අම්මාට දවසක්.

අම්මා දවස පටන් ගන්නේ හිරුටත් පෙර ය.ඇය උදෑසනම අවදි වී අපට පාසල් ගෙන යාමට ආහාර සූදානම් කරන්නී ය.

ඒ මම අට වසරෙදි විතර ලියපු රචනාවක මුල් වක්‍යය දෙක.තාමත් එහෙම තමයි.වෙනස තියෙන්නෙ දැන් මට අවුරුදු පහළොවක් වෙන එක.අම්මා තවමත් ඒ විදියම තමයි.උදේම නැගිටලා ගෙදර හැම වැඩක්ම කරනවා.

මම අම්මාගේ දවසක් දිහා බලාගෙන ඉන්න ගත්තේ වසංගතය නිසා අපි හැමෝම ගෙදරට කොටු වුණු දවසක.අම්මා මොනවද කරන්නේ? මට ඒ ගැන හොඳටම හොයලා බලන්න හිතුණා.අපි කෑම මේසෙට එනවා.අම්මා අපිට කෑම හදාගෙන එනවා.අපි එක එක අයට ඕනෑ හැමදෙයක්ම අම්මා හදලා ඉවරයි.අපිට තියෙන්නේ කන්න.

මගේ අම්මා අලුත් පරම්පරාවේ අම්මා කෙනෙක්.ආයතනයක වගකිය යුතු නිලයක් දරන එයා හරියටම නවය වෙනකොට ඔෆිස් වැඩට වාඩි වෙනවා. Work from home. අම්මාට නම් එතකොට තියෙන්නේ ඔෆිස් වැඩ විතරක් නෙවෙයි.

“තාත්තා..මට මේ ගාණ කියලා දෙන්න.”

මගේ චූටි මල්ලි තාත්තා ළඟට දුවනවා.ගෙදර ඉඳගෙනම රැකියාවේ නිරත වෙන තාත්තා අම්මාට කතා කරන්නේ උස් හඬකින්.

“අංජලි..මෙන්න මෙයාට මේ ගණන් පාඩම කියලා දෙන්න.”

අම්මා වැඩ කරන ගමන්ම මල්ලිට ගණන් උගන්වනවා.එහෙම එක වෙලාවේ වැඩ දෙකක් කරන්නේ කොහොමද? මට පුදුමයි.ඒත් ඒ තමයි අම්මා.

එතකොටම දොර සීනුව නාද වෙනවා.හැමෝම ඒ දිහා බලනවා විතරයි.

“දුවේ, අර කවුද බලන්න..”

අත්තම්මා එහෙම කියනකොට අම්මා ඔන්ලයින් මීටින් එකක ඉන්න ගමන්ම ඒ ගැන බලන්නත් යනවා.ආපහු එන ගමන් මට ඔන්ලයින් මැත්ස් ක්ලාස් එක දැන් පටන් ගන්න බව මතක් කරනවා.

අම්මට මේ සේරම මතක තියෙන්නේ කොහොමද? අම්මා මේ හැම දෙයක්ම මෙහෙම කරන්නේ කොහොමද?

“මම නම් අපේ ඔෆිස් එකට කියලා තියෙන්නේ Work from home කියන්නේ හරියටම 9-5 බව.අංජලී,ඔයා ඒක ඔයාගේ ඔෆිස් එකට කියන්නේ නැත්තේ ඇයි?”

ඔෆිස් වැඩ එක්ක දවස පුරාම ගෙදර වැඩ කරන අම්මාගෙන් මගේ තාත්තා අහන්නේ අමුතු කතාවක්.අම්මා තවම ඔෆිස් වැඩ ඉවර නෑ.ඇත්තටම ඉතින් එයාට කරන්න තියෙන්නේ ඔෆිස් වැඩ විතරක් නෙවෙයිනෙ.

“මට හිතෙනවා අපි අම්මාට විවේකයක් දුන්නොත් හොඳයි කියලා.”

මමවත් නොහිතපු වෙලාවක මම කතා කරන්න පටන් අරගෙන තිබුණා.අම්මා මම දිහා පුදුමයෙන් බලනකොට මට තව දිගට කතා කරන්න ඕනෑ බව තේරුම් ගියා.අම්මා වෙනුවෙන් එයාගේ ලොකු දුව කතා නොකර වෙන කවුරු කතා කරන්නද?

“අම්මා ගෙදර ඉඳගෙන කරන්නේ ඔෆිස් වැඩ විතරක් නෙවෙයි.එයා අපි වෙනුවෙන් වැඩ කරනවා.නොනවත්වාම අපි වෙනුවෙන් මහන්සි වෙනවා.”

මම පැත්තක තිබුණු කැලැන්ඩරය අතට ගත්තා.Sunday කියන වචනය කපා දමලා මට ලියන්න වචනයක් තිබුණා.Momday. අම්මාගේ දවස.තාත්තා මම දිහා බලන්නේ ආදරයෙන්.

“මම ඔයාට එකඟයි පුතා.”

ඉරිදා දවසවත් අම්මා නිදහසක් ගත කරන්න ඕන.අම්මා ඒ දවස විවේකයෙන් ගත කරනකොට අපි අම්මාට උදව් කරන්න ඕනෑ.මගේ තාත්තා එහෙම කියනකොට අම්මා අපි දිහා බලාගෙන හිටියේ ආදරෙන්.උතුරා යන ආදරෙන්.

අම්මා කෙනෙක් කියන්නේ හැම වැඩක්ම පැමිණිල්ලක් නැතුව කරන කෙනාට.ඒත් අම්මාට මහන්සි දැනෙන්නේ නැද්ද? අම්මාට වෙහෙස දැනෙන්නේ නැද්ද? අම්මා හැම වැඩක්ම කළ යුතු බව අපි හිතනවානම්,අම්මට අමුතු ශක්තියක් තියනවා කියලා අපි විශ්වාස කරනවානම් අපිට කොහේහරි වැරදිලා.

“අම්මාට එක දවසක් හරි නිවාඩුවක් දෙමු”

ඒ මගේ කතාව.ඔයා අම්මා කෙනෙක් නම් එක දවසක් හරි නිවාඩුවක් ගන්න.වැඩ කරන්න මහන්සි දැනුණාමත් අපේ අම්මා වගේ දිගින් දිගටම වැඩ නොකර ඒ ගැන කියන්න.මං හිතනවා ඔයාට අයිතියක් තියනවා ඒකට.

මොකද ඔයා අම්මෙක්! ඒ වගේම මනුස්සයෙක්!

(මව්වරුන්ගේ දිනයට සැකසුණු ඉන්දීය වීඩියෝවක් ඇසුරෙනි)

More Stories

Don't Miss


Latest Articles