කතරක තනි වී..

“ඔයා ඔය එල්ලිලා ඉන්නේ ලෝකේ තියන දරුණුම වේදනාවක..”

ගිම්හානි මට කිව්වේ කීවෙනි වතාවටද කියලා මට මතක නෑ.ඒත් ඒ කතාව ඇත්ත කියලා මට නොහිතුණාම නෙවෙයි.ආදරය කියන්නේ මල් වැස්සක් වගේ ජීවිතයට ඇද හැලෙන්න උවමනා දෙයක් බව මම දන්නවා.ඒත් මම ඉන්නේ මල් වැස්සක් තියා හිරි පොදක්වත් නොවැටෙන කාන්තාර බිමක.ඒත් මගේ හිත වස්සානයක් එනතුරු බලාගෙන ඉන්නවා.

“ඒක පාර්ශවික ආදරය!!”

මරණීය වේදනාවක් බව දැනෙමින් තියන කාලයක් පහු කරද්දී මම ගිම්හානිගෙන් ප්‍රශ්නයක් අහන්න හිතුවා.

“සංගීත්‍ට තේරෙන්නේ නැද්ද මං එයාට ආදරේ බව.”

ගිම්හානි හිනා වුණේ මට අනුකම්පාවෙන් වෙන්න ඇති.

“මොකද නැත්තෙ? එයාට නොතේරෙන්න එයා බබෙක් නෙවෙයිනෙ..”

නමුත් දැනෙන දේවල් බාර ගත යුතු බවට නියමයක් නැහැ.අපි හොඳම යාළුවෝ වග මන්තරයක් වගේ මතුරන්න සංගීත්ටත් සිද්ධ වෙලා ඇත්තේ මගේ ආදරය හංගා ගන්න මම අපොහොසත් හින්දා.

“සනූ,පොඩි ආරංචියක් අරන් ආවේ.මේක සංගීත්ගෙන් දැන ගන්නවට වඩා ඔයාට මම කියන එක හොඳයි.”

ගිම්හානි දවසක් ආවේ අඳුරු වළාකුළු මුහුණේ ඇදගෙන.ගොරවමින් තිබුණේ කුණාටු කාලයක් ළඟ එන්න බව මම දැන ගෙන හිටියා.ඒ කුණාටු කාලය දරා ගන්න මට සිද්ධ වේවි.

“සංගීත් මාධවී එක්ක අෆෙයා එකක් පටන් අරන්.”

මගේ වෙනතුරු බලා හිටිය ආදරය අයිති වෙනත් කෙනෙකුට කියලා දැන ගත්තු දවසේ අඬන්න කඳුලක්වත් ඉතිරි නැති බව මට තේරුම් ගියා.මම ඒ තරම් වේදනාවක් ඇතුළේ හිම වගේ මිදිලා ගිහින්.අයිති නැති බව දැන දැනම ආදරය කරන්න ගිහින් මාව පිස්සියක් වෙයි කියලා මට හිතුණත් ආදරය කියන්නේ උමතුවක් බව මට ආයේ ආයේ හිතෙන්න පටන් ගත්තා.

“එයා නවතින්න ඇත්තේ එයාට හොඳම තැන.”

මම හිත හදා ගන්න උත්සාහ කළා.ඒත් ආදරයක් අමතක කරන්න පහසු නැහැ.
මහා වනාන්තරයක අතරමං වෙලා වගේ මගේ හිතට දැනෙන අතරමං වුණු ගතිය ලේසියකට එළවලා දාන්න බැරි බව මම දැනගෙන හිටියා.

“විසල් කෙත් වල සිහිල් විල් මත
තිබෙන මුත් පෙම් මල් පීපි
අපිට දැනුණට අපව නොදැනුණු
අයට පෙම් කල අය අපි.”

අමිල චතුරංග කවියා ලියපු ඒ කවිය ෆේස්බුක් තිරය පුරා දකිනකොට මම ඉන්න තැන ගැන මට නොවැටහුණා නෙවෙයි.ඒත් කාන්තාර බිමක පිපුණු ගසක ප්‍රේමය ඵල දරනතුරු බලන් ඉන්න ගියාම මට විලක පිපුණු නෙළුම් නොපෙනෙන බව මම තේරුම් ගනිමින් හිටියා.

“සනූ..හොඳටම උණ නේද?”

එක දවසක් උදේ නැගිටින්න පරක්කු වෙලා ඇඳේ පෙරළි පෙරළි ඉන්න මට මාව ඇහැරවන්න ආපු ගිම්හානි කෑගහන්න ගත්තා.ලෙඩක් දුකක් පවා නොදැනෙන තරමට මට මාව අමතක වෙලා.

“බෙහෙත් ගේන්න යං.ඔයාට හොඳටම අමාරුයි.ඉන්න මම පසන්ට කතා කරන්නම්..”

ගිම්හානිගේ යාලුවා වුණා කියලා මගෙත් කරදර ඇගේ පෙම්වතා උහුලන්න ඕන නෑ කියන්න මම උත්සාහ කරා.ඒත් වචනයක් කියා ගන්න බැරිතරම් මම අසනීපෙන් කියලා මට තේරෙන්න පටන් ගත්තා.

“පසන් හොඳටම බිසී කියලා එයාගේ යාළුවා එව්වා.එන්න එන්න සනූ.බෙහෙත් ගන්න යන්න..”

වදෙන් පොරෙන් මට ඇඳුමක් අන්දවාගෙන ගිම්හානි මාව බෙහෙත් ගන්න එක්ක ගියා.නොදන්නා කෙනෙකුගේ කරදරයකදී පවා උදව්වට ආපු පසන්ගේ මිත්‍රයාට ස්තූතියි කියන්න මට අමතක වෙලා තිබුණා.

“ගිම්හානි, අර අපි එක්ක බෙහෙත් ගන්න ආපු අයියට තෑන්ක් යූ කියන්නකෝ.”

බෙහෙත් වඩියකටත් ගිම්හානිගේ සුප් එකටත් පස්සේ පණ ආපු මට යුතුකම් මතක් වෙන්න පටන් ගත්තා.

“ඔයාට කටක් නැද්ද? මෙන්න නම්බර් එක.ඔයාම කතා කරන්න..”

විහඟ කියන්නේ හොඳ යාලුවෙක් කියලා තේරුම් යන්න මට තව ටික දවසක් වැය වුණා.ඒත් ඔහු මං දිහා ඊට වඩා වෙනස් කෝණයකින් බලන බව කිව්වේ ගිම්හානි.

“මං කාටවත් ආදරේ කරන් නෑ.”

මං මගේ හිතටත් ගිම්හානිටත් තදින්ම කියා හිටියා.සංගීත්ට ආදරය කරන මගේ හිතේ තව කෙනෙකුට දෙන්න ආදරයක් ඉතිරි නෑ කියලා මම දන්නවා.ඒ නිසා මම විහඟගේ ආදරය ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කළා.

“සංගීත් දවසක එයි කියලා නේද ඔයා ඔය විස්වාස කරන්නේ?”

ගිම්හානි ඇහුවේ මම හොර රහසේ අපේක්ෂා කරන එකම දේ.මගේ හිතේ තියන දරුණු රහසක් මගේ මිතුරිය ගොඩ ගත්තු එක ගැන මට දැනුණේ ලැජ්ජාවක් ද කේන්තියක් ද පැහැදිලි නෑ.

“පිස්සුද ගිම්හානි..”

මං ඒ කතාව ප්‍රතික්ෂේප කරලා ගිම්හානිට සැර වුණේ ඒ නිසා.

“ඒක පාර්ශවික ආදරයක් කියන්නේ වේදනාවක්නම් ඇයි ඔයා ඒ වේදනාවේ ගිලෙන්න ඔච්චර ආස”

ගිම්හානි ආයෙම ඇහුවේ මාව තවත් අවුල් කරමින්.සංගීත්ට මගේ ආදරය බාධාවක් නොවන නිසා මට ජීවිතේ පුරාම එයාට ඈතින් ඉඳන් ආදරය කරන්න පුලුවන් කියලා මං හිතුවා.ඒත් ඒ කතාවත් ඇත්ත වුණේ නැහැ.

“ඔයා සංගීත්ට ආදරය කරනව කියන එක, එයා ඔයාට ආදරේ නොකළත් එයා වෙනුවෙන් බලන් ඉන්නව කියන එක මාධවීට මොනවගේ හැඟීමක් එන දෙයක් කියලද ඔයා හිතන්නේ?”

ගිම්හානි මගෙන් අහනකොට මම ගැස්සිලා ගියා.ඇත්ත තමයි.අපි කෙනෙකුට ඒකපාර්ශ්වික ආදරයකින් බැඳෙන්නේ එයාට ඒකෙන් හානියක් නැහැ කියලා හිතමින්.ඒ වේදනාව තමන්ට පමණක් කියලා හිතමින්.ඒත් ඒ කෙනාගේ ඇත්තම ආදරයට ඒක කොහොම දැනෙනවා ඇද්ද?

“එහෙනම් ගෞරි ඛාන්ට කොහොම හිතෙනව ඇතිද? දීපිකා පදුකොන්ට මොනව හිතෙනව ඇද්ද?”

මං තර්ක කරා.ගිම්හානි හයියෙන් හිනා වුණේ මාව විහිළුවකට අරන් වගේ.

“ක්‍රෂ් එකක් කියන්නෙයි වන් සයිඩ් ලව් එකක් කියන්නෙයි දෙකක් සනූ.ඒක ඔයත් දන්නව.ලෝකෙන් බාගයක් ගෑනු ළමයි තමන් ආදරේ කරන කෙනාට ආකර්ෂණය වෙන එක ගැන ගෞරිට දැනෙන හැඟීමයි තමන් පණ වගේ ආදරේ කරන කෙනාට ඔයා දුර ඉඳන් ආදරේ කරන එක ගැන මාධවීට දැනෙන හැඟීමයි කියන්නේ දෙකකට.ඔයා වේදනා විඳින ගමන් තව කෙනෙක් දුකට පත් කරන එකත් සාධාරණ නෑ සනූ..”

ඒ කතාව තමයි මාව මං ගිලෙමින් හිටිය ආගාධයෙන් ගොඩට අරන් ආව ස්වර්ණමය වචන කිහිපය.බොහොමයක් දේවල් ඒ වචන නිසා වෙනස් වුණා. අන්සතු ආදරයක් ගැන වේදනා නොවිඳිම්න් මට අයිති තැනක නවතින්න ඒ වචන මාව පෙළෙඹෙව්වා.

“හෙට මම විහඟගේ මනමාලි වෙන දවස!”

මට ආයේම ගිම්හානිගේ වචන මතක් වෙනවා.අපි ඒකපාර්ශවික ආදරය ගැන ඕනෑතරම් කතා කරනවා.ඒත් ඒ ඒකපාර්ශවික ආදරේ ඇත්තටම අයිති කෙනා ඒවායින් මොනතරම් රිදවා ගන්නවා ඇතිද?

මං හිතුවේ ගිම්හානිගේ අවංක මිතුරුකම ගැන ආදරයෙන්.

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content