සීත මාරුතේ -30

“මේ මන්දාකිණී ලොකු තාත්තෙ. ෆාම් එකේ වැඩ ටික ඔක්කොම බලා ගන්නෙ දැන් මෙයා. මං අපේ ඉස්සර කාලෙ ගැන කිව්වහම ලොකු තාත්තව බලන්න ආසයි කිව්ව. අම්..ඉතිං මං එක්කං ආව”

මුණිවර මා ව සිය ලොකු තාත්තා ට හඳුන්වා දුන්නේ එසේ ය. ජීවිතය ගැන බලාපොරොත්තු අත් හැර දැමීම නිසා වල් වැදී ඇති පංචස්කන්ධයක් සේ පෙනුණ ලොකු තාත්තා ගේ දෑස් වලින්, මම අල්ප මාත්‍රික ජීවයක් දුටිමි. මුණිවර කියන්නේ ඇතැම් විට ඔහු ගේ ජීවිතයේ වන එක ම සතුට වන්නට පුළුවන. ඒ ඇස් කීවේ එවැනි කතාවකි.

ලොකු තාත්තා මගේ කේෂාන්තයේ සිට පාදාන්තය තෙක් ම බැලුවේ ය. මොන හේතුවක් නිසා ද මන්දා මම නැවී ඔහු ගේ දෙපා වැන්දෙමි. ලොකු තාත්තා සිය ගොරෝසු අත් වලින් අල්ලා මා නැගිටුවා, තැන් තැන් වල වල් වැවුණ මිදුලට බුලත් කෙළ පහරක් විද්දේ ය.

“අපූරු කෙලි පොඩ්ඩක්නෙ රජ්ජුරුවො…ම්…”

මුණිවර ගේත් මගේත් ඇස් එක මොහොතකට අවකාශයේ එක තැනක හමු විය. එතැන හදවතේ අමුතු විදාරණයක් මට දැනිණ. එසැනෙන් ඒ බැල්ම අවකාශයෙහි විහිද ගියේ ය.

“මන්දාකිණී ලොකු තාත්ත එක්ක කතා කරන්නකො. මං ඉක්මනට එන්නං”

කියමින් ඊළඟට ඔහු මිදුලේ පසෙක වූ ගල් පඩි කිහිපයක් බැස ගියේ ය.

“ඔය යන්නෙ පරණ යාළුවො හම්බ වෙලා එන්න. මෙහෙ ආවොත් කතා කරල තමයි යන්නෙ. ඉතිං ඉතිං…මං මේ ළමයට දෙන්නෙ මොනාද මාව බලන්න ආවට…”

ඔහු වෙතින් දිස් වූයේ ආදරණීය පියෙකු ගේ විලාශයකි. පාළුවට ගොස් ගරා වැටී ඇති ඔහු ගේ දිවියට මුණිවර යනු සුබ ලකුණක් විය යුතු ය. ඔහු දැකීමෙන් පසුසේ ලොකු තාත්තා හදිසි ප්‍රබෝධයකට පත් ව තිබේ.

“ලොකු තාත්තගෙං මට ඕන එක ම එක දෙයයි. මෙහෙම මේ පාළු ගෙදර තනි වෙලා අතීතයත් එක්ක ජීවත් වෙන්නෙ නැතුව මිස්ට මුණිවරව බලා ගන්න. ලොකු තාත්ත විතරයි එයාට හයියකට කියල ඉන්නෙ. ලොකු තාත්තත් නැත්තං එයාගෙ අතීතෙ එයාට හිටිය එක වීරයෙක්වත් නැතුව එයා තනි වෙනව. අසරණ වෙනව. ලොකු තාත්ත දන්නවද.. මිස්ට මුණිවරගෙ පවුලට ඉස්සර හිටිය හතුරංගෙ හෙවනැල්ල තාමත් එයාගෙ ජීවිතේ උඩ වැටිල තියෙනව”

“මොකද්ද ඔය ළමය කිව්වෙ…”

“ඒක ඇත්ත ලොකු තාත්තෙ. මට ලොකු තාත්තට කතා කරන්න ඕන වුණේ ඒකමයි. මිස්ට මුණිවර මේ දේවල් ගැන කොච්චර දුරට දන්නවද කියල මන් දන්නෑ. හැබැයි ඒ මිනිස්සු ෆාම් එකේ වැඩ කරන අයව බා ගන්නව. මටත් කතා කළා. ලොකු සැලරි එකක් දෙන්නං කියල. මං එක පාරට බෑ කිව්වෙ නෑ. මට බයයි මිස්ට මුණිවරට කරදරයක් කරයිද කියල. ඒ මිනිස්සු ලේබර්ස්ල අල්ලගෙන ෆාම් එකේ මල් ගන්නවලු. එයාලගෙ නුවර එළියෙ ශොප් එකේ විකුණන්නෙ ඒ මල් කිව්ව. එහෙම දේවල්නං කමක් නෑ කියමු. ඒ මිනිස්සු හෙමිහිට ප්ලෑන් කරන්නෙ මිස්ට මුණිවරට කරදරයක් කරන්න වෙන්න පුළුවන්..මං ඒ ගැන බලා ගන්නං. මට මේව වෙන කාත් එක්කවත් කතා කරන්න බෑ. කාවවත් විශ්වාස කරන්නත් බෑ. විදුනිට කිව්වොත් එයා බය වෙයි. මිස්ට මුණිවරගෙ හිතේ මොනා තියෙනවද කියල තේරුං ගන්න බෑ එයා මුකුත් එළියට නොදෙන නිසා. ලොකු තාත්ත මෙහෙම ඉන්න එපා. මේ පාළු ගෙදරට වෙලා තනි වෙලා ඉන්න එපා ප්ලීස්. මිස්ට මුණිවර එක්ක ඉන්න. එතකොට එයාගෙ හිතට පොඩි හරි හයියක් දැනෙයි”

ඒ වයස් ගත වෙමින් හිඳින, නමුත් අතීතයේ ජව සම්පන්න මිනිසෙකු වූවා යයි බැලූ බැල්මට පෙනෙන දේහධාරී මිනිසා ගේ ඇස් වල දුර හිතනා කල්පනාකාරී පෙනුමක් විය. මා ආවේ හොඳ ම තැනට යයි මට යළි යළිත් සිතුණේ ය.

“ඕකුංව මං ඉතුරු කරන්නෑ කොල්ලට අත තිබ්බොත්…”

හදිසියේ ඔහු අළු ගසා දමමින් අතීතයෙන් නැගී සිටියේ ය. 

“අපේ පරම්පරාව ගෙනියන්න ඉන්න එකම කොල්ල. ඒ නැතත් අපේ පවුලට මුලින්ම ආපු කොලු පැටිය. අපි කවුරුත් පණ වගෙයි ඌට ආදරේ කළේ. අපේ තාත්ත කොල්ලට රජ්ජුරුවො කියල කතා කළේ. ඌ අපේ පවුලට රජෙක් කියල අපි හැමෝටම දැනුණා. ඔය දුව අපේ අතීතෙ ගැන මොන තරං දේවල් දන්නවද කියල මං දන්නෙ නෑ. මේ වෛර පිරිමහගන්න පවුල් දෙකේම මිණී මැරෙද්දි මට පිස්සු හැදුණා. එහෙම දේවල් පවුලක් ඇතුළෙ සිද්ද වෙනකොට දරා ගන්න බෑ දුව. ඒ මගෙ හොඳ තරුණ කාලෙ. ඒත් මං පුළුවන් තරං නිවෙන්න බැලුවෙ මේකෙන් කාටවත් කිසි ප්‍රයෝජනයක් වෙන්නෑ කියල හොඳටම දැනුණ නිසා. රජ්ජුරුවන්ගෙ තාත්තව හප්පල මැරුව කියල දැනුණත් මං ඉවසුව. වෙච්ච දේ වුණා කොල්ලව රැක ගන්න ඕන කියල හිතුව නිසා. ඒත් මුං කොලුවගෙ පස්සෙ පන්නන්න අරං නං මං නිකං අත් දෙක බැඳ ගෙන ඉන්නෑ. මගෙ අත පය තාම හොඳට හයියයි දරුවො”

“මං කියන්නෙ ලොකු තාත්තට ආයෙ මේවට පැටලෙන්න කියල නෙවෙයි. ඒත් අපි සිහි කල්පනාවෙං ඉන්න ඕන. මට ඒ මිනිස්සු කතා කළා කියල මං මිස්ට මුණිවරට කිව්වෙ නෑ  එයාටත් හරි ඉක්මන්ට කේන්ති යනවනෙ. ඉතිං කොහොම රිඇක්ට් කරයිද කියල හිතා ගන්න බෑනෙ. මේක හරි ඉවසීමෙන් මොලෙන් හැන්ඩ්ල් කරන්න ඕන කේස් එකක් ලොකු තාත්ත”

හෙතෙම තාත්තා කෙනෙකු ගේ ආඩම්බරකාර සිනහවෙන් මහිස පිරිමැද්දේ ය. මම මහත් ස්නේහයකින් උතුරා යන්නට වීමි.

“කිසි දේකට බය වෙන්න එපා. මේ ලොකු තාත්ත ඉන්නකල්”

තනි ව මුහුණ දිය නො හැකි බොහෝ ගැටළු වලට, සාමූහික වීම ඔස්සේ පහසුවෙන් මුහුණ දෙන්නට පුළුවන. වටු කුරුල්ලන් රෑනේ කතාව මට සිහි විය. අලුත් ශක්තියකින් ද හිත පිරී යන බවක් දැනිණ. මග පෙන්වන්නට වැඩිහිටියෙකු ඉන්නවානම තරුණ ජවයෙන් ඉතා විශාල ලෙස ඵල ලබනට හැකි යයි අප්පච්චි නිතර කියන්නේ ය. මට සහනයක් ද සතුටක් ද දැනෙන්නට විය.

මුණිවර පැමිණියේ මා හා ලොකු තාත්තා කුස්සියට වී තේ හදමින් සිටියදී ය. 

“මං හදන්නං අද. ලොකු තාත්ත හැමදාම තනියම හදන් බොන එකනෙ”

“ඒ වුණාට ගෙදරට ආපු අමුත්තෙක්ට කියල තේ හදෝ ගන්න සිරිතක් නෑනෙ”

“ඒකට ලොකු තාත්ත මං අමුත්කේ කියල හිතන්න එපා”

අපි දෙන්නා ම සිනහ වෙත්දී දොර උළුවස්සෙන් මුණිවර මතු විය. 

“යාළුවො හම්බ වුණාද..”

ලොකු තාත්තා වෙනසක් නැතිව ඇසුවේ ය. මුණිවර හිස සලනු මා බලා ගෙන ය. තේ බීමෙන් පසු අපි නැවත එන්නට පිටත් වීමු. මුණිවර අලුත් සතුටකින් හිටියා යි කිව හැක. ඔහු රිය පදවන ගමන් ඔහු උරුහම් බෑවේ රිචර්ඩ් මාක්ස් ගේ රයිට් හියර් වේටින් ගීතය ය. මගේ පාසල් වියේ දී නිබඳ මා මුවග මිමිනුණ ගීතය…

ශෝක වන්නට හෝ හඬන්නට කාරණා මොන තරම් තිබුණ ද ඒ අතරින් සිනහ වෙන්නට එක පොඩි හේතුවක් හොයා ගන්නට බැරි කමක් නැත. 

“අම්…අර ධාරා එක්ක ඕනවට වැඩි සම්බන්දකං තියා ගත්තෙ නැති වුණාට කමක් නෑ”

අතර මගක දී මුණිවර හදිසියේ ම කීවේ ය. මම යටැසින් ඔහු දෙස බැලීමි.

“එයා හරි හොඳ අක්ක කෙනෙක්. මට තේරුණානෙ”

“නරකයි කියල නෙමෙයිනෙ මං කිව්වෙ”

ඔහු නයෙකු සේ පෙනය පිප්පුවේ ය. මම වීදුරු කවුළුවෙන් පිටත බලා ගෙන රැව්වෙමි.

“අපෙ අම්මගෙ විකාර වැඩ”

“ඉතිං මිස්ට මුණිවරනෙ හා කියල තියෙන්නෙ”

මම වචන වලින් දමා ගැසුවෙමි.

“ඒ කොයි කාලෙද…ඒත් අම්මගෙ වදෙන් බේරෙන්න බැරි කමට”

“ධාරා අක්කගෙ වරදක් මටනං පේන්නෑ”

මම ඉවත බලා ගෙන ඇඟට පතට නො දැනී කියා දැමීමි. ඉන් පසු ඔහු නිහඬ වූයේ ය. ඔහු අවුස්සා ගෙන හිතේ තියෙනා දේවල් එළියට ගන්නට මට ඕනෑ වී ද එය පහසු වූයේ නැත.

හැන්දෑවට ගුරුතලාව මනස්කාන්ත දර්ශනයකි. මීදුමෙන් වැසී යන ෆයිනස් ගස් අතරින් පෙනෙනා සුදු දුමාරය සීතල හැඟීමක් ගෙන එයි. මිස්ට් ෆීල්ඩ් සිට විත් දිය නා ගැනීමෙන් පසු මම මිදුලේ බංකුව මතට වී කල්පනා ලෝකයක තනි වී ගතිමි. ඒ කල්පනා ලෝකයේ මා කෙතරම් දුරක් සැරිසැරුවාද කියා කිව නො හැක. එක මොහොතක මා හිස නගා බලත්දී මා ඉදිරියේ සිට ගෙන සිටියේ පිටේ එල්ලා ගෙන යන ලෙදර් බෑගයක් ඉදිරි පසින් එල්ලා ගෙන එය තුරුලු කර ගත් ධාරා ය. ඇගේ මුහුණේ දඟකාර බවක් ද ශෝකයක් ද කැළතුන සේයාවක් මම දුටිමි.

“අක්ක..”

“මට හිතුණ ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන කියල”

ඕ මගේ බංකුවේ පසෙකින් වාඩි වූවා ය. දිලිසෙන ඇස් වලින් මදෙස බලා සිනහ වූවා ය.

“අර මෝඩය  බෑ කිව්ව”

ඈ දෙතොල් උල් කොට දුක්බර ලීලාවක් පෑවේ බෑග් එක තවත් තුරුලු කර ගනිමිනි. 

“ආ..”

“අභී…මාව මැරි කරන්න කැමති නෑලු”

“ඔයාට එහෙම කිව්වද…”

“හ්ම්. උදේ…අපි දෙන්න සයිට් රවුන්ඩ් ගිහිං ආවට පස්සෙ”

“මූණටම…”

“නැතුව ඉතිං…මොනා වුණත් මං මෑන්ට තවත් ආදරේ වුණා වගේ දැනෙනව. එයා කොච්චර බෑ කිව්වත් මං එයාව කැමති කර ගන්නව ගන්නවමයි”

ඇගේ ඇස් මත මම ඒ අධිෂ්ඨානය මැනවින් දුටිමි. ඒ මොහොතේ මගේ හදවත දැදිරි වී ගිය බවක් ද මට දැනිණ. නමුත් ඒ බවක් ඇය ට අඟවා ලිය නො හැකි ය.

“මට ඒකට ඔයාගෙ උදව් ඕනෙ මන්දාකිණී…”

ඇය බලයෙන් ම වාගේ මගේ අතක් ගෙන පොරොන්දුවක් ද ගත්තා ය. මම ඇතුළාන්තයෙන් සීතල ව යමින් සිටියෙමි.

“මොනා වුණත් මට දුකයි අනේ..කාලෙකට පස්සෙ මාත් මේ කොල්ලෙක්ට කැමති වුණාමයි. ඒ කොල්ල මට කැමති නෑලුනෙ”

“එයා හිමීට කැමති වෙයි”

මා එසේ කොඳුරා ගත්තේ අසීරුවෙන් බව කිව යුතු ය. නමුත් එසේ නො කියා ඉන්නට තරම් රුදුරු වන්නට මට හැකි වූයේ නොවේ. 

“ඔයාට හිතෙනෝද කැමති වෙයි කියල…”

ඇය මගේ මුහුණට එබී බැලුවා ය. බලාපොරොත්තුවේ දීප්තිය මම ඒ ඇස් වලින් හඳුනා ගතිමි.

“ඔයාට අකමැති වෙන්න හේතුවක් නෑ කියල හිතෙනව”

“මෝඩ කොල්ලෙක් කියල මං මුලිං හිතුවෙ. දැං හිතෙන්නෙ පිස්සු කොල්ලෙක් කියල. මං හොඳ කරල ගන්නංකො එයාගෙ පිස්සුව”

ඇය බෑග් එකට අත දමා බීර කෑන් දෙකක් පිටතට ගෙන එකක් මවෙත පෑවා ය. මම දෙඋරහිස් හකුලා සිනහ වීමි.

“නෝප්. අයිම් නොට් හැවිං ඩ්‍රිංක්ස්”

“බියර් එකක්නෙ අනේ”

“නෝ තෑන්ක්ස්”

“හොඳ ළමයෙක්”

ඇය මගේ කම්මුලක් මිරිකා සිය බීර කෑනය තොල ගාන්නට පටන් ගත්තා ය. ඒ අතරේ දෙඩුවේ ම මුණිවර ගැන ය. ඔහු වෙනුවෙන් ඇගේ හිතේ පිළිසිඳෙනා ප්‍රේමය ගැන ය. ඇය කෙතරම් නම් අවංක ද? මට සිතුනේ එපමණකි.

ඒ රාත්‍රියේ මගේ ඇසින් කඳුළක් ගිලිහී වට බව ඇත්ත ය. නමුත් මා ධාරා ට ඊර්ෂ්‍යා නො කළ බව දිව්රා කිව හැක. 

පසු දා මා මිස්ට් ෆීල්ඩ් වෙත යන කල පාලම මත සිට දිය දහරට එබී ගෙන මාළු බලමින් ලොකු තාත්තා සිටියේ ය. මේ ඊයේ මා දුටු ඔහු නොවේ. පිළිවෙලට රැවුල් කොණ්ඩ කපා, අත් කොට කමිසයක් දිගු කලිසමක් මතින් දමා, ලොකු තාත්තා සිනහ වෙවී බලා සිටියේ ය.

“අනේ…ලොකු තාත්ත මේක ඇත්තක් නේද…ඔයා මිස්ට් ෆීල්ඩ් එකට ආවද…දැන්නං මට කිසි බයක් නෑ”

මම ඔහු ව මගේ කුටියට කැන්දා ගෙන ගියෙමි. ලොකු තාත්තා මඳ සිනහවකින් මට ඉඩ දී සිටියේ ය. එදා මාත් එක්ක ෆාම් එක පුරා යන්නට දිසානායක මහතා ට දී තිබූ ස්කූටරයෙන් ඔහු ද මා සමග ආවේ ය. මා රෙදි පිළි හා මල් ගැන බලත්දී ෆාම් එකේ ඉතිරි කොටස් ගැන බලන්නට ඔහු ඉන්නවා නම් කෙතරම් විශ්වාසවන්ත ද?

“තව ටික කාලෙකින් කොහොමත් මං පොළොවට පස් වෙලා යයි. ඊට කලින් කොල්ලගෙ අනාගතේ පැහැදිලි කරන්න ඕන කියල මං හිතා ගත්ත. අපි දෙන්න එකතු වෙලා සේරම බලා ගමු”

ඔහු සිනහ වෙවී කීවේ ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles