නිහඬ සිල්ලරය

එතකොට මම විශ්වවිද්‍යාලය හතරවෙනි  අවුරුද්ද හිටියේ. නිවාඩුවක් හම්බ වෙච්ච ගමන්ම අම්මාවයි  තාත්තවයි බලන්න මම නුවර දුවගෙන ගියා .තාත්තා නම් කැමති වුණේ නෑ මම රස්සාවක් කරනවට. ඒ උනාට මම හරි ආසයි ඉගෙන ගන්න .ඒ හින්දමයි විශ්වවිද්‍යාලයට ගියේ.  විශ්වවිද්‍යාලයේදී මම ඉගෙන ගත්තේ කතක් නැටුම් සම්ප්‍රදාය .තාත්තට නුවර ගොඩක්  රබර් වතු තේ වතු තිබුණා. තාත්තා කලේ වතු පරිපාලනය .ගොඩක් දවස් ඉඳන් තාත්ත එයාගෙ වතුවල පරිපාලන වැඩ බාර දෙන්න හොඳ දක්ෂ පිරිමි ළමයෙක් හොය හොය හිටියේ. පත්තරේ දැන්වීම් කීපයක් දාලා තිබුණා .ඒ අතරින් කෙනෙක් හම්බවුණා කියලා එදා අම්මා දුරකතනයෙන් කතා කරන කොට මට කිව්වා .
එදා මම ගෙදර ගියපු ගමන්  ගියේ තාත්තගේ  කන්තෝරු කාමරයට. තාත්තව හම්බවෙන්න. එතකොට කළු කෙට්ටු සෑහෙන්න උස පිරිමි ළමයෙක් එතන ඉඳගෙන තාත්තගේ ෆයිල් වල වැඩ කර කර ඉන්නවා මම දැක්කා .කණ්ණාඩි දෙකකුත් දාගෙන හිටපු ඒ පිරිමි ළමයාගේ ලොකු විශේෂයක් මම  දැක්කේ නෑ .
තාත්ත මාව දැක්කහම පුරුදු විදිහටම හිනා උනා.

දුව දැන්ද ආවේ…..

කියල අහනකොට ඒ පිරිමි ළමයත් ඔලුව උස්සලා බැලුවා .

අමයුරු…… මේ ප්‍රත්‍යන්ගිරා මගේ දුව ….

මං හිතුවා එයත්  අනිත් අය වගේම මගේ නම ටිකක් අමුතු හින්දා ඇස් ගෙඩි දෙක උඩ දාලා ප්‍රත්‍යංගිරා…… ෂා හරි ලස්සන නමක් ඒක…… හරි අමුතු නමක්…….
වගේ දෙයක් කියයි කියලා ….

එයා පුංචි හිනාවක් පාලා ආපහු ෆයිල් එක දිහාම බලා ගත්තහම මට නම් හිතුනේ ඒ අමයුරු ද කවුද කියන එක්කෙනා මහලොකු කමින් පිරිච්ච මනුස්සයෙක් කියලයි .

මම තාත්තව හම්බවෙලා කතා කරලා ආපහු ගෙදර යන්න ගියා. එදා හැන්දෑවේ මම ආපහු තාත්තගේ කන්තෝරුව පැත්තට ගියේ සෑහෙන දවසකින් තාත්තාව  නිදහසේ හම්බෙලා කතා කරන්න හම්බ වෙච්ච නැති හින්දයි .
මම යනකොට තාත්තා හිටියේ නෑ. අමයුරු  හිටියේ  සල්ලි වගයක් ගණන් කර කර රබර් බෑන්ඩ් දදා ..

සර් පොඩ්ඩක් එළියට ගියා…..

කියලා අමයුරු  මට උත්තර දුන්නේ මම ප්‍රශ්නය අහන්නත් කලින් .ඒ විතරක් නම් මදෑ… බිම බලාගෙනමයි උත්තර දුන්නෙ මගේ මූනවත් බැලුවෙ නෑ …මහ මොකෙක්ද මන්දා ….මට හිතුනා .

ඔයා අමයුරු කිව්වා නේද ….

ඔව්…..

මීට කලින් කොහේ හරි වැඩකරලා තියෙනවා ද….

නෑ……

මොකද කතා කරන්න බැරිද තනිවචනෙන්  උත්තර දෙන්නේ….

එහෙම කිව්වම නං කළු කෙට්ටු දිගන්තය මං දිහා බලලා හිනා උනා .

මිස් දන්නවද මිස්ගෙ නමේ තේරුම…..

දෙවි කෙනෙක්ගෙ නමක් කියන්න නම්
දන්නවා …

.අතරවාන භද්‍රකාලි, ප්‍රත්‍යාංගිරා , සිංහමුඛ ලක්ෂ්මි කියලා කියන්නේ ශක්තිත්  එක්ක සම්බන්ධ හින්දු දේවතාවියක්. සිංහ සහ මිනිස් ස්වරූපයේ සංයෝජනය…..
ඒ කියන්නේ……..හොඳ සහ නරක සමතුලිතතාවය නියෝජනය කරන දේවතාවියක් …

ඇත්තටම මම අමයුරු දිහා බලාගෙන හිටියේ පුදුමයෙන් තමයි .

අමයුරු  කොහොමද එච්චර විස්තරයක් දන්නෙ …….

කියලා මම ඇහුවම අමයුරු හිනා උනා ..

තාත්තට දේවාලයක් වත් තියෙනවද…….

කියල අහල මමත් හිනා උනා .
එදා අපි රෑ කෑම කන කොට තමයි තාත්තා කිව්වේ අමයුරු උපාධි කාරයෙක්  කියලා .
තාත්තා ගාව වැඩට ඇවිල්ල තියෙන්නේ දුර රස්සාවකට යන්න බැරි හින්දලු.  අමයුරු ගේ අම්මා ගොඩක් අසනීපෙන් ඉන්න නිසා අමයුරුට අම්මව දාලා දුර ඈතක රස්සාවට යන්න බැහැයි කියල තමයි තාත්තා කිව්වේ .මට පව් කියලත් හිතුණා .අවුරුදු විසි හතරක් පුරාවට ම මම ප්‍රත්‍යාන්ගිරා කියලා දැනගෙන හිටියට කවදාවත් මම උත්සාහ කළේ නෑ ප්‍රත්‍යංගිරා  කියන නමේ තේරුම හොයන්න ..සමහරවිට නම ඇහුනට පස්සේ අමයුරු  ඒ ගැන විස්තර හොයා ගත්තද දන්නෙත් නෑ …ඒ කොහොම වෙතත් මට වඩා අමයුරු අඩියක් හරි ඉස්සරහින් ඉන්නේ කියන එක නම් මට තේරුණා .ඊට පහුවෙනිදා දවසෙත් මම නිකං හිටපු හින්දා තාත්තගේ කන්තෝරුව පැත්තේ ගියේ ගෙදර ඉන්න පාලුයි කියලා හිතුන හින්දා .අමයුරු එයාගේ මේසේ ඉඳගෙන හිටියේ නෑ. තාත්තා කිව්වේ එදා පඩි දවස හින්දා මිනිසුන්ගේ පැමිනීම් ලේඛන එකතු කරගෙන එන්න වත්ත පැත්තට යන්න ඇති කියලයි .මම අමයුරු ගේ මේසෙ වාඩි වුණා. එයාගේ වැඩ කරන පොත් නිකන් පෙරළලා බැලුවා .

දුක දැනෙන හැම තැනම
ගියානම් අඩන්නට
නිමක් නෑ කතාවට
අගක් නෑ නිමාවට

කදුල ඉතින් බිම බලන්න
මම බය නෑ මේ අහන්න
කදුලු ගගේ ඔරු පදින්න
හිනාව හබලකි දිනන්න

අරමුන ඇත ජයගන්නට
බාදක ඇත මහමෙරකට
සිනහව දිව ඔසුවකි මට
මට මං මිස වෙන කව්රුද

මොනවා  දිහා ද ළමයා ඔය ගල් ගැහිලා වගේ බලාගෙන ඉන්නේ…….

කියලා තාත්තා මගෙන් අහනකොට මම ඇත්තටම ගැස්සුනා .ඇත්තටම එක එක මිනිස්සුන්ගෙ ජීවිත ඇතුලේ වචනයෙන් කියන්න බැරි කතා කොයි තරම් තියෙනවද ..මට අමයුරු ගැන දුක හිතුනා. ඊලඟ දවසෙ හම්බුනාම ඊට වඩා කරුණාවන්ත විදිහට කතා කරන්න ඕනේ කියලා මට හිතුණා.

බ්‍රෙන්ඩා නොවර්ක් ගේ  බිෆෝ වී වර් ස්ට්‍රේන්ජර්ස් පොත අමයුරු ගේ පොත් අතර තිබිලා මට හම්බුනා. එදා දවසෙ වෙන කරන්න වැඩක් නොතිබුන හින්දා මම හවස් වෙනකන්ම පොත කියෙව්වා. එකේ කතාව ලස්සනයි .තමන්ගේ  අම්ම තාත්තත් එක්ක රණ්ඩුවක් ඇති කරගෙන උදේ බලනකොට අම්මා මැරිලා ඉන්න වා.අම්මව තාත්තා මැරුවා කියලා කියන්නත් බැහැ නමුත් එහෙම නොවුණා කියලා කියන්නත් බැහැ ඒක නිකං රහස් පරීක්ෂක කතාවක් වගේ ..මම දවල්ට කන්න යන්නෙත් නැතුව ඉඳගෙන ඒ පොත කියෙව්වා.මහා කුණු වැස්සකට පස්සේ තෙමිච්ච කුකුලෙක් වගේ දිය නාගෙන අමයුරු කන්තෝරු කාමරයට ආවේ වත්ත මිනිස්සුන්ගෙ පඩි නඩි සේරම බේරලා ඉවරවෙලා .

මම ඔයාගේ පොත කියෙව්වා ..

මොන…

before we were strangers ……ඒක ලස්සනයි  ……

එයාගෙ සාක්කුවෙන් එලියට ගත්තු ලේන්සුවෙන් තෙමිච්ච ඔලුව පිහ දම දමා අමයුරු හිනා උනා.
ජීවිතේ පලවෙනි වතාවට කලු කළු කැත කෙට්ටු උස කොල්ලෙක් ගේ හිනාව ලස්සනයි කියලා මට හිතුණා .ඒ හිනාව හරි අහිංසකයි .

අමයුරු ගේ අම්මට මොකද වෙලා තියෙන්නෙ ..

එයා ඔළුවේ වතුර පිහදාගන්න කං  ඉදල මම ඇහුවා .

අම්මට කැන්සර් එකක් මිස් ….අම්මව දාලා මට දුර පළාතකට යන්නත් බැරි ඒකයි…… එයාට ටිකක් අමාරුයි .දැනට බෙහෙත් නං කෙරීගෙන යනවා .

මහා පණ්ඩිතයා වගේ මම අමයුරු ගෙ  අම්මගෙ අසනීපය ගැන ඇහුවට ඉන් එහාට කියන්න ඕනේ මොනවද කියල හිතාගන්න බැරි වුණා .මෝඩ ගොලුවෙක් වගේ මම අමයුරු ගේ මූණ දිහා බලාගෙන හිටිය.

මිස් …..එහෙනම් ඔය පොත කියෙව්වා නේ…. එහෙනම් අද ගෙනිහිල්ල මේක කියවල බලන්න… unforgatable you… මේක ලියලා තියෙන්නෙත් ඕක ලියපු කෙනාම තමා . මම අමයුරුගේ පොත අතට ගත්තේ හීනෙන් වගේ.මේ වගේ දැනුමක් තියෙන මනුස්සයෙක් මෙතන කොටුවෙලා ඉන්න එක අපරාදේ කියලා  මට හිතුනා .
ඊට පහුවෙනිදා මට අමයුරු  හම්බුනේ නෑ. ඊට පස්සේ මට ආපහු කැම්පස් එකට යන්න වුණා.අපේ අන්තිම විභාගය ගොඩක් අමාරුයි. මම අන්තිම විභාගයට මූණ  දෙන්න හරි බයෙන් හිටියේ .පාඩම් කරන්න කියලා ගෙදර ආවට හැමතිස්සෙම  මගේ හිතේ අමුතු බයක් තිබුන  විභාගයට ලියාගන්න බැරි වෙයි කියලා .විභාගයට කලින් දවසෙ හැන්දෑවෙ මම තාත්තගේ කන්තෝරුව පැත්තේ ගියේ අමයුරු ත් එක්ක කතා කරලා හිත ටිකක් හදාගන්න පුළුවන් වෙයිද කියල බලන්නයි.

මිස් මොකද හිත කරදරෙන් වගේ ..

මම හිනා උනා .

හෙට ෆයිනල්  එක …. හිත කියනවා මට විභාග ලියාගන්න බැරි වෙයි කියලා …….

ඇයි පාඩම් කරගන්න හම්බ උනේ නැද්ද……

ඒක නං ඕනවටත් වැඩිය කලා …..

ඉතින් එහෙනම් බයේ ඉන්නේ ඇයි……

අනේ මන්දා…… මට බයයි …..මගේ හිත කියනව මට බැරි වෙයි කියලා……

අමයුරු  මන් දිහා බලලා හිනා උනා.
ඔන්න බලන්නකො…. මම එහෙනම් මිස්ට පොඩි මැජික් එකක් කරනවා…… මගේ ළඟ තියෙනවා පොඩි මැඡික් කාසියක් …..ඔන්න බලන්න…. ඒක අපි උඩ දාමු …..මූණ පැත්ත  වැටුනොත් මිස් අනිවාර්යෙන්ම විභාග‍ය ලියලා පාස් වෙනවා. අනිත් පැත්ත වැටුනොත් ඉතින් මිස් විභාගෙට යන්න ඕනෙත් නෑ ……
ඒ කියන්නේ ඉතින් අනිවාර්යෙන්ම ෆේල් වෙනවාම තමයි…….

මට හිනා ගියා …..

අනේ… අනේ…… මං හිත හදාගන්න  කියල මෙයා ගාවට ආවා ……දැන්  කාසිය අනිත් පැත්ත වැටුනොත් එහෙම මට යන්න හිතෙන්නෙම නැති වෙයි …එහෙම කියලා මම හිනා උනා…

ඔන්න ඕකනේ කියන්නේ….. උඩ දාන්නත් ඉස්සෙල්ලා ඉතිං මිස් බය වෙලා නේ ….අපි දෙන්නම ප්‍රාර්ථනා කරමු.. මේකෙ මූණ පැත්ත වැටෙන්න කියලා. මිස්ට විභාගය ලියන්න අනිවාර්යෙන්ම පුළුවන් වෙන්න කියලා …. මිස් දන්නවා ද  හදවතින්ම දෙයක් ප්‍රාර්ථනා කළහම ඒක අනිවාර්යෙන්ම හම්බෙනවා. මේක නිකං  කාසියක් නෙමේ…. බලය තියෙන එකක් …..

කාසියේ  කතාව කොයි තරම් ප්‍රාථමික වුණත් විශ්වවිද්‍යාල උපාධිධාරියකුයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයාවකුයි  අතරේ සිද්ධ වෙන්න පුළුවන් හාස්‍යජනකම කතාව ඒක වුණත් ඒ ප්‍රාථමික අහිංසක සංසිද්ධි යෙන් මගේ කැඩිලා බිදිල විසිරිලා තිබිච්ච හිත ගොඩක් හැදුනා .
මමත් ඉතින් අර පරණ හින්දි චිත්‍රපටිවල වගේ ඇස් දෙක වහගෙන ප්‍රාර්ථනා කළා.නිකනුත් නෙමෙයි හිනා වෙවී……  කාසියේ  මූණ පැත්තම වැටෙන්න කියලා….. මාත් එක්කම අමයුරුත් ඒක ප්‍රාර්ථනා කළා කියලා නම් මම දැක්කා. ඊට පස්සේ අමයුරු කාසිය උඩ දැම්මා. පුදුමෙනුත් පුදුමයි…. කාසියෙ  මූන පැත්ත තමයි වැටුණේ….. මට හිනා ගියා….
අමයුරු ත් හිනා උනා.

ඔන්න බලන්න…. මම බොරුද කිව්වෙ මිස්ට අනිවාර්යෙන් හෙට ලියල දිනන්න පුළුවන්…..

ඒක නිකම්ම නිකම් කාසියක්  උනාට මගේ හිතේ තිබුණු බය සම්පූර්ණයෙන්ම නිදහස් වුණා. ඇත්තටම මට පහුවෙනිද ගිහිල්ලා හිත සන්තෝසෙන් විභාගේ ලියන්න පුළුවන් වුණා. විභාගෙ ඉවර වෙලා මම ගෙදර ආවා. ඊට පස්සේ විභාගයේ අවසාන ප්‍රතිඵලය එන්න  මාසයක් විතර කල් ගියා. ඒ හින්දා තාත්තා මාව කන්තෝරුවෙ වැඩට ගෙන්න ගත්තා .ගොඩක් පොත්  මමයි අමයුරු යි  හුවමාරු කරගත්තා. මගෙ ළඟ තිබිච්ච පොත් මම අමයුරුට දුන්නා. වත්තෙ පඩි නඩි  බේරන දවස්වලට අමයුරු මාව එක්කගෙන ගියා .ඒව කරන හැටි කියලා දුන්නා .එදා වත්ත මැද්දෙදි හරි තදට වහින්න ආවා. මටත් ඉතින් ඒ වගේ වෙලාවට පොඩි ළමයෙක් වෙන්න හිතෙනවා නේ …..

අනේ අමයුරු…. අපි දෙන්නම ප්‍රාර්ථනා කරමු කෝ වහින්න එපා කියලා…… අර ඔයාගේ මැජික් කාසිය උඩ දාන්නකෝ .එහෙම කියලා මම කිව්වේ හරියට පොඩි එකෙක් වගේ….
අමයුරු  හිනාවෙවී එයාගෙ පර්ස් එකෙන් මැජික් කාසිය අරගත්තා .අරගෙන අපි දෙන්නම ප්‍රාර්ථනා කළා මේ හෙන ලොකු වැස්ස ආපහු  යන්න කියලා…

එහෙම හිතලා එයා කාසිය උඩ දැම්මා. ඒකෙ මූණ පැත්ත තමයි වැටුණේ….
අපි දෙන්නටම හිනා ගියා.
වැස්ස..වැස්ස ද නැද්ද නම් දන්නෙ නෑ…. ඊට කලින් තාත්තා අපි දෙන්නා එක්කං යන්න ආවා. ඒ හින්දා අපි දෙන්නා ආවා .පුංචි වෙලාවකට හරි පොඩි උන් දෙන්නෙක් වගේ හැසිරෙන්න හම්බෙච්ච එක නම් ලොකු දෙයක් .අපි දෙන්නගෙම හිත් වල තිබිච්ච දුක වේදනාව බර නිදහස් වෙලා සැහැල්ලුවෙන් හිනාවෙන්න පුළුවන් කාලයක් උදා වුණා .

එදා උදේ මම කම්මැලි නැතුව තාත්තත් එක්ක කන්තෝරුවට යන ලෑස්ති උනේ උනේ අමයුරුත් එක්ක දවස ගෙවන්න තිබිච්චි උවමනාව හින්දයි.
ඒත් කන්තෝරුවට ගිහිල්ලා පැයක් යනකනුත් අමයුරු  ආවෙ නැහැ .
ඊට පස්සේ අමායුරු  දුරකථන ඇමතුමක් දුන්නා තාත්තට. එයාගේ අම්මට හොඳටම අමාරු වෙලා ඊයේ රෑ ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කළා කියලා .එයා කතා කළේ අඬ අඬ කියලා තාත්තා තමයි කිව්වේ .ඒ වගේ පිරිමියෙක් අඬ අඬ කතා කරනවා කිව්වහම මට පුදුම හිතුනා .අපි නොදන්න සංවේදී තැන් මිනිසුන්ගේ ජීවිතේ තියෙන්න පුළුවන් කියලා මට තේරුනේ එතකොට .මම තාත්තත් එක්ක වාහනයේ නැගලා ඉක්මනටම ඉස්පිරිතාලෙ යන්න පිටත් වුනේ ඒ මාසය ඇතුළත දී අමයුරු මගේ හිතට ගොඩක් ලං වෙලා හිටපු හින්දා.අපි යනකොට අමයුරු  බයවෙලා වගේ ඉස්පිරිතාලෙ දැඩි සත්කාර ඒකකය ලඟ බිත්තියට  හේත්තු වෙලා හිටියා .අපිව දැක්ක ගමන් එයා කඳුළු පිහදගෙන අපි දිහා බැලුවා .
එකපාරටම තාත්තා අමයුරු ගෙන්  ඇහුවෙ ..

මොකද පුතේ වුණේ ..

කියලයි.. තාත්ත එහෙම අහනකොට අමයුරු ට ඒ වචන දරාගන්න බැරි වුණා .

ඊයේ රෑ අම්මට එකපාරටම අමාරු වුණා සර්…. .මේ දැන් පැයකට විතර කලින්  දැඩි සත්කාර ඒකකයට  දැම්මා. ..

එහෙම කියලා අමයුරු කිව්වේ එයාගේ කඳුල නවත්තගන්න බොහොම උත්සාහයක් දරමින් කියලා නම් මට තේරුණා .එතකොටම එතනින් යන්න ආපු දොස්තරත් එක්ක කතා කරන්න තාත්තා ගිය හින්දා මම අමයුරු  එක්ක තනි උනා .මොනවා කියන්නද කියල හිතා ගන්න බැරි වෙච්ච මම අමයුරු ගාවට ගියා .

අමයුරු….. අනේ මං ගැන මුකුත් හිතන්න එපා………. ඒත් පොඩි දෙයක් කරමු…… අපි ඔයාගේ අර මැජික් කාසිය උඩ දාමු……… බලන්න ඔයාගේ ඒ කාසිය හින්දා මට පුළුවන් වුණා එදා විභාගය ලියාගන්න….. වැස්සා ද නැද්ද දන්නෙ නැති වුණාට එදා තෙමෙන්නේ නැතුව බේරිලා ඉන්නත් පුලුවන් උනා……….. නේ…..නේද ….. අපි දෙන්නම ප්‍රාර්ථනා කරමු අම්මට සනීප වෙන්නේ කියලා….. එහෙම කියලා ඔයාගේ කාසිය උඩ දාන්න…… කෝ ගන්නකෝ එක එලියට…….

අමයුරු මගේ මුහුණ දිහා බලාගෙන හිටියේ කඳුළු පිරිච්ච මූනෙන්.  ඒ මූණෙන් මොනවද කියන්න හදනව වගේ මට තේරුණා .

ඇයි …. ඇයි ……ඔයා මොකුත් නොකියා බලාගෙන ඉන්නෙ ……කාසිය නැතිකර ගත්තා ද ……ප්ලීස් ගන්නකෝ මම කියන හින්දා ……කාසිය එක පාරක් උඩ දාන්න ප්ලීස්…….

මම එයාට කිව්වා .අමයුරු කඳුළු පිරිච්ච ඇස් වලින් ඔලුව දෙපැත්තට වැනුවා. එයාගේ පර්ස් එක ඇරලා  කාසිය එලියට  ගත්තා.

මෙහෙ දෙන්න …..අද  උඩ දාන්නේ මම…. එන්න අපි දෙන්නම ප්‍රාර්ථනා කරමු …….මම එයාගේ අතින් කාසිය ගත්තා .කාසිය  උඩ දාන්න හදපු මම දැක්ක දෙයින් ගල් ගැහුනා .

දෙවියනේ ……. කාසියේ දෙපැත්තෙ ම තියෙන්නේ මූණවල් නේ…..කොහොම උඩ දාලා කොහොම දැම්මත් වැටෙන්නේ මුහුණ ම තමයි.මම අමයුරු දිහා   බලාගෙන හිටියේ කඳුළු පිරිච්ච පුදුමය පිරිච්ච ඇස් වලින්………..

More Stories

Don't Miss


Latest Articles