අන් අයව විවේචනය කරන්න එපා.

“හරිම කැතයි අනේ ඔය ඇඳුම නම් ඔයාට”

පවනි එහෙම කියද්දි මනුරි ඇය දිහා බැලුවෙ පුදුමයෙන්.කෙනෙක් මේ තරම් නරකට විවේචනය කරන්න පවනිට පුළුවන් උනේ කොහොමද කියලා ඇය හිතන්න පටන් ගත්තා.

“ඕනෙවට වඩා කර කැපිලානෙ.ඔයා බතල ගෙඩියක් වගේ ඉන්න නිසා ඔක්කොම එලියෙ.හරිම අප්‍රසන්නයි අනේ.”

මනුරිට පුදුමාකාර ලැජ්ජාවක් දැනෙන්න පටන් ගත්තා.මේ ඇඳුම හරිම ලස්සනයි කියලා නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයේ සහායිකාවන්ගෙන් පටන් අරන් ගෙදර හැමෝම කිව්ව හැටිත් අද කාර්යාලයට ආවම අනිත් අය හැමෝම කිව්ව අන්දමත් ඇය කල්පනා කරා.

“හෙවි වර්ක් එකක් තියන නෙක්ලස් එකක් දාන්නකො මනූ ඔය ඩ්‍රෙස් එකට.ඔයා මාරම ලස්සනට ඉඳී.කොන්ඩෙත් කඩලා දාන්න.”

බොලිවුඩයේ නිළියක් පරදවන රුවක් තියෙන හිමාලි එහෙම කියලා තවම විනාඩි කිහිපයක් වත් ගෙවිලා නැතත් පවනිගේ මේ කෙලවරක් නැති අපහාස ගැන මනුරිට දැනෙන්නේ දරාගන්න බැරි ලැජ්ජාවක්.

“අනේ මන්ද පවනි.මම ඔයාට කී දවසක් කියලා තියෙන්නේ මිනිස්සුන්ට ඔහොම කියන්න එපා කියලා.මොකක්ම හරි වැරැද්ද තිබ්බත් ඒක කියන ක්‍රමයක් තියෙනවානෙ.”

මනුරි ඉන්නෙ ලැජ්ජාවෙන් හැකිලෙමින් බව දුටුව විපුලි එහෙම කියද්දී පවා පවනිට කියන්න දේවල් තිබුණා.

“හරි ඉතින් දකින වැරැද්දක් කිව්වම මොකද? නැත්තං ඒක එයා කවදාවත් හදාගන්නෙ නෑනේ.”

එහෙම කිව යුතු වැරදි තිබෙනවා.නමුත් පෙනුමට කරන අපහාස ජීවිත  කාලයේම රිදුම් ලබන්න හේතු විය හැකි බව පවනිට තේරුම් කරන්නේ කොහොමද කියලා විපුලි කල්පනා කළා.

“මෙහෙමනෙ පවනි.ඔන්න කෙනෙක් ඔෆිස් එකේ වැඩ හරියට කරන්නෙ නැත්නම් එයා අපිව යූස් කරනවානම් අපි ඒක ගැන කෙලින් කතා කරන්න ඕන.ඒත් විලාසිතා කියන්නේ කෙනෙක් තෝරගන්න දෙයක්.ඒක ගැලපෙන්නෙ නැත්තං වෙනස් කරගන්න පුළුවන් විදිහේ දේවල් යෝජනා කරනවා මිසක් ඔයා පුදුම කැතයි කියන එක මොන නරක වැඩක්ද?”

පවනිට ඒ කතාවලින් කිසිම ගාණක් නැති බව දැන දැනම විපුලි කියවාගෙන ගියා.

“මම කියන්නේ ඇත්ත.දැන් උත්පලා කොන්ඩේ කලර් කරාම ඔයාලා හැමෝටම එයා ශලනි තාරකාටත් වඩා ලස්සනයි.ඒත් එයා අවුරුදු ගානක් නාකි වෙලා පේනවා කියලා මම කිව්වේ මට පේන දේ.ඇත්ත කියන්න මොකටද බය වෙන්නේ.”

මේ වගේ රලු අදහස් තියෙන කෙනෙක් සමඟ තර්ක කිරීමේ සැබෑවටම ඵල රහිත බව මිතුරියන්ට හිතුණේ ඒ වෙලාවේ.ඇය ඉතා ඉක්මනින් කෙනෙකුට අපහාස කරන්න මැලි නොවන කෙනෙක්.ඒ ඇගේ පුරුද්ද කියලා හිත හදා ගන්නවා ඇරෙන්න දිගින් දිගටම තර්ක කිරීම තවත් හිත රිදවා ගැනීමට හේතුවක් බව ඔවුන්ට හිතුණා.

“අපරාදෙ කියන්න බෑ කෙනෙක්ව ලස්සනට පෙනුණොත් එයාගෙ මොකක් හරි ඇදයක් හොයන්න පවනිට තියෙන්නේ මහ පුදුම හැකියාවක්.”

එරන්දිත් කතාවට මැදිහත් වුණේ දවල් ආහාර ගන්න වෙලාවේ.කාටත් වඩා නරක මතකය තියෙන්නේ එරන්දිට බව අනිත් අයට සිහිපත් වුණේ ඒ වෙලාවේ.එරන්දිගේ විවාහ මංගලෝත්සවයට ගිහින් ඇයට හැඩ ගන්වා ඇති අන්දම කිසිම කමකට නැති බව කියන්න තරම් පවනි කුරිරු වුණේ ඇයි කියලා කාටවත් අදටත් හිතාගන්න බෑ.එදා එරන්දිගේ හිත තදින් රිදුණත් පහුවදා ඇගේ මංගල ඡායාරූප ෆේස්බුක් මත ජනප්‍රිය වීම නිසා එරන්දි හිත හදාගන්න ඇති.එරන්දි මනාලියක් ද සුරංගනාවියක් ද කියලා හොයන්න අපහසු බවට නොදන්නා තරුණියන් කමෙන්ට් කරද්දී සතියට දවස් පහක් පැය ගණනක් එකම තැන රැකියාව කරන පවනි තමන්ගේ හිත ඒ තරම් තදට රිදවපු හේතුව එරන්දිට තවම ප්‍රහේලිකාවක්.

“වෙන මොකුත් නෙවෙයි අනේ කුඩුකේඩුකම.”

ප්‍රශ්නයට පිළිතුරු ලැබුණු හදිසියේ. එහෙම කිව්වේ අනුත්තරා.කෙනෙකුට එතරම් දරුණු චෝදනාවක් කරන එක නරක වුණත් අනුත්තරා කිව්වේ බොරු නොවන වග අනිත් අය හිතන්න පටන් ගත්තා.

“එයා හැමතිස්සෙම ඇදයක් දකින්නේ අනිත්‍ අය හොඳක් දකින දෙයක් ගැන.මනූගේ බ්ලවුස් එක ඒ ෂොප් එකේ වෙබ් සයිට් එකෙන් දැකලා ඉස්සරලම ස්ක්‍රීන් ෂොට් ගැහුවෙ එයා.ඒත් ගාණ ටිකක් සැරයි කියලා පස්සෙ කිව්වෙත් පවනි.එහෙමයි කියලා මනූ ඒක ඇන්දම කැත වෙන්න විදියක් නෑනෙ.”

කෙනෙක් මානසිකව ඇද වැටිලා ඉන්න වෙලාවට උඩ පැන පැන තලන්නත් පවනිට අමතක නොවන බව මතක් වුණේ මනුරිට.කාලෙකට කලින් ආයතනයේ සේවය කළ බිමාලි මහත බවත් ඇය එන්න එන්න පුෂ්ටිමත් වන බවත් පැයකට සැරයක් සිහිපත් කරන එලාම් එක බවට ඒ කාලයේ පත් වෙලා හිටියෙ පවනි.කාන්තාවන්ට ආවේනික රෝගයකින් තමන් පීඩා විඳින බව හෙළි කරන්න බිමාලි කල්පනා කළේ ඒ අපහාස දරාගෙන ඉන්න නොහැකිව වුණත් ඉන්පස්සේ සිද්ධ වුණේ තවත් විනාශයක්.ඒ රෝගය සහිත කාන්තාවන්ට මවක් වීමේ හැකියාව අල්ප බව අන්තර්ජාලයෙන් නිරන්තරයෙන් හොයන්න පවනි ඉන්පස්සෙ වග බලාගත්තා.ඒ දේවල් ගැන ඇයට මොනතරම් දොස් තැබුවත් පවනි කිසිම දවසක තමන්ගේ කැත පුරුද්ද නතර කරගත්තේ නැහැ.දැන් බිමාලි නිවුන් දරු දෙදෙනකුගේ අම්මා කෙනෙක්.ඇය දැන් පූර්ණකාලීනව දරුවන් වෙනුවෙන් කැප වෙලා ඉන්න නිසා පවනිගේ කට කැඩුණු කතා අහන හිරිහැරය දැන් ඇයට අයිති නැහැ.

“අපි දැන් අවුරුදු කිහිපයක් තිස්සේ එයා හින්දා හිත රිද්ද ගන්නවා නේද? එයාව හදන්න බැරිනම් අපි හැදෙමු.”

සමහර මිනිස්සු විෂ විදින සර්පයන්ට සමාන බවත් ඔවුන්ගෙන් ඈත් වී හිඳීම මිස ඔවුන්ව සකස් කිරීම කරන්න අමාරු බවත් මිතුරියන් සාකච්ඡාවට ගන්න පටන් ගත්තේ ඉන්පසුව.හිත රිදෙන දේවල් වලින් පුළුවන් තරමට ඈත් වීම හිත හදා ගන්න පහසුම මාර්ගයක් කියලා ඔවුන් තීරණය කරන්න පටන් ගත්තා.

පවනිගේ කතාව නිසා උදේ ඉඳලම වේදනාවෙන් හිටපු මනුරි මහ හයියෙන් හිනාවෙන්න පටන් ගත්තේ විශාල විහිලුවක් ඇහුණු ගාණට.සේරම අමතක කරලා ජංගම දුරකථනය දිහා බලාගෙන හිනා වෙන ඇය දිහා අනිත් මිතුරියන් බැලුවෙ පුදුමයෙන්.

“මං හිටියේ හරියට හිත රිද්දගෙන.ඔයාලා නම් වැඩ නිසා දකින්න නැතුව ඇති.මං පවනිගෙ හැසිරීම ගැන කියලා SmartLady ගෲප් එකට නිර්නාමික පෝස්ට් එකකුත් යැව්වා”

හැම වෙලාවකම තවත් කෙනෙක්ගේ හිත හදන්න බලාගෙන ඉන්න සාමාජිකාවන් මනුරිට හිනා යන මොනවා හරි කියන්න ඇති.සමාන අත්දැකීම් බෙදා ගන්න ඔවුන් හැම වෙලාවෙම උත්සාහ කරන නිසා සමහරවිට පවනිට වඩා නරක අය ගැන එතැන විස්තර ඇති.අනිත් අය එහෙම හිතද්දී තමන්ගේ හිනාවට හේතුව බෙදා ගන්න මනුරි අමතක කළේ නෑ.

“පවනි එතෙන්ට කමෙන්ට් එකක් දාලා,අනුන්ගේ දේවල් කතා කරන මිනිස්සු නම් ඊයා.ඔයා ඕවගෙන් හිත රිද්දා ගන්න එපා කියලා.”

මනුරිගේ මහා හිනාවට අනිත් මිතුරියන් එකතු වෙනකොට එරන්දිට කියන්න තවත් කතාවක් තිබුණා.

” ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ ඕවට තමයි.”

More Stories

Don't Miss


Latest Articles