සදා නොමැකෙන ආදරයක් හිමි වුවත් ඛේදනීය මරණයක් අත් වූ රොඩී කෙල්ල

‘සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ. එක් වූ කිසිවෙකුත් පෙම්වතුන් වී ජීවත් නොවේ වෙන් වී ගියමුත් සදාකල් පෙම්වතුන් ලෙසම ජීවත් වෙයි “

ඔබ ගල්කිස්ස මහ හෝටලයට යන දවසක මේ කතාව ආයෙම කියව්ලා යන්න. එක් නොවුණු ප්‍රේමවන්තයන් දෙදෙනෙකුගේ වේදනාව ඔබට ගල්කිස්ස මහ හෝටලයේ බිත්ති වලින් එළි බහින සුසුම් වගේ දැනේවි.

තෝමස් මේට්ලන්ඩ් ආන්ඩුකාරවරයා

1805 දී ලංකාවේ දෙවෙනි ආන්ඩුකාරවරයා විදියට පත් වෙලා එන්නේ තෝමස් මේට්ලන්ඩ්.  ආණ්ඩුකාරවරයා ලංකාවට ආවම ඔහුව පිළිගන්න ඉතා විශාල සාදයක් සූදානම් කරන්න ලංකාවේ එවකට උන්න අනු පාලකයෝ කටයුතු කරලා තියෙනවා. දේශීය සංස්කෘ තිකාංග, නැටුම්, ගැයුම්, වැයුම් වලින් අලංකාර වුන මේ සාදය සතියක් තිස්සේ පැවැත්වුණා කියලා තමා ඉතිහාස කතන්දර වල කියැවෙන්නේ. ඒ සාදයේදි එක් නර්තනාංගයක් වෙනුවෙන් ලංකාවේ උන්න රොඩී කුලයේ තරුණියන් කිහිප දෙනෙකුටත් ඉඩ ලැබිලා තියෙනවා. මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ හිත හෙල්ලිලා යන කාන්තා රුව මතුවෙන්නේ ඒ රොඩී නර්තන කණ්ඩායමෙන්.

සුරූපී රොඩී කෙල්ල- ලොවීනා

සිංහල රොඞී හා පෘතුගීසි මිශ්‍රණයකින් පැවතගෙන ආපු   සිංහල ස්ත්‍රීන්ගේ වගේ  තලෙළු හා දීප්තිමත් සමක් සහ තද කළු කෙස් කළඹ හා දුඹුරුවන් නෙත් සඟලක් තිබුණ ලොවීනා ළඟ හතලිස් හය හැවිදිරි අවිවාහක ආණ්ඩුකාරවරයාගේ හිත නවතිනවා. වයස අවුරුදු දහසයක නව යොවුන් ලොවීනාගේ දෑස් කැල්මෙන් මිදෙන්න මේ මැදි වියේ පිරිමියාට කොහෙත්තම ඉඩක් ලැබෙන්නේ නැහැ. . සාදය අවසාන වෙනකොට මේට්ලන්ඩ් ලොවීනා ගැන සියලුම තොරතුරු හොයාගන්නවා. ඇය රොඩී කුලයේ ස්ත්‍රියක් බව දැනගත්තත් ඔහුගේ ප්‍රේම වෙනසක් වෙන්නේ නැහැ.

රහසේම ඉදිවෙන උමං මඟ – ප්‍රේමයේ උමඟ

ඉන් පස්සේ තෝමස් මෙට්ලන්ඞ් තම නිල නිවස ඉදිකිරීමට තෝරා ගන්නේ  ලොවීනා ජීවත් වුන  රොඞී ගම්මානය අසල මීටර් 100 ක පමණ උසට පිහිටලා තිබුන මුහුදෙන් වටවූ ගල්කිස්ස ප‍්‍රදේශය. තමා සහ ලොවීනා අතර වන ප්‍රේමයට කිසිවෙකු සතුට පල නොකරන බව මුල ඉඳන්ම දැනගත්ත මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා තමන්ගේ නිල නිවාසය ඉදිකරනකොට ඒකට  රහසිගත සැලැස්මකුත් එකතු කරන්න අමතක කරන්නේ නැහැ. ඔහු ඒ  නිල නිවසේ වයින් ගබඩාවේ සිට ලොවීනා සිටින රොඞී ගුබ්බෑයමේ ළිඳ අසලට රහස් උමං මාර්ගයක් හදවනවා. ඒ කාලයේ හැටියට ඒක කෙතරම් අභියෝගාත්මක වුනත් මේට්ලන්ඩ් තමාට හිතවත්ම සේවකයන් යොදවාගෙන මේ වැඩේ අවසාන කරගන්නේ ඉතාම ඉක්මනින්.

එකිනෙකා වෙනුවෙන් ඉපැදුණ ලැවීනියා  සහ මේට්ලන්ඩ්

මැදුර ඉදි වන කාලයේදී මේට්ලන්ඩ් නවාතැන් ගෙන සිටින්නේ කොළඹ නගරයේම තැනක. ඔහු සාද පවත්වන්න හැම දවසකම හවස් වරු වෙන් කරනවා, විවිධාකාර හේතු සකසාගෙන ලොවීනා මුණ ගැහෙන මේට්ලන්ඩ් ඇයට පිළිගන්නට හැකි තරමට ආදරය පෙන්වනවා. අවසානයේදී ලොවීනා මේ නනාඳුනන සුදු ජාතික පිරිමියාගේ ලඟට වෙලා පෙම් බස් කියවන උමතු කිරිල්ලියක් වෙනවා.

සුදු ජාතික මේට්ලන්ඩ්ට ලොවීනාගේ සිංහල නම උච්චාරනය කරන එක අපහසු වෙනවා. ඔහු ඒ වෙනුවට පහසු නමක් ඇය වෙනුවෙන් භාවිතා කරන්වා. ඒ තමයි ලැවීනියා.

මේ අතර වාරයේදී ඉතා ඉක්මනින්, අනෙක් කාටත් හොරෙන්  මේ දෙදෙනාගේ ආදර කතාව දළු ලාමින්  වැඩෙනවා. ලොවීනාගේ පියා විසින් පවත්වාගෙන ගියපු බාල් නැටුම් කණ්ඩායමට මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ සාද වලට පැමිණීම ඇරෙන්නට අන් රාජකාරියක් කරන්න කාලයක් ඉතිරි වෙන්නේ නැහැ. ඔහු හැම හවසකම ඔවුන් තමා නවාතැන්ගෙන උන් තැනට ගෙන්වනවා.

ඒ පැමිණෙන හැම වතාවකම ලොවීනාව තනි කරගෙන ඇයගේ කොපුලට  කලබල හාදුවක් දෙන්නත්, ඇගේ ලැම සිපගන්නත් මේට්ලන්ඩ් අමතක කරන්නේ නැහ. ලොවීනා පවා ඉන්නේ මේ ප්‍රේමයෙන් මත් වෙලා. ඔවුන් දෙදෙනාගේ ප්‍රේම කතාවේ මුල් කාලය ලෝකයෙන් වහන් වෙලා සුන්දර විදියට ගෙවිලා යනවා.

බාධක නැති කාලයක ඉහවහා ගිය ප්‍රේමයක්

ඒ අතර වාරයේ ඉතා ඉක්මණින් මේට්ලන්ඩ්ගේ නිල නිවසේ සියලු කටයුතු අවසන් වෙනවා. මේට්ලන්ඩ් නිල නිවසේ පදිංචියට යන්නේ ඉතාම ප්‍රීතියෙන්.  දෙදෙනාට නිතරම රහසින් හමු වීමට අවස්ථාව උදා වෙනවා. ඒ විදියට ගෙවෙන්නේ ඔවුන්ගේ ප්‍රේම කතාවේ ඊළඟ  ඉතා ශෘංගාරාත්මක කාලය.

ඒ විතරක් නෙවෙයි තමන්ගේ ප්‍රේමවන්තිය වෙනුවෙන් මේට්ලන්ඩ් තවත් අපූරු දෙයක් කරනවා. ඒ තමයි නිල නිවසේ  ලිපිනය සඳහන් ලිහිණියා කන්ද වෙනුවට තමන්ට හුරු කටවහරේ විදියට ලැවීනියා කන්ද කියලා පාවිච්චි කරන එක. ඉංග්‍රීසියෙන් කියෙව්වාම  ‘Mount Lavinia’ කියලා කියැවෙන්නේ තමන්ගේ ප්‍රේමවන්තිය වෙනුවෙන් ප්‍රේමවන්තයෙක් වෙනස් කල ගමක නම.

පෙම්වතිය වෙනුවෙන් වර්ගයාටම වෙනසක්

සුරූපී ලොවීනාට තෝමස් මේට්ලන්ඩ් කෙතරම් ප්‍රේම කරාද කියලා පැහැදිලි වෙන්නේ ඇය වෙනුවෙන් ඔහු ඇගේ වර්ගයාගේ සුව පහසුව උදෙසා යම් යම් තීරන ගන්න නිසා. ඒ කාලේ රොඩී ස්ත්‍රීන්ට උඩුකය වැසෙන ඇඳුම් අඳින්න අවසර තිබුනේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ නිවාසවල  දොර ජනෙල් පල දෙකකට පිඳුරු සෙවිලි කරන්න අවසර තිබුනෙත් නැහැ. ඒත් ලොවීනා වෙනුවෙන් මේට්ලන්ඩ් ඒ අයිතිවාසිකම් රොඩී රැහැට ලබා දෙන්නත් කටයුතු කරනවා. දෙදෙනා ලැබෙන හැම ඉඩක්ම එකිනෙකා අනෙකා කෙරෙහි දරන ප්‍රේමය පෙන්වන්න පාවිච්චි කරමින් කාලය ගෙවනවා.

ගිණි ඇවිලෙන සමය

ඒ අතරවාරයේදී මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ මේ අසම්මත ප්‍රේම කතන්දරය ගැන ලංකාවේ උන්න ඔහුගේ පහල නිළධාරීන් දැනගන්නවා. ඔහු කෙතරම් උත්සාහ කලත් ඔහුට ඒ කට කතා නවත්තන්න හැකි වෙන්නේ නැහැ. ඉන් වැඩි කාලයක් යන්න කලින් බ්‍රිතාන්‍යයේ ඔහු වගකියන නායකයන් මේ ගැන දැණුවත් වෙනවා. උඩරට අල්ලාගෙන තම දේශ සීමා තහවුරු කරවාගන්න යැවූ නිළධාරියාගේ ඒ හැසිරීම් විලාශය ගැන ඔවුන් කිසිලෙසකින්වත් සතුටු වෙන්නේ නැහැ. අනෙක් අතට තමන්ගේ තත්වයට කෙලෙසකින්වත් නොගැලපෙන තරුණියක සමඟ ඔහුට ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගැනීමට තිබූ උවමනාව බ්‍රිතාන්‍ය  නිළධාරීන්ට සිතාගන්නට ලැබෙන්නේත් නැහැ.

නමුත් මේට්ලන්ඩ් අවිවාහකයෙකු වීම තුළ ඒ සම්බන්ධතාවය නීතී විරෝධී ලෙස හුවා දක්වන්න නොහැකි බව ඔවුන් වටහාගන්නවා. ඉන් පස්සේ සාමාන්‍ය  මාරුවීමක් විදියට මේට්ලන්ඩ්ව මෝල්ටාවට මාරු කරන්න ඔවුන් තීරණය කරනව. ඉන් බ්‍රිතාන්‍යට වන අවමානය නවතාගන්නට හැකි වෙන බව ඔවුන් විශ්වාස කරනවා.

සදාකාලික සමුගැනීම

මේ ආරංචිය ලැබුනට පස්සේ මේට්ලන්ඩ් ඉතාම කණස්සල්ලට පත් වෙනවා. ඔහුට කිසිලෙසකින්වත් සුන්දර ලොවීනාව හැර යන්නට හිතක් නොතිබුනත්, ඔහුට එවෙලේ බ්‍රිතාන්‍ය කිරීටයේ තීරනය ඉක්මවා යන්නත් බැරි වෙනවා.

” ලැවීනියා ..මම අනිවාර්‍යෙන්ම ආයෙ එනවා.. ඒ එනකල්, පරෙස්සමින් ඉන්න ඕනි..මම ඔයාව ඇරෙන්න වෙන කවුරුත් එක්ක විවාහ වෙන්නේ නැහැ… “

තමන්ගේ සුන්දර ප්‍රේමවන්තියට එහෙම පොරොන්දු  වෙන මේට්ලන්ඩ් 1811 දී ලොවීනාට සමුදෙනවා. ඒත් මේට්ලන්ඩ්ට ඒ පොරොන්දුව ඉටු කරන්න ආයෙම ලංකාවට එන්නෙ ලැබෙන්නේ නැහැ. තමන්ගේ ප්‍රේමවන්තයාගේ හදිසි සමුගැනීම දරාගනන් බැරි වෙන ලොවීනා සිය දිවි නසාගත්ත බවත් ඉතිහාස කතා වල කියැවෙනවා. ලොවීනා යළි දකින්නට එන්න නොහැකි වුනත් 63 අවුරුද්දක් වෙලා 1824 දී මිය යනතුරුම තනිකඩව ඉන්න පොරොන්දුව නම් ඔහු ලොවීනා වෙනුවෙන් රකිනවා.

මවුන්ට් ලැවීනියා

තමා විසින් ඉදිකෙරූ නිළ නිවසට මවුන්ට් ලැවීනියා කියලා නම් කරන්න කියලා මේට්ලන්ඩ් මිය යන්න කලින් කල ඉල්ලීමට ජෝන් රජතුමා ධනාත්මක ප්‍රතිචාර දක්වලා ඒ නමින් නිළ මැදුර නම් කරනවා. ඉන් පස්සේ ආණ්ඩුකාර නිල නිවස විදියටත්, ඊට පස්සේ දෙවන ලෝක යුද්ධ කාලේදි හමුදා රෝහලක් බවටත් පත් වුන මේ ප්‍රේම කතාවට පාදක වුන මැදුර, මේ වෙනකොට ගල්කිස්ස මහ හෝටලය විදියට දෙස් විදෙස් සංචාරක අවධානය සහ ආකර්ශණය දිනාගෙන විරාජමානව බැබලෙනවා.  ගල්කිස්ස මහ හෝටලය  ඉදිරියෙන් ඇති කාන්තා පිළිරුව ආණ්ඩුකාරවරයාගේ  සුරූපී පෙම්වතිය  වුන  ලැවීනියාගේ පිළිරුව බවත් ඉතිහාස කතා වලින් අනාවරනය වෙනවා.

ඛේදණීය අවසානයකින් සමුගත්තත් මේට්ලන්ඩ් – ලොවීනා ශ්‍රී  ලංකා ඉතිහාසයේන් ඇරඹිලා වර්තමානය දක්වාම වෙන් නොවී කතා වෙන ප්‍රේමවන්තයන් දෙදෙනෙක් කියලා ඔබටත් හිතෙනවා නේද?,

අපේක්ෂා ගුණරත්න 

Related Articles

Don't Miss


Latest Articles