තමාට වඩා ඉහළ රැකියාවක් කරන නිසාම ලේලියට වෛර කළ විදුහල්පති නැන්දම්මා.

කාන්තාවන් ඊර්ෂ්‍යාව වැඩි අය කියලා සාමාන්‍ය ව්‍යවහාරයට කියවුණත් ඇත්තටම එහි එතරම් සත්‍යයක් නෑ.විවිධ මිනිසුන් එක් එක් අවස්ථාවල හැසිරෙන ආකාරය තමයි ඒ වගේ මත ඇති වෙන්න හේතු වෙන්නේ.

සාම්ප්‍රදායික නැන්දම්මා ලේලි ආරවුල් වලත් නැන්දම්මා බහුලවම ලේලි සමඟ පැටලෙන්නේ ඊර්ෂ්‍යාව නිසා බව කියැවෙනවා.ඒත් එය පුතු සහ ලේලිය අතර සමීප සම්බන්ධතාවය ම නිසා වෙන දෙයක් නෙවෙයි.සමහර නැන්දම්මලා ඉන්නවා ලේලිය සතු සමාජ පසුබිම ඇගේ අධ්‍යාපන පසුබිම සහ රැකියාවට ඊර්ෂ්‍යාවෙන් පසුවෙන.

අද රත්නා පුෂ්පකුමාරි මහත්මිය ඔබට කියන්නේ එවැනි නැන්දම්මා කෙනෙක් ගැනයි.

සුනීතා විශ්‍රාමික විදුහල්පතිනියක්.ඉතා මහන්සි වී දරුවන්ට ඉගැන්වූ ඇගේ දරු දෙදෙනාම ඉහළ රැකියාවන් කරන අය.වැඩිමලිය හර්ෂනී විදෙස්ගත වූයේ ඇගේ රැකියාවේ උන්නතිය වෙනුවෙන්.අම්මාගේ නීති සමඟ ගනුදෙනුවට අකමැති ඇය විදේශයක තනිකම මැකෙන්නටත් දරුවන් බලා ගන්නටත් එක්ක ගියේ තාත්තාව.

සුනීතා රට රාජ්ජවල යාමට වඩා ඇගේ නිවස ප්‍රිය කළා.එකම පුතු තාරක වෛද්‍යවරයෙක්.ඔහු ප්‍රදේශයේ රෝහලකම රැකියාව කරන අතර විශ්ව විද්‍යාල පෙම්වතිය වූ හිමායා සමඟ විවාහ වුණා.හිමායා කොළඹ තරුණියක්.කොළඹ පාසලක ඉගෙන ගත් හොඳ පවුල් පසුබිමක් ඇති ඇය ගැන සුනීතා මුල් කාලයේ කතා කළේ මහා ඉහළින්.නමුත් ඇගේ හැසිරීම් ටිකෙන් ටික වෙනස් වන බව මුලින්ම ඉව වැටුණේ හර්ෂනීට.

“අර නෝන මහත්තය අපේ ඇසිලින් උයන කිසිම දෙයක් කන්නෙ නෑ.”

සුනීතා හර්ෂනීට පැමිණිලි කරත් නෑනා මේ දවස්වල ඩයට් කරන බව දැන සිටි හර්ෂනී අම්මාගේ කතා ගණනකට ගත්තේ නෑ.සමීප ඥාතීන්ගේ කතාබහ අනුව හිමායා අම්මාට නොසලකන බවක් හර්ෂනීට ආරංචි වෙද්දී ඇය ඒ ගැන නිවසේ සේවකයන්ගෙන් සොයා බැලුවා.

“පුංචි නෝනා ගේන බෙහෙත් ලොකු නෝනා විසි කරනවා.කන්න ගේන දේවල් පවා අපේ ළමයින්ට දෙනව.අලුත් ඇඳුම් අල්මාරිය පුරවල තියනව.ඒත් ඒවා අඳින්නෙ නෑ..”

සේවකයන් එසේ කියද්දී හර්ෂනී අම්මාගේ කේලම් ගැන වැඩි සැලකිල්ලක් නොදන්වා ඉන්නට හුරු වුණා.දිනක් යූ ටියුබ් හරහා ලංකාවේ රූපවාහිනී නාලිකාවක මනෝ වෛද්‍ය වැඩසටහනකට සවන් දෙමින් හුන් හර්ෂනීට උතුර දකුණ මාරු වුණා.ඒ පැමිණිල්ලක් යොමු කරන කට හඬ නිසා.ඒ තිස් හය වසරක් තිස්සේ ඇයට පුරුදු හඬ.අම්මාගේ හඬ.

“මං විශ්‍රාමික ප්‍රින්සිපල් කෙනෙක්.මං හරියට අඩන්තේට්ටම් විඳිනව මගෙ ලේලිගෙන්..”

එසේ ඇරඹෙන කතාව අම්මාගේ පුරුදු පැමිණිලි ඔස්සේ ගලා යනවා.නමුත් හර්ෂනීට අම්මාගේ තත්ත්වය යහපත් නැති බව වැටහෙන්නේ ඇය ඊට පසු කියන කතාව නිසා

“මගේ ලේලි ඩොක්ට කෙනෙක්..එයා සේවය කරන රෝහල..” එසේ කියද්දීම අදාළ නාලිකාවේ අය වහාම ඇමතුම විසන්ධි කරනවා.

හර්ෂනී මව්රටට පැමිණ අම්මාව මනෝ ප්‍රතිකාර වලට යොමු කරද්දී අම්මා සිටින්නේ හිමායා සමඟ දැඩි ඊර්ෂ්‍යාවක බවත් එයට හේතුව විදුහල්පතිනියක ලෙස ඇයට තිබූවාට වඩා සමාජ මට්ටමක හිමායා පසුවීම බවත් හෙළි වෙනවා.

ඔබත් හිමායා මෙන්ම කිසිම වරදක් නැතිව නැන්දම්මාගේ ගැරහුම් ලබන්නියක නම් ඔබට කියන්නට ඇත්තේ විවාහයෙන් පසු ඔබ දෙදෙනා තනිව ජීවත් වීමේ තීරණයට වහා එළඹෙන ලෙසයි.ඔබට ස්වාධීන වෙන්නටත් ඔබේ ජීවන රටාව සහමුලින්ම ඇයට හෙළි නොකර ඉන්නටත් ලැබෙන්නේ අන්න එවිටයි.

ඔබට උපදේශනය අවශ්‍ය නම් 071 411 3457 / 0777645921 අංකයෙන් රත්නා පුෂ්පකුමාරි මහත්මිය සමඟ සම්බන්ධ වෙන්න ඔබට පුලුවන්

Related Articles

Don't Miss


Latest Articles