මල් පිපෙන කාලේ

“දැන් ඔයා මොකක්ද කරන්න හිතන් ඉන්නේ.”

ආශා එහෙම ඇහුවේ ටිකක් තද හඬකින්.පවනි බොහොම බරපතල කතාවක් කියලා තාම විනාඩි දෙක තුනක්වත් ගෙවිලා නෑ.ඒ කියන විදියට නම් පවනිලාට ගන්න තියෙන්නේ තීරණ දෙකයි.

“ඔයාලා ඔය බබාව නැති කරනවද?”

ඔමාලි එහෙම ඇහුවේ පවනිගේ ඇස් නළලට යනකොට.පවනි මිතුරියන් දෙදෙනා දිහා බැලුවේ පුදුමයෙන් වගේ.ඒ දේට හිත හදා ගන්නෙ කොහොමද?

“ඔයාලට ඔය බබා ඇත්තටම ඕනද පවී?”

ඊළඟ ප්‍රශ්නයත් ඇහෙනකොට පවනි කැළඹුණා.ඇත්තටම මේ බබාව පවනිටත් ගිහාන්ටත් ඕනෑද? කැම්පස් එකෙන් අවුට් වෙලත් තාම මාස කිහිපයක්වත් නෑ.

“ඔයා ගෑනු ළමයෙක්නෙ.ඔයා දැන ගන්න එපැයි පරිස්සම් වෙන්න.ගිහාන් ඔයාව අත් ඇරියොත් දැන් ඔයා මොකද කරන්නේ?”

ඔමාලිගේ ප්‍රශ්නය සැරයි.අවුරුදු විසි පහක තරුණියක් හැටියට මේ වෙලා තියන දේ වැරැද්දක් නෙවෙයි කියලා කියන්න ඕනෑ වුණත් පවනිට උත්තර දෙන්න වචන හොයා ගන්න බැරි වුණා.යාලුවෝ කියන හැටියට නම් පවනි කරගෙන තියෙන්නේ වස වැරැද්දක්.

ඔව්! පවනි විවාහ නොවී ගැබිණියක් වෙලා.ගෑස්ට්‍රයිටිස් කියලා එක එක අත් බෙහෙත් කරමින් හිටියට මේ ගෑස්ට්‍රයිටිස් නොවන වග පවනි දැනගෙන දැන් පැය කිහිපයක්.ඒ ආරංචිය දැන ගත්තු හැටියේ එකට හිටිය යාළුවෝ මොනතරම් වෙනස් වුණාද කියලා පවනි කල්පනා කළා.විවාහ නොවී දරුවෙක් පිළිසිඳ ගැනීම නිසා පවනිව ගිහාන්ගෙන් විතරක් නෙවෙයි ගිහාන්ගේ පවුලේ අයගෙන් පවා ප්‍රතික්ෂේප වෙන්න පුලුවන් කියලා ඔමාලිත් ආශාත් කියනකොට පවනිට දැනෙන්නේ මහා බයක්.ඇත්තටම එහෙම වේවිද?

“ඔයාලගෙ සම්බන්ධෙට ගිහාන්ලගෙ ගෙදර අය විරුද්ධ නෑ තමයි.ඒත් එයාලා ඔහොම දෙයක් වුණා කියලා දැන ගත්තම ඔයාව රිජෙක්ට් කරයි.ඊටපස්සෙ?”

ආශා අහනවා.පවනි අත් දෙක මත මුහුණ තියාගත්තේ බයෙන්,තිගැස්මෙන්.ගිහාන්ගේ කරුණාවන්ත අම්මා මෙතැනින් එහාට කොහොම හැසිරෙයිද කියලා හිතා ගන්නත් අමාරුයි.යාළුවෝ දෙන්නා එක්ක ප්‍රශ්නය බෙදා ගන්න ගිහින් තවත් හිතට බය වැඩි වුණාද කියලා දැනෙද්දී පවනිට දැනෙන්නේ දරා ගන්න බැරි වේදනාවක්.

“ඔයාලට තිබ්බේ ඔය බබාව නැති කරන්න.”

නීතිය පැත්තකට දැම්මත් ඔමාලි කියන ඒ දේ කරන්න පවනිට හිත හදා ගන්න අමාරුයි.ඒත් තමන්ට මේ වෙලාවේ ඇත්තටම අම්මා කෙනෙක් වෙන්න ඕනද? පවනි හිතන්න ගත්තා.කාලෙකට කලින් බලපු දියා කියන ෆිල්ම් එක පවනිට මතක් වෙනවා.ඒත් පවනිත් ගිහානුත් වගේ ළාබාල පෙම්වතුන් යුවළක්.ඒ දෙන්නාගේ දෙමාපියන් ගන්න තීරණයක් නිසා අන්තිමට වෙන දේවල් ගැන පවනි සිහි කළේ තිගැස්මෙන්.ජීවිතේ හොල්මන් ෆිල්ම් එකක් නෙවෙයි තමා.ඒත් මේ වෙලාව පවනිට දැනෙන්නේ ඊටත් අන්ත විදියට.

“මං අම්මට කතා කරන්නම්.එයාලා විරුද්ධ වුණත් ඔයාට ඔය බබා ඕනනම් අපි එයාව හදනවා.”

ගිහාන් පවනිට එහෙම කීවේ පවනිගේ අසනීපේ ගැන දැන ගත්තු වෙලාවෙමයි.මේ පුංචි ජීවියා තමන්ව අල්ලාගත්තා නම් එයාව විනාස කරලා දාන්න හිත හදාගන්න පවනිට බෑ.පවනි කඳුළු වැල් වැල් ගලාගෙන යනකොට එහෙම හිතන්න ගත්තා.

“ඔය උඩරට මිනිස්සු සෑහෙන්න දේවල් හිතනව.දැන් ඔයා පෝරුවට නගින්නෙ වුණත් කොහොමද?”

යාලුවෝ  කියන්නේ ප්‍රශ්නයක් ඇති වුණු වෙලාවට හිත නිවන අය මිසක් හිත ගිනි තියන අය නෙවෙයි කියලා පවනිට හිතෙන්නේ මෙහෙම වෙලාවට.”ඔයාලා වැඩිහිටි අය.කලබල නොවී තීරණයක් ගන්න”කියලා කියන්න පුලුවන් වුණානම් මේ යාළුකම මොනතරම් ලස්සන වෙයිද කියලා පවනිට මේ කලබල මැද්දෙත් හිතෙනවා.

“ඔයාලාගෙ අම්මා මොනවා කියයිද?”

ඔමාලි එහෙම අහනකොට ඒකට උත්තර දුන්නේ ආශා.අන්න ඒ වෙලාව නම් මෙච්චර වෙලා දරාගෙන හිටපු වේදනාව ඉවර කරන වෙලාව කියලා පවනි තීරණය කළා.පවනි ඉකි ගහ ගහ අඬන්න ගත්තේ ආශාගේ උත්තරෙන් හොඳටෝම හිත රිද්දාගෙන.

“ඔයාගේ අම්මගෙ පපුව පැලෙයි.ඒ වගේ ආරංචියක් අම්මා කෙනෙක් දරා ගන්නෙ කොහොමද?”

කඳුළු පිහදාන ගමන් පවනි තීරණයක් ගත්තා.මේ අහඹු පිළිසිඳ ගැන්ම පවුලේ අය කොහොම දරා ගනීද කියන්න ඇය දන්නේ නෑ.ඒත් Toxic කියන වචනේ ප්‍රේමයට විතරක් අදාළ දෙයක් නෙවෙයි.ඒක මිත්‍රත්වයටත් බොහොම බලපානවා.ජීවිතය සම්බන්ධයෙන් වැදගත් තීරණයක් ගන්න සිද්ධ වුණු මේ මොහොතේ මිතුරියන් කළේ තමන්ගේ මානසික මට්ටම සෘණ අගයකට ඇදලා දාපු එක නේද කියලා පවනි දිගින් දිගටම හිතුවා.

ගිහාන්ගේ අම්මා!

යාලුවෝ හොඳටෝම රිද්දපු හිතත් එක්ක කරන දෙයක් ගැන හිතමින් ඉන්න පවනි ගැස්සිලා ගියේ ඒ ඇමතුමට.වෙනදාට ගිහාන්ගේ අම්මා දෙන ඇමතුම තරම් මේ ඇමතුම ආදරණීය වෙයිද කියලා පවනි හිතුවේ ඇමතුමට සම්බන්ධ වෙනවද නැද්ද කියලා දෙහිතකින් ඉන්න ගමන්.හොඳටම බැනුම් අහන්න හරි හිත හදා ගත්තු පවනි “අම්මේ” කිව්වේ ඉකියට මතු වෙන්න ඉඩ නොදී.

“මම පුතාට කිව්වෙ ඔයාව තනියම බෝඩිමෙ තියන්න එපා කියලා.”

ගිහාන්ගේ අම්මාගේ කටහඬ වෙනදා වගේම ආදරණීයයි.

“මල් පිපෙන්න ඕන මේ මේ කාලෙට කියලා දෙයක් නැහැ පුතේ.ඔයාලට රස්සාවක් තියනවා.දරුවා හදන්න පුලුවන් කියලා ඔයාලා දෙන්නා එකතු වෙලා තීරණය කළානම් එයාට ලෝකෙට එන්න දෙන්න.අපි අනිත් ප්‍රශ්න ඉක්මනින්ම පිළිවෙලක් කරමු.”

ගිහාන්ගේ අම්මා එහෙම කියනකොට පවනිට පිළිතුරක් හොයා ගන්නත් බැරි වුණා.අහම්බයක් මේ තරම් ආදරෙන් පිළි ගන්න තරම් ගිහාන්ගේ අම්මාගේ හිත විශාලයි.

“මං ඔයාගේ අම්මාටත් කතා කරන්නම්.ඔයාලා පොඩි ළමයි නෙවෙයිනෙ.අපි ඉක්මනින්ම වෙඩින් එකක් ගමු.”

මීට මොහොතකට කලින් ජීවිතේ නැති කරගන්න හිතුව පවනිට ඉතා ඉක්මනින් මනමාලියක් වෙන ආශාවක් දැනෙන්න පටන් ගත්තා.පවනි ගිහාන්ගේ අම්මට සමු දුන්නේ දුක් වළාකුළු ඈතට තල්ලු කරන ගමන්.

“බැන්නද?”

යාළුවෝ දෙන්නට ප්‍රශ්නයක්.මෙච්චර වෙලා අඬමින් හිටිය පවනි නාන කාමරයට යන්න ඇඳෙන් බැස්සේ ලස්සනට හිනා වෙන ගමන්.

“නෑ.ගිහාන්ගේ අම්මා ඉන්නේ සතුටින්.මල් පිපෙන්නේ මලට ඕනෑ කාලෙට කියලා අම්මා කියනව.අපි ඉක්මනින්ම වෙඩින් එකක් ගන්නයි හිතුවේ.”

මීට ටික වෙලාවකට කලින් මානසිකව බිංදුවෙනුත් පහළට වැටිල හිටිය පවනි එහෙම කිව්වේ හිනාවෙන ගමන්.යාළුවෝ කියපු තරමේ මහා භයානක සිදුවීම් එකක්වත් සිද්ධ වුණේ නෑ.ඒත් හිත හදනවා වෙනුවට හිත කඩන්න රිද්දන්න නොපැකිළෙන යාලුවෝ තවදුරටත් තමන් ළඟ ඉන්න ඕනෑද කියලා පවනි දිගින් දිගටම හිතන්න පටන් ගත්තා.

More Stories

Don't Miss


Latest Articles