මතක දිගහැරුම 120 – අප්සාරි සිංහබාහු තිලකරත්න

අපගේ වැඩිමහල් පුතු එංගලන්තයෙ තරඟ වලට සහභාගී වූ අවස්ථාවේ දී විශාල ලෙස දස්කම් දැක්වූයේ ය.ඔහු එංගලන්තයේ සිටි කාලය අතරතුරදී covid වෛරසයට පවා ගොදුරු වූයේය.මා ඔහුට දිනපතාම දුරකථන ඇමතුම් දුන්නත් ඔහු අසනීප වී සිටින බව මා හට පැවසුවේ නැත.මා එය දැන ගත්තේ ඉතාම අහම්බෙන් ය.ඔහු දිනපතාම පුහුණුවීම් වලට සහභාගි වන නිසා මා අමතන අවස්ථාවන් වලදී පුහුණුවීම් වලට සහභාගි වන්නේ නැති දැයි විමසූ විට ඔහු පැවසුවේ එම දිනවල විවේක ගන්නා බවත් පුහුණුවීම් නොපැවැත්වෙන බවත්ය.කෙසේ හෝ ඒ ආසන්න දිනවල දී හෂාන් සහ මම නෙල්ලිගල ස්වාමීන් වහන්සේ බැලීම සඳහා කූරගල පන්සල වෙත ගියෙමු .ඒ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ විසින් ඔහුගේ පුතුට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය .ඇමතුම ලබා ගත්තේ අප කාටත් ඇසෙන ලෙස ය.පුතාගේ සුවදුක් විමසන විට දැන් තරමක් සුව බව ඔහු පවසනු මට ඇසුණි.එවිට මා හට යම් අමුත්තක් දැනුණු බැවින් එංගලන්තයේ සිටින මගේ හිතවතෙකු අමතා පුතාගේ සුවදුක් විමසා බැලුවෙමි .ඔහුගෙන් හරියාකාරව පිළිතුරක් ලබා ගැනීමට නොහැකි වූ තැන මා නැවතත් පුතු ඇමතුවෙමි.කුමක් හෝ ගැටලුවක් ඇති බව මා හට දැනුනු හෙයින් මා නැවත නැවතත් ඇවිටිලි කරමින් පුතුගෙන් ඒ පිළිබඳව විමසුවෙමි.

” නෑ අම්මි මට කොවිඩ්. දැන් ටිකක් හොඳයි “

ඔහු සිනාසෙමින් පිළිතුරු දුන්නේය.මා බිය වන බව දන්නා නිසාවෙන් ඔහු ඒ පිළිබඳව මා හට කිසිවක් ම නො පවසන ලෙස ඔහුගේ මිතුරන් ගෙන් පවා ඉල්ලා ඇත.දරුවන් අසනීප වූ විට මා රාත්‍රියේ නිදි වර්ජිතව ගත කරන බව ඔවුන් හොඳාකාරවම දැන සිටියහ.කෙසේ හෝ පුතුගෙ අසනීප තත්ත්වය පිළිබඳව මා දැනගන්නා විට ඔහු යථා තත්ත්වයට පත්වෙමින් සිටීම මාගේ සැනසීමට හේතු විය.නමුත් ඔහු අසනීප වූ කාලයේ ඔහුගේ හිතවතුන් සහ මිතුරන් ඔහු වෙත විශේෂ අවධානයක් යොමු කරමින් ඔහුට සහයෝගය දක්වා තිබුණි.සුවවී දින දහයකට පසුව ඔහු තරඟයකට ද සහභාගි වූයේ ය .

ඉන්පසුව ඔහු ඇතුළු පිරිස නැවතත් ලංකාවට පැමිණියහ.පසුගිය දිනවල එම කණ්ඩායම පාකිස්තානු කණ්ඩායමක් සමග තරග පැවැත්වුණු අතර තරග හරිහැටි පැවැත්වීමට නොහැකි වූයේ වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසාය.

අපගේ දෙවන පුතු මේ දිනවල ක්‍රීඩා කරන්නේ යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමට ය .පවතින වසංගත තත්වය හේතුවෙන් ක්‍රීඩා කටයුතු වලට යම් යම් බාධා එල්ල වුණත් අපගේ දෙවන පුතු ද ඉතා කැපවීමෙන් පුහුණුවීම් කටයුතු වල නිරත වීම සහ තරගවලට සහභාගි වීම සිදු කරයි.

වැඩිමහල් පුතුන් දෙදෙනාට මේ වන විට පෙම්වතියන් දෙදෙනෙක්ද සිටිති.ඔවුන් එම සබඳතා ආරම්භ කළ දිනයන්වල දීම ඒ පිළිබඳව අප හට පැවසූහ.සාම්ප්‍රදායික දෙමව්පියන් සිදු කරන ආකාරයට පවුල් පසුබිම් , හඳහන් වල ගැලපීම් ආදී බොහෝ දේවල් පිළිබඳව හෂාන් සහ මම සොයා බලන්නට වෙහෙසුණේ නැත.නමුත් දෙමව්පියන් වශයෙන් දරුවන් ඇති කරගන්නා සබඳතාවලදී කටයුතු කළ ආකාරයක් තිබෙන නිසා අප ඒ පිළිබඳව බැලුවේ වෙනස්ම ආකාරයකටය

” ඔයගොල්ලන්ට සතුටු නම් , ඔයගොල්ලන්ට හිතෙනවා නම් ඔයාලගේ ඉදිරි ජීවිතය එයාලත් එක්ක සතුටින් ගත කරන්න පුළුවන් කියලා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ පුතේ “

හෂාන් සහ මම ඔවුන් ,ඔවුන්ගේ කැමැත්ත මත ඇති කරගත් සම්බන්ධතා වලට ඉඩ දුන්නේ ඒ ආකාරයටය .ඔවුන්ගේ අඩුපාඩු සහ මොන යම් හෝ දෙයක් ඇත්නම් හෂාන් මෙන්ම මම ද ඒවා පිළිබඳව ඔවුන්ට ඉතා ආදරයෙන් පහදා දෙන්නෙමු.දෙම්ව්පියන් වශයෙන් අප දෙදෙනාම ඔවුන්ට අවශ්‍ය මගපෙන්වීම ලබා දෙන අතර ඔවුන්ගේ ඉදිරි ගමනට ශක්තියක් වන ආකාරයෙන් අවවාද අනුශාසනා ද ලබා දෙන්නෙමු.

” ඔයාලගේ අනාගතය ඔයාලා ගොඩනඟා ගන්න තමන්ගේ මහන්සියෙන්.එතකොට තමයි ඒකෙ ඒකෙ වටිනාකම ඔයාලට දැනෙන්නෙ “

අප නිතරම පවසන්නේ එලෙසය.

අපගේ පුතුන් තිදෙනා අතර විශාල බැඳීමක් සහ සහයෝගයක් තිබේ.විශේෂයෙන්ම අපගේ වැඩිමහල් පුතු අයියා කෙනෙකු වශයෙන් අනිත් පුතුන් දෙදෙනාට වන්නේ ඉමහත් ආදරයකි .ඔහු ඇතැම් අවස්ථා වලදී අනෙක් පුතුන් දෙදෙනාව කැටුව ගොස් ඔවුනට අවශ්‍ය ඇඳුම් පැලඳුම් සපත්තු ආදියද මිලදී ගෙන දෙයි.එකිනෙකාට සහයෝගය දක්වන ඔවුන් අතර කිසිම දිනයක ගැටුම් ඇති කරගෙන නැත.වැඩිමහල් පුතුන් දෙදෙනා අපගේ බාල පුතු කෙරෙහි විශේෂ අවධානයක් දැක්වීම ද මා හට විශාල සහනයකි.ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන් තුළ දැනටත් පවතින එම සමගිය ජීවිත කාලය පුරාවටම නොනැසී පවත්වාගෙන යාමයි.වැඩිමල් පුතුන් දෙදෙනාගේ පෙම්වතියන් දෙදෙනාටද මා උපදෙස් දෙන්නේ කිසිම දිනයක සහෝදරයන් අතර පවතින බැඳීම සහ සහයෝගය බිඳෙන ආකාරයට කටයුතු නොකරන ලෙසයි.පවුලක සහෝදරයන් අතර පවතින සමගිය විශාල බලයක් ලෙස මා විශ්වාස කරමි. එම නිසා කිසියම් හෝ ගැටළුවක් ඇති වනවා නම් එය කතාබහ කරගෙන නිසි ආකාරයෙන් විසඳා ගත යුතු බවට මා ඔවුනට උපදෙස් දෙමි.

අපගේ පුතුන් ආරණ්‍ය ට යන බොහෝ අවස්ථාවලදී ඔවුන්ගේ සහකාරියන් ව ද කැටුව යයි.ඒ දියණියන් දෙදෙනා ද පුතුන් දෙදෙනා ගමන් කරන යහපත් මාර්ගය පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරන අතර ඔවුන් ද එම මාර්ගයට මේ වන විට අවතීර්ණ වී සිටිති.ඔවුන් අතර පවතින ඒ අවබෝධය මා සැබවින්ම අගය කොට සලකමි.

වර්තමානයේ බොහෝ දෙනා තමන්ට ගැලපෙන සහකාරියක් හෝ සහකාරයෙක් තෝරා ගන්නා විට සලකා බලන්නේ දේපල, මිල මුදල් සහ නිලතල පිළිබඳවය. නමුත් සබඳතාවයක් ආරම්භයේ දී සහ එය පවත්වාගෙන යාමේ දී සලකා බැලිය යුත්තේ ආ අතර පවතින අවබෝධය සහ විශ්වාසය , එකිනෙකාගේ කටයුතු වෙනුවෙන් ලබාදෙන සහයෝගය ආදී කාරණා පිළිබඳවය.හෂාන් සහ මම ජීවිතයේ බොහෝ දේවල් ගොඩනඟා ගත්තේ අප දෙදෙනාගේ ස්වකීය මහන්සියෙන් හා කැපවීමෙන් ය.ඉහත කී කාරණා අප දෙදෙනා තුළ තිබුණු බැවින් ජීවිත ගමන මෙතෙක් දුර පැමිණීම වඩාත් පහසු විය.එම නිසා අපගේ පුතුන්ටද අප උපදෙස් දෙන්නේ තමන්ගේ මහන්සියෙන් තමන්ට අවශ්‍ය දේවල් ගොඩනඟා ගැනීම සඳහාය.

” අම්මිලාගේ කිසි දෙයක් අපිට එපා .අම්මිලා අපි වෙනුවෙන් මහන්සි වෙන්නත් එපා.මේ වෙනකොටත් අම්මියි තාත්තියි අපි වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියනවනේ .දැන් ඔය දෙන්නා ජීවිතේ enjoy කරන්න. පුළුවන් තරම් සතුටින් ඉන්න.දැන් අපි අපේ ගමන බලා ගන්නම්.අපේ දේවල් අපි හදා ගන්නම් “

අපගේ පුතුන් එසේ පවසන විට අපට දැනෙන්නේ ඉමහත් සතුටක් ය.ස්වාධීන පුරවැසියන් ලෙස ඔවුන් තුළ පවතින ශක්තිය මේ වන විටත් ඔවුන් පෙන්වමින් සිටියි.දෙමව්පියන්ගේ මුදල් සහ දේපොළ එක නිමේෂයකින් විනාශ කර දමන දරුවන් සිටින යුගයක හෂාන්ට සහ මට අපගේ දරුවන් පිළිබඳව දැනෙන්නේ ආඩම්බරයකි.

මේ වන විට වයසින් මුහුකුරා ගොස් සිටින මා විවිධ වූ අත්දැකීම් ලබා ,අම්මා කෙනෙකුගේ භූමිකාව පිළිබඳව වඩාත් හොදින් අවබෝධ කරගෙන සිටිමි.එම නිසා මා අතින් යම් අඩුපාඩු සිදු වුණද අම්මා කෙනෙකු අතින් දරුවන්ට ඉටු විය යුතු යුතුකම් සියල්ල ම මා මගේ දරුවන් වෙනුවෙන් ඉටු කිරීමට වෙහෙස වෙමි.මගේ දරුවන් මා සමග සිටින්නේ මිතුරන් මෙන් ය.ඔවුන්ට ඇති වන ඕනෑම ගැටලුවක් මා සමග කතා කිරීමේ හැකියාව ඔවුනට ඇත.ඒ වගේම ඔවුන් තුළ යම් අඩුපාඩුවක් දකිනවා නම් ඒ මොහොතේදීම ඔවුන්ට එය පෙන්වා දෙමි.එපමණක් නොව ඒ පෙම්වතියන්ගේ හෝ අඩුපාඩුවක් දුටුවිට එය නොකියා සිටීමට වඩා මා දීම යහපත් යැයි මා සිතන නිසා ඔවුන්ගේ යම් අඩුපාඩුවක් දුටුවිට ඔබ ආදරයෙන් පෙන්වා දීමට මා කටයුතු කරමි.ඔවුන්ගේ ඉදිරි ජීවිතය වඩාත් සාර්ථක කරගැනීමට එය ඉවහල් වනු ඇතැයි මම සිතමි.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles