කඩවසම් සැමියාව අහිමි වේයැයි අධික බියෙන් සහ සැකයෙන් පසු වූ බිරිඳක්.

ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.)

විවාහයක් තුළ මතුවන අර්බුද සම්බන්ධයෙන් කතා කරන්න දේවල් ඕනෑ තරම් තියෙනවා.ඒ අතරේ බොහෝ විවාහකයන් මුහුණ පාන ගැටළුවක් තමයි අනෙකා අතින් පාලනය වෙන්නට සිදු වීම.ඔබ බිරිඳක් වූ පමණින් සැමියාව පාලනය කරන්නට ඔබට බලපත්‍රයක් හිමි වන්නේ නැහැ.අනෙකාගේ සිතැඟි පාලනය කරන්නටත් ඔබට හැකියාවක් නැහැ.

අද අප ඔබට කියන්නේ සැමියාට අණ පනත් පවරන්නට ගොස් පවුල් ජීවිතය අවුල් කරගත් ශානිගේ කතාවයි.ජේෂ්ට මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ අත්දැකීම් බහුල වෘත්තීය ජීවිතය තුළ හමු වූ තවත් සේවාදායිකාවක් තමයි ඇය.

ශානි පවුලේ බාල දියණිය.ඇයගේ අක්කා වූ මාලි විවාහ වූ පසු මහගෙදර ආසන්නයේම නිවසක ජීවත් වුණා.ශානි පෞද්ගලික ආයතනයක ඉහළ රැකියාවක් කළා.ඒ තරම් හැඩකාර නොවුණත් ශානිට විශාල දේපල ප්‍රමාණයකට හිමිකමක් තිබුණා.

“නංගිට ප්‍රපෝසල්ස් වලින් මනමාලයෙක් හොයමුද?” මාලි අම්මා සහ තාත්තාගෙන් ඇහුවේ ශානි විසි හය හැවිරිදි වියට ආසන්න වෙනවිටමයි.මාලි සරසවියේදී හඳුනාගත් දසුන් සමඟ යහපත් පවුල් ජීවිතයක් ගෙවමින් සිටියා.ඇගේ කුළුදුල් දරු උපතටත් වැඩිකාලයක් තිබුණේ නැහැ.ඒ නිසා ශානිටත් යහපත් සහකාරයෙක් සොයන්නට දෙමාපියන් තීරණය කළා.
දසුන් වෘත්තියෙන් රාජ්‍ය නිලධාරියෙක්.ඒ නිසා ඔහුට මාලිලාගේ පවුලේ ඉඩකඩම් ගැන හොයා බලන්න තිබුණේ ඉතාම අඩු ඉඩක්.ශානිට මනමාලයෙක් සොයන විට ඉඩකඩම් බලා හදා ගත හැකි තරුණයෙක් හොයන්න දෙමාපියන් තීරණය කළා.යෝජනා කීපයක් අතරින් සමීරට දෙමාපියන්ගේ කැමැත්ත හිමි වුණා.

කඩවසම් සමීරට ශානිගේ ශානිගේ අකමැත්තක් තිබුණෙ නැහැ.ඇය ඒ යෝජනාව ඉහළින් පිළිගත්තා.විශාල විවාහ මංගල උත්සවයකින් පසු සමීර ශානිගේ මහ ගෙදර පදිංචි වුණා.

“තේ ඉඩම් ටිකයි රබර් වතුයි හැමදෙයක්ම දැන් තිතට පාලනය වෙනවා..ආදායමත් හොඳයි.සමීර දස්සයා..” අම්මා නිතරම මාලිට කිව්වේ සන්තෝසෙන්.මාලිටත් දසුන්ටත් හොයා බලන්න බැරි වුණු හැම දෙයක් ගැනම සමීර සොයා බැලුවා.

“නංගිට හොඳ මහත්තයෙක් හම්බ වුණා..” මාලිත් සැනසීමට පත් වුණා.

සැබෑවටම සමීර ඉතා හොඳ ස්වාමිපුරුෂයෙක්.ඔහු හොඳ බෑණා කෙනෙක් විදියට පවුලේ සියලුම කටයුතු සොයා බැලුවා.මාලිටත් දසුන් ටත් හැකි හැම උදව්වක්ම කළා.ශානිටත් ආදරණීය සැමියෙකු වුණා.නමුත් ගැටලුවක් තිබුණා.
ඒ ශානිගේ දැඩි සොයා බැලීමයි.මුලින්ම සමීර හිතුවේ මේ ශානි තුළ පවතින දැඩි ආදරය කියලා.නමුත් ඔහුට දිගටම රතු කොඩි පෙනෙන්නට පටන් ගත්තා.

“කොහෙද ඉන්නේ?”

ඇය රාජකාරි අතර ඔහුට ඇමතුමක් දෙනවා.

“තේ වත්තට යන ගමන් මැණිකේ..”

සමීර පුරුදුලෙස කියනවා.

“අම්මා කිව්වේ දැන් පැයකට කලින් ගෙදරින් ආවා කියලයි.තේ වත්තට යන්න එච්චර වෙලාවක් යන්නේ නෑ.කොහෙද නතර උනේ..”

ඉන්ධන පිරවුම් හලක නතර වුණු බව,කම්කරුවන් සොයන්න ගිය බව සමීර කියනවා.නමුත් ශානි දිගටම රණ්ඩු කරනවා.ජීවිතය මේ අයුරින් ගෙවී ගියා.
සමීර යන ඕනෑම තැනක වීඩියෝ ඇමතුම් වලට පිළිතුරු දෙමින් ගැටලුකාරී ජීවිතයක් ගෙව්වා.

මේ අතර මාලිට තවත් කාරණාවක් ගැන විපරම් කරන්න හිතුණා.ඒ විවාහයෙන් වසර හතරක් පමණ ගෙවී ගියත් නංගි අම්මා කෙනෙකු නොවීම ගැනයි.

“එයාලා තව ටික කාලයක් ඉන්නව වෙන්න ඇති..”

මාලි ඒ විදියට හිතුවා.නමුත් දසුන් දිනක් ඇයට කිව්වේ අමුතු කතාවක්.

“සමීර හරිම ආසාවෙන් ඉන්නේ දරුවෙකුට.ටික කාලයක් උත්සාහ කරත් දරුවෙක් නැති හින්දා doctor කෙනෙක් ලඟට යන්න සමීරට උවමනාලු.ඒත් මාලි ඔයාලගෙ නංගි ඒකට කැමති නෑලු. “

මාලි එය සාමාන්‍ය දෙයක් බව හිතුවා.

“ඕනෙම ගෑනියෙක් තමන්ට ගැටලුවක් තියෙනවා කියන බාරගන්න කැමති නෑ දසුන්.වඳ ලේබලේ වැදෙනවට ගෑනු බයයි..”

ඒ කතාවට දසුන් දුන්නේ අමුතු පිළිතුරක්.

“නංගි අකමැති ඉස්පිරිතාලෙ යන්න.සමීර එක්ක දිගටම හොස්පිට්ල් යන්න නංගි කැමති නෑ.ඒකෙ ඉන්න ලස්සන නර්ස්ලා එහෙම සමීරට ට්‍රීට්මන්ට්ස් දෙයි කියලා නංගි බයයිලු..”

ඒ අමුතු කතාව අහපු මාලිට දැනුණේ බයක්.මෙයට කරන්න දෙයක් ඇය හිතන්න ගත්තා.නමුත් ශානි හදිසි අනතුරකට ලක් වුණේ ඒ අතරේ.රෝහල්ගත වූ ගමන්ම ශානි කතා කරේ අක්කාට.

“අක්කේ, ඔයයි අයියයි හොස්පිටල් එන්න.සමීර එක්ක එන්න එපා..”

නංගිට ගොඩක් අමාරු ඇති කියලා රෝහලට මාලි රෝහලට දිව්වා.නමුත් පාදයේ සුළු ආබාධයක් හැරෙන්න ශානිට වෙන ගැටලුවක් තිබුණේ නෑ.

“කකුල පොඩ්ඩක් කැඩිලා විතරයිනේ නංගි.ඒකට බය වෙන්න සමීර බබෙක්ද? එයා ඇවිල්ලා ඔයා ළඟ ඉඳී.මම ගෙදර යන්නම්. පොඩි දෙන්නත් බලාගෙන ඉන්නවා නේ”

මාලි එහෙම කියද්දී ශානි අක්කා නවතා ගන්න තැත් කළා.

“මේ හොස්පිටල් එකේ පුදුම ලස්සන ඩොක්ටස්ලා නර්ස්ලා ඉන්නෙ.එයාලා සමීරව දකිනවට මම කැමති නෑ.එයාව අරන් එන්න එපා..”

නංගී මානසික ගැටලුවක බව මාලිට තේරුම් ගියා.ඇය මේ ගැන සමීර එක්ක කතා කළේ ඉන්පස්සේ.

“මම ගෙදරින් එලියට යනකොට ෆෝන් කෝල් එකක් අරගෙන ෆෝන් එක සාක්කුවේ දාගෙන යන්න ඕන.ශානි සේරම අහගෙන ඉන්නවා.එයා වීඩියෝ කෝල් ගන්න කියනකොට මම ගන්න ඕන.ලේබර්ස්ලා හැමෝම පිරිමි අය වෙන්න ඕනේ.එයාගේ යාලුවෝ ගෙදර එනකොට මම අනිවාර්යෙන් වත්තට යන්න ඕනේ.ඇත්තටම අක්කේ ඔයාව ඇරෙන්න වෙන කිසිම ගෑනියෙක් මම ආස්සරේ කරනවට ශානි කැමති නැහැ..”

මාලි තමන්ගේ නංගිව වහාම පවුල් උපදේශනයට රැගෙන යන්න ක්‍රියා කරන්නේ මස්සිනාගේ දුක්බර කතාවෙන් පස්සේ.

සොයා බැලීම සහ විමසිලිමත්වීම අතරත් දැඩි ලෙස සැක කිරීම අතර තියෙන්නේ අහසට පොළොව තරමේ දුරක්.ශානිට තිබුණේ දැඩි ලෙස සැක කිරීමේ තත්ත්වයක්.

“සමීර හරිම ලස්සන කෙනෙක්.අපේ වෙඩින් එකට ආපු මගේ යාළුවෙක් කිව්වා සමීර හරියට හේමාල් රණසිංහ වගේ කියලා..ඒ නිසා මම හරිම බයයි..මම එයාට හරිම ලෝබයි.එයා නරක නෑ කියලත් මම දන්නවා.නරක දේවල් කරලා නැතත් මම හරි බයයි.මම කාර්යබහුල හින්දා එයා මගෙන් ඈත් වුණොත්?”

ශානි රත්නා මහත්මියට කීවේ ඒ වගේ කතාවක්.සමීර ඔහු විඳින දැඩි පීඩාව් එළිකර සිටියා.

මෙය දෙපාර්ශවයටම පොදු කාරණා වෙන තැන් තියනවා.ඉතා කඩවසම් සැමියන් ගැන බියෙන් ඉන්න භාර්යාවන් වගේම රූමත් බිරින්දෑවරුන් ගැන බියපත් සැමියන් සමාජයේ ඕනෙතරම් ඉන්නවා.නීතියෙන් ඔබට කෙනකු හිමි වුණත් ඒ සම්පූර්ණ ජීවිතයම ඔබේ නෙමෙයි.සැමියා රූකඩයක් කර කර ගෙන නූල ඔබේ අතේ තබා ගැනීම වැරදි වැඩක්.ඔහු යන එන සෑම තැනම ඔබට වාර්තා කළ යුතු නැහැ.නතු කර ගැනීම පවුල දෙදරා යන තත්වයක්.ඔබේ ඇස මානයේම තබා ගැනීමට ක්‍රියා කරන්න එපා.සැමියා කියන්නේ ඔබේ සුරතල් බල්ලා හෝ පූසා නෙවෙයි.

ඕනෑම මිනිසෙකුට තමන්ගේ කියා ජීවිතයක් තියෙනවා.කිසිවෙකුට හෙළි නොකළ තමන්ගේම රහස් තිබෙනවා.පෞද්ගලික සිතුම් පැතුම් පවතිනවා.සැමියා හෝ බිරිඳට තමන්ගේ කියලා ආශාවන් තිබෙනවා.පවුල් ජීවිතයට හානි කර නොවන ඒ ආශාවන්ට වැට බැඳීම අතිශය නරක දෙයක්.සැමියා මිතුරන් සමඟ සාදයක හිඳිද්දී ඔබ දිගටම ඇමතුමේ හිඳිමින් අසා සිටිනවා නම් ඔහු එතැන සීමා දමා ගන්නවා.මිතුරන් සමඟ දෙපිට කැපෙන විහිළු කියා ගී ගයා නැටීමෙන් වළකිනවා.මෙය ඔහුගේ මානසික නිදහස වළකන්නක්.ඒ වගේම කාන්තාවන්ටත් එළියට යන්නට නොදෙන, සමාජ මාධ්‍ය පාවිච්චියට නොදෙන සැමියන් කරන්නේ මේ දේම තමයි.

එහෙම තදබල සීමා දැමීම අවසන් වන්නේ දික්කසාදයකින් බව රත්නා මහත්මිය ශානිට පැහැදිලි කළා.සමීර දැනටමත් ඒ තීරණය ගැන සිතමින් සිටි නිසා තත්ත්වය තරමක් අසීරු වුණා.දැඩි සැකය තදබල මානසික ගැටලුවක පෙරනිමිති බව වටහා දුන් උපදේශකතුමිය ශානි මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්නටත් ක්‍රියා කළා.ඒ ගැටලුව ඒ විදියෙන් අවසන් කරන්නට උපදේශනයට හැකියාව තිබුණා.

ආදරය කියන්නේ තදින් අල්වා තබාගෙන සිටීමවත් කූඩු කර තැබීමවත් නොවේ.
එය හැමවිටම සිහියේ තබා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles