fbpx

පිපුණු මලක රුව.

“අම්මේ…”

පුංචි ශ්වේතා පෙන්නපු දේ දිහා සුජානි මොහොතක් වෙලා බලාගෙන හිටියා.චූටි දූ තව දුරටත් චූටි නෑ.හිතට ආපු ඒ හැඟීම හින්දාම සුජානි දූව වැලඳගෙන ටික වෙලාවක් එකම විදියට හිටියා.

“ළමයින්ට ඕවා කල් තියාම උගන්නන්න ඕන නෑ..වෙච්ච වෙලාවට කිව්වම ඇති..”

නැන්දම්මා එහෙම කෑගැහුවට රුධිර සලකුණක් කියන්නේ මල්වර වීම බවත්, ඒ අදහස ටිකක් බර එකක් බවත් සුජානි ශ්වේතාට ඉගැන්නුවෙ එයා පහ වසරේ ඉන්නකොටමයි.දැන් ශ්වේතාට හත වසරට යන්න මාස දෙකක් ඉතිරියි.ඒත් ඒ පාඩම කල් තියාම ඉගැන්නීම ගැන සුජානිට දැනෙන්නේ සතුටක්.

අනවශ්‍ය ස්පර්ශ ගැන ශ්වේතා ඉගෙන ගත්තේ පුංචිම කාලේදි.ඊටත් පස්සේ යෞවන හැඟීම් ගැන මේ මෑතකදි එයාට උගන්වන්න සුජානි වග බලා ගත්තා.

“අර තාරුකයා එක්ක දැන් නැටිල්ලේ යන්න ඕන නෑ.දැනමුතු වෙන්නෙ කොයි වෙලේද කියන්න බෑ..”

නැන්දම්මා මේ ළඟදි කෑගැහුවේ ශ්වේතා එහා ගෙදර තාරුක පුතා එක්ක ක්‍රිකට් ගහනවා දැකලා.මොකුත් කියන්නත් බෑ.දිල්ෂාන්ගේ අම්මානෙ.දිල්ෂාන් සුජානි තරමටම අලුත් තාලෙට හිතුවට නැන්දම්මා ගැමි පරිසරයක වයසට ගිය අම්මා කෙනෙක්.එයා එක්ක ගැටුම් ඇති කරගන්නත් සුජානිගේ මනාපයක් නෑ.

“පුතේ,ඔයාලා පොඩි කාලේ ඉඳන් සෙල්ලම් කරේ එකටනෙ..පුතාටයි තාරක අයියටයි දැනුත් එකට සෙල්ලම් කරෑකි.ඒත් ආකර්ෂණය ආදරේ නෙවෙයි කියලත් හිතන්න දවසක් සමහරවිට පුතාට එයි..ඒ නිසා පුතාට පුලුවන් පුතාගේ හැඟීම් ගැන ඕන වෙලාවක අම්මාට කතා කරන්න.”

සුජානි ඒ කතාව ඒ විදියට විසඳුවා.

දැන් ශ්වේතා එයාගේ පළමුවැනි ඔසප් වීම ගැන කියල විනාඩි කීපයක්ම ගෙවී ගිහින්.

“රෙදි නැන්දට පණිවිඩයක් දෙන්න..”

කාමරේට කඩා පාත් වුණු නැන්දම්මා අණ කරා.

“අපෝ එපා.එයා මහ නපුරුපාටයි.තාරුකී අක්කගෙ මඟුල් ගෙදර මතකයිනෙ..”

ශ්වේතා වහාම එරෙහි වුණා.

“අම්මි, මට බ්ලීඩ් වෙන හින්දා ස්කූල් යන්න බෑ..”

ඊටත් පස්සේ ශ්වේතා අම්මාට පැමිණිලි කරා.අත්තම්මා වහාම මිනිබිරී ඉස්සරහින් හිට ගත්තේ ඉනේ අත ගහගෙන.

“බෑ තමයි.ඔහොම ඉන්නව නැකැතක් බලනකන්..එතකන් කාමරෙන් හෙල්ලෙන්න එපා..”

සුජානි ඇහැක් ඉඟි මරලා නිශ්ශබ්ද වෙන්න කියලා දූට ඉඟි කළා.ශ්වේතා මොකුත්ම නොකියා බිම බලා ගත්තා.

මිනිබිරීට උපදෙස් දාහක් දීපු අත්තම්මා කාමරෙන් එළියට ගියාම සුජානි ආයේම දූ ගාවට ආවා.

“අම්මි, මට ගොඩක් කල් කාමරේ අස්සෙ ඉන්න බෑ.මම කියන්නෙ මේ බ්ලීඩ් වෙනවා මට පුරුදු නෑ නිසා දවසක් දෙකක් ගෙදර ඉන්නම් කියලා..”

ඇත්ත, මේ අලුත් අත්දැකීමක්.ශ්වේතා ලැබීම ජීවිතේට හුරු කරගන්න තමන්ට කොච්චර කාලයක් ගියාද? එහෙව් එකේ මේ අවුරුදු දොලහක පොඩි කෙල්ලට මේ රුධිර වහනයට ඇඟ හුරු කරගන්න ටික දවසක් යයි.හැම දෙයක්ම කියා දීලා දූ ළඟින්ම ඉන්න සුජානි හිතා ගත්තා.

ඒත්, දිල්ෂාන්ගේ අම්මා කියනවා වගේ වෙලාවක් බලලා චාරිත්‍ර කරන්න ඕනෑම ද? අනිත් එක මේ එකම දූ කියලා උත්සව පවත්වන්න ඕනද? ශ්වේතාගේ සිරුරේ සිද්ධ වුණු අතිශය පෞද්ගලික සංසිද්ධියක් අණබෙර ගහන්න ඕනෑද?

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

ළපෙති මල්

ළපෙති මල් -31

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

හවස දිල්ෂාන් ආවේ සතුට ඉහ මුදුනේ තියාගෙන.දුවෙක් දවසින් දවස උස්මහත් වීමේ සතුට අම්මාටත් වඩා ආශාවෙන් විඳින්නේ තාත්‍තා.දූ තමයි මුළු ලෝකෙම කියලා හිතන දිල්ෂාන් කාර් එකෙන් බැහැපු ගමන් දුවන්න ගියේ කාමරේට.

“උඹ කොහෙද යන්නේ?”

අම්මා පුතා ඉස්සරහට පනින හැටි සුජානි බලාගෙන හිටියේ තරමක වේදනාවෙන්.ඒත් ප්‍රතිපත්තියක් විදියට සුජානි නැන්දම්මාගෙ විකාර වැඩ ගැන දිල්ෂාන්ට පැමිණිලි කරන්නේ නෑ.අම්මාගෙයි පුතාගෙයි රණ්ඩු බේරන්නෙත් නෑ.

“මගෙ කෙල්ල ගාවට..”

දිල්ෂාන්ගේ අතේ ලොකුම ලොකු චොකලට් එකකුත් තියනවා.

“දැනමුතු වුණාම නාවනකම් පිරිමි ඇහැ ගැහෙන්න හොඳ නෑ කියල උඹ දන් නැද්ද?”

දිල්ෂාන් අම්මා දිහා බලාගෙන හිටියේ වේදනාවෙන්.ඊටත් පස්සෙ “සුදු මැණික..”කියලා දූට කතා කරද්දී කාමරෙන් අඩියක් එළියට තියන්න එපා කියලා අත්තම්මාගේ තර්ජන අහපු කෙල්ල කාමරෙන් එළියට පැන්නේ වයින් කරපු බෝනික්කෙක් වගේ.

නැන්දම්මාගේ කෑගැහිල්ල පාලනය කරලා තාත්තාත් දුවත් වෙන් කරාට පස්සේ මේ මල්වර උගුලෙන් ගැලවෙන හැටි සුජානි හිතන්න ගත්තා.

“නංගි…”

අක්කා ඇවිත්.අම්මා නැති වුණු දා ඉඳන් අම්මා වුණු අක්කා!!

සුජානිට සැනසීමක් දැනෙන්න ගත්තා.

“අද සඳුදානෙ.හෙටත් කෙල්ලට ගෙදර ඉන්න ඇරලා බදාදා උදේ හොඳ නැකතක් තියනව කියලා දූව නාවමු.ඔය චාරිත්‍රත් නැන්දම්මා ආස නම් කරමු.කාටවත් හිරිහැරයක් නෑනෙ.දූටත් සංස්කෘතිය ගැන උගන්නන්න හොඳ වෙලාවක්.පෝරුවේ චාරිත්‍ර වගේම මල්වර චාරිත්‍රත් හරි ලස්සනයි..”

අක්කා ගාව තියෙන්නේ ලේසි උත්තර.හැබැයි ඒවා හරිම ලස්සනයි.

“පාටිනම් දාන්න බෑ අක්කෙ.රෙදි නැන්දල ඕනෙත් නෑ..”

අක්කා හිනා වුණා.

“පාටි දාලා නටන්න බැරියැ කෙල්ල ඉහළින්ම කැම්පස් සිලෙක්ට් වුණු දවසකට. අපි හොඳ කෑම වේලක් උයලා බර්ත්ඩේ එකක් වගේ මේක සමරමු.මතක තියන දවසක්නෙ.ඔයාලයි අපියි හිටියම මදැයි..බර්ත්ඩේ වුණත් එහෙමනෙ..”

සුජානිට ආවේ සැනසීමක්.හත්මුතු පරම්පරාවට කියන්න කියලා අම්මා පුතාට තර්ජනය කරන හැටි ඇහිලා දැන් ඒහැටි වෙලාවක් නෑ.

“අනික ඉතිං පාටියක් දාන්න තරම් සල්ලි දිල්ෂාන් මල්ලිලගෙ අම්මට තියනවනම් ඉල්ලගෙන ශ්වේතාගෙ එකවුන්ට් එකකට දාමු.තව කාලයක් ගිහින් කෙල්ලට ඉගෙන ගන්න රටකට එහෙම යන්න හිතුණම ප්‍රයෝජන වෙයි..”

මලක් පිපෙන තරමට රැක ගැනීම පහසු නැති බව සුජානි දන්නවා.ඒත් ඇගේ ක්‍රමයට ඒක අමාරු නැති බවත් ඇය දන්නවා.

දුවෙක්ගේ ස්වභාවික සංසිද්ධියක් කියන්නේ ගමටම බෙර ගහන්න දෙයක් නෙවේ. සුජානි හිතුවේ සැනසීමෙන්.

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x