරම් අපහසුතා නැහැ.ඒ නිසා ඇය තනිව තමන්ගේ වැඩ කරගන්නවා.නමුත් කුළුදුල් දරු ප්‍රසූතිය සම්බන්ධයෙන් ඕනෑම කාන්තාවකට වගේ ඇය හිඳින්නේත් දෙගිඩියාවෙන්.

“අම්මේ,මට උදව්වට එන්න පුලුවන්ද?”

නදීෂා එහෙම ඇහුවට ඇගේ අම්මාට තාත්තාත් පාසල් යන මල්ලිත් දාලා එන්න බැහැ.දරුවා ලැබුණු මුල්ම කාලයේ දරුවාගේ වැඩ කරන හැටි කියාදෙන්නට කෝලිතගේ අම්මා ඇවිල්ලා නදීෂාට උදව් වෙනවා.ඒත් ඇයට වැඩි කාලයක් ඒ උදව්ව කරන්න බැරි කෝලිතගේ නංගිටත් දරු ප්‍රසූතිය ළං ළංව ආව නිසායි.

“මට නංගිගෙ ලොකු පුතා බලාගන්නවත් වෙනවනෙ.දැන් නදීෂාට පොඩ්ඩිගෙ වැඩ පුලුවන්.බයක් වෙන්න දෙයක් නෑ..”

කෝලිතගේ අම්මා සහතික වෙනවා.ඒත් නදීෂාගේ අම්මා ඉන්නේ දුකින්.දියණිය තනියම වැඩ කරගැනීම ගැන ඇය වේදනාවට පත් වෙනවා.ඇය ඒ නිසාම උසස් පෙළ ලියලා ගෙදර හිටපු බාල දියණිය අක්කා වෙත එවනවා.මදූකා අක්කාට උදව් කරන්න එන්නේ කැමැත්තෙන්.ඇය අක්කාට බබා බලා ගන්න ඉඩ හැරලා ගෙදර හැමදෙයක්ම කරන්න පටන් ගන්නවා.හැඩිවෙලා තිබුණු ගේ පිළිවෙල වෙනවා.කඩෙන් කන්න වෙන්නේ නැහැ.මදූකා රසට උයනවා.වෙලාව තියෙන හැටියට බබාව බලා ගන්නවා.මිදුල අතුගාන එක,මල් හිටවන එක පවා මදූකා කරන්නේ කැමැත්තෙන්.

“නංගී..අනේ සුදූ ,අයියට තේ එකක් හදන්න..”

කෝලිත රැකියාව නිම වෙලා ගෙදර ආවම නදීෂා ඒ වැඩෙත් මදූකාට පවරනවා. ඊටපස්සේ කෝලිත ගෙට ගොඩ වෙන්නෙම “මදූ තේ එකක් බොමු නංගී..” කියාගෙන.

“නංගි, ඔයාට අයියගෙ ඇඳුම් අයන් කරන්න පුලුවන්ද?”

නදීෂා එහෙම අහන්නේ එක දවසයි.ඊටපස්සේ හැමදාම රෙදි මදින වැඩේ මදූකාට පැවරෙනවා.කෝලිතට උදේ බත් එක බැඳලා දෙන එක, හවස ගෙදර ආවම තේ හදන එක,බත් බෙදන එක වගේ දේවල් මදූකා අතින්ම ඉෂ්ට වෙන්න පටන් ගන්නවා.

“හොඳටම හිසරදේ නදී.මේ බාම් එක ගාලා පොඩ්ඩක් මසාජ් කරනවද? බබා අතේ නම් මම නංගිට කියන්නම්..”

රතු කොඩියක සලකුණ නොතේරෙන නදීෂා සැමියාට සාත්තු කරන්නත් නංගිට පවරනවා.ඊටපස්සේ කෝලිතට ලෙඩක් දුකක් හැදුණම බාම් ගාන්නෙත් මදූකා.
රස්සාව අහවර වෙලා ගෙදර එනකොට අරන් එන කේක් එකක්,චොකලට් එකක් මදූකාගේ අතින්ම තියන්න කෝලිත පුරුදු වෙනවා.මදූකාත් ඒවා ගන්නේ හරිම සතුටින්.”වැඩියෙන් මහන්සි වෙන්නේ නංගිනෙ..” නදීෂාට කිසිම සැකයක් ඇති වෙන්නේ නෑ.මදූෂා ඉඳහිට මහ ගෙදර ගියාම “මදූ නැතුව හරි පාළුයි” කියලා කෝලිත කියද්දී නදීෂාත් ඒකට එකඟ වෙනවා.

මේ සමීප කිරීම වෙන්නේ තමන් අතින්ම බව නදීෂාට තේරුමක් නැහැ.ඇයට ඊටවඩා නංගී කරන සේවාව ඉස්තරම්.දියණිය බලා ගන්න නංගිට පවරල කෝලිතගේ වැඩ ඇයට කරන්න පුලුවන් වුණත් දැන් නදීෂා කම්මැලි වෙලා ඉවරයි.උදේ නැගිටලා මදූකාත් කෝලිතත් මුළුතැන්ගෙයි උයන ගමන් හයියෙන් හිනා වෙනකොටත් නදීෂා දූ තුරුළු කරගෙන නිදා ගන්නවා.නංගිට බබාව පවරලා ගිහින් උයන්න ඇය හිතන්නෙම නෑ. දුවට කිරි දෙන්න,නිදි කරවන්න ගියාම කෝලිත එක්ක කතා කරන්නවත් නදීෂාට වෙලාවක් නැහැ.ඇය ඒවාට උනන්දු වෙන්නෙත් නෑ.ලිංගික ජීවිතය පවා සම්පූර්ණයෙන් ඇන හිටිනවා.දුවට කෝලිත කොට් එකක් රැගෙන ආවත් නදීෂා දියණිය තුරුළු කරගෙන නිදා ගන්න පටන් ගන්නවා.දුවගේ ඇඟේ අතපය වදී කියලා බය බව කියමින් වෙනත් කාමරයක නිදා ගන්න කෝලිත පුරුදු වෙනවා.

“අයියගෙ දේවල් ඉතිං මමනෙ දන්නේ”කියලා මදූකා ඉඳහිටක කියද්දී සැකයක සේයාවක් නදීෂාට දැනෙන්න ගන්නවා.නංගි ලස්සනට කොටට ඇඳලා සුවඳ හමමින් ඉන්න බවත් තමන් මොකක් හෝ බාච්චු ගවුමක් ඇඳගෙන ඔලුවවත් හරියට පීරන්නේ නැතුව ඉන්න බවත් නදීෂාට තේරුම් යන්න පටන් ගනිද්දී ඇත්තටම ප්‍රමාද වැඩියි.නංගී සම්බන්ධයෙන් කෝලිතගේ ආකර්ෂණය ගැන විමසිලිමත් වෙන්න ඇය ක්‍රියා කරනවා.ඒත් නංගිගේ ඇඳ මත ඇය සමඟ ආදරයෙන් වෙළිලා ඉන්න කෝලිත දකින්න තරම් නදීෂා අවාසනාවන්ත වෙනවා.

“මට ඩිවෝස් වෙන්න බෑ.මගෙ දරුවට තාත්තෙක් ඕන..අරකි මගෙ කෝලිත අල්ලගත්තට මට කෝලිතත් ඕන.”

දරුණු රණ්ඩු කීපයකට පස්සේ නදීෂා එහෙම කියමින් ඇගේ මිතුරිය වූ මේනකා සමඟ හඬා වැටෙනවා.දික්කසාදයකට යොමු වීමට පෙර පවුල් උපදේශනයට යොමු වීම හොඳ නිසා නදීෂාව උපදේශනයට යොමු කරන්න මිහිරි ක්‍රියා කරනවා.

මෙය ඉතා පොදු ප්‍රශ්නයක්.සේවිකාවන්, නැගණියන් මෙවැනි තුන්වැනි පාර්ශවයක් වෙන අවස්ථා ඕනෑතරම් බව රත්නා මහත්මිය පවසනවා.මෙහිදී තිදෙනාම උපදේශනයට යොමු වීම වැදගත්.තිදෙනාම අත වරදක් ඇති බවත් හඳුනා ගත යුතුමයි.

මේ ගැටළුවේ දී මදූකා තමන්ගේ අක්කාගෙන් සමාව ගත්තා.ඇයට කෝලිතව උවමනා නැතිබව පැවසුවා.මේ හදිසියේ ඇති වූ හැඟීම් පාලනය කරගන්නට නොහැකි වීමක්.ඒ නිසා ඇය නදීෂා බදාගෙන හඬා වැලපුණා.

ඔබ දරුවෙකු ලැබී හෝ අධික කාර්යබහුල වෙලාවක පසු වන්නට පුලුවන්.ඒත් සැමියාගේ කටයුතු නැගණියට හෝ සේවිකාවකට පවරන්නට එපා.දරුවා ලැබුණු පසු ඔබ දරුවාටම ඇලී හිඳින්නට යාම නිසා ගැටළු රාශියක් ඇති වෙනවා. මානසිකවත් ශාරීරිකවත් ඔබ සැමියාගෙන් දුරස් වීම ඔහුට වැරදි කරන්නට උල්පන්දම් දීමක්.ඔහුට තවත් කාන්තාවක් වරදට පොළඹවා ගන්න ඉනිමං තැනීමක්.

සැමියා මොනතරම් බිරිඳට ආදරේ කරත් ශාරිරික උවමනාවන් ඉටු නොවෙද්දී බිරිඳ මානසිකව ළං නොවෙද්දී වෙන අතකට යොමු වෙන පුලුවන්.

මෙවැනි ගැටලුවකට පසු නැවත එක් වෙනවා නම් එය බොහොම අවබෝධයක් ඇතිව සිදුවිය යුත්තක්. විශ්වාස කැඩීයාම කියන්නෙ සමහර පුද්ගල සබඳතා වලට ඉතාම අහිතකර ලෙස බලපාන සිදුවීමක්. ඔබ දෙදෙනා නැවත් එක් වෙනවා නම් සියල්ල අමතක කර සමාව දී එකතු වෙන්න ඕනෑ. නැතිව ඒ සිදුවීම් හෝ රිදවීම් නැවත නැවත සිහිකරමින් චෝදනා කරමින් ගෙවන ජීවිතේ දෙදෙනාටම මානසික පීඩාවක්. ඉතින් නැවත එක් වීමකට ඔබ දෙදෙනාම මානසිකව සුදුසු නම් පමණයි ඒ තීරණය ඔබ ගතයුත්තේ .

මේ සිදුවීමට අනුව ඔවුන් තිදෙනාම එකම පවුලක නිසා ඔවුන් ඒ ගැටලුව සමතයකට පත් කර ගත්තා. විසදා ගත හැකි පවුල් ගැටලු වලදී කෝපයත් පිලිකුලත් හිතේ තබාගෙන ජීවත් වෙන්න එපා.කාලය සමඟ මානසික පීඩනය සහ වේදනාත්මක හැඟීම් අපෙන් දුරස් වෙනවා.අප නැවත නැවත ඒවා සිහි කරමින් කෝප වුනොත්, දුක් වුණොත් තමයි ඒවා අපිව රිදවන්නේ. අපි සියලු දෙනාම මිනිසුන් බව තේරුම් ගැනීම සහ එකිනෙකාට සංවේදී වීම තුළින් තමයි මෙවැනි ගැටලුවක් විසඳා ගන්න පුලුවන්. මෙවැනි ගැටලු වලදී අනිවාර්යයෙන් උපදේශනයට යොමු වීම වැදගත් වන්නෙ ඒ තුවාල අමතක කර ජීවිතේ නැවත අලුතින් පටන් ගන්නට ඔබට සහයක් අවශ්‍යම නිසයි.

(මෙම සිදුවීම ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ උපදේශන වෘත්තිය ජීවිතය තුළ ලැබුණු සිදුවීම් ඇසුරින් නිර්මාණය කළ තනි කතාවකි.මේ සිදුවීමට සම්බන්ධ සේවාලාභීන් ගේ අනන්‍යතාව හෙලි නොවන අයුරින් යම් යම් නිර්මාණාත්මක වෙනස්කම් කර ඇත.)

Related Articles

Don't Miss


Latest Articles