සීත මාරුතේ -34

ඒ මිස්ට් ෆීල්ඩ් වල ලස්සන ම දවස් ටික කියා මම සිතමි. සේවකයන් ගේ මුහුණු වල සතුටු සිනා සහ නිදහස් හැඟීමක් ලියවී තිබිණ. වෙනදා ට ඔවුන් ට වැටුප් ලැබෙන්නේ වැඩ කළොත් ය. නමුත් මේ වැඩ නො කර ම වැටුප් ලැබෙනා දින දෙකකි. 

සතුරන් ගේ පිල සමග එක්කාසු වී මල් ජාවාරම් කළ කම්කරුවන් කිහිප දෙනා තුළ ඒ සතුට තිබුණා කියා මම නො සිතමි. ඊළඟ පියවර වශයෙන් කුමක් සිදු වනු ඇත්දැයි ඔවුන් දෙගිඩියාවේ ඉන්නට ඇත. නමුත් අපට වන තර්ජනය ගැන පොලීසියේ පැමිණිලි කිරීමෙන් පසු නිහඬ වී බැලිය යුතු යයි ලොකු තාත්තා කීවේ ය. පොලීසියේ ස්ථානාධිපති ගුරුතලාවේ ආදි සිසුවෙකු වීම හා ඔහු මුණිවර ට දැක්වූ ආදර ගෞරවය මත අපේ පැත්තට විශේෂත්වයක් විය.

“මේව කලින් කරන්න තිබුණ දේවල්. නීතිය අතට ගන්න තක්කඩින්ට ඉඩ දීල බලං ඉන්න එකත් ලොකු වැරැද්දක්. මුණිවර බය වෙන්න එපා. අපි ඒගොල්ලන්ට නටන්න දෙන්නෙ නෑ. පළවෙනි වතාවට පොලීසියට ගෙන්නෝල අවවාද කරල ඉමුකො. ම්..”

පොරොන්දු වූවා සේ ම මට ඇමතූ දුරකතන අංකයෙහි හිමිකරු පොලීසියට කැඳවා අවවාද කොට ඇති බව ලොකු තාත්තා කීවේ ය. එය මහිතට සැනසිල්ලක් දැනවූයේ ය. තරහ කාරයෙකු සිටිනා මිනිසෙකු තරම් අවාසනාවන්තයෙකු තව ඇතැයි නො සිතිය හැක. තරහකාරයෙකු සිටිනා මිනිසෙකු ට නිතර ම ජීවත් වන්නට සිදු වන්නේ බියෙනි. සැකයෙනි. කවර සුව පහසුකම් තිබුණා වී ද එවැන්නෙකු වූ කලී තමන් ගේ ම හිතේ හිරකරුවෙකි.

“උංව ඒ විදිහට කොන්ට්‍රෝල් කර ගන්න බැරි වුණොත් ඒකට බේත් මං ගාව තියෙනව. බාවනව එකා එකා පවුල් පිටින්ම”

ලොකු තාත්තා දත්මිටි කෑවේ ය. ඔහු ගේ ඇස් වල වූ කතාව මා බියපත් කරවන සුළු එකකි.

“අනේ ලොකු තාත්ත…වෛරයෙන් වෛරය සන්සිඳුනෙ නෑ කියල ලොකු තාත්ත ඇස් දෙකට ම දැක්කනෙ. අපි මේ ගින්දර නිවලම දාන්න බලමු. අළු යට ගින්දර ඉතුරු වෙන්නෙ නැති වෙන්න”

“රජ්ජුරුවන්ගෙ ඇගේ රෝම කූපෙකට හරි උන් අත තිබ්බොත්…මේ දුවට වුණත් කරදරයක් කරන්න හිතුවොත්…මට ගෙදර හිටියත් එකයි හිරේ ගියත් එකයි දරුවො. ඊට පස්සෙ අපේ කොල්ලව බලා ගන්න ඔය දරුව ඉන්නව කියල මං දන්නව”

හදවත මැද්දෙහි මොකක්දෝ සිදු විය. මට බිම බැලිණි. ලොකු තාත්තා එහෙම කතාවක් කීවේ ඇයි? මා මුණිවර ගැන හැඟීමක් ඇතිව සිටිනා බවක් ඔහු ට ඉව වැටී ද? 

“මං..”

“ඔව් දුව”

ලොකු තාත්තා කෙලින් ම මගේ මූණ බැලුවේ ය.

“අපේ නෑනා පැරීසියෙං රජ කුමාරිකාවක් ගෙන්නුවත් අපේ රජ්ජුරුවන්ගෙ හිත දැං වෙනස් කරනව බොරු”

“අනේ ලොකු තාත්ත එහෙම දෙයක්..”

“අනේ උඹල දෙන්නම උගුරට හොරා බෙහෙත් ගිලින්න හදන්නැතුව හිටහල්ල. මං නොදන්න අලගෙඩියක්නෙ ඕක”

ඔහු ගේ පීතෘ සිනහව ඉදිරියේ මට තව වචනයක් හෝ දොඩා ගන්නට තරම් වංක විය හැකි වූයේ නැත. ඒ මොහොත සියුම් ලැජ්ජාවක් දැනවී ද ලොකු තාත්තා ගේ ආශිර්වාදය ද මා සමග වීමේ සතුට මම වෙනස් ම ආකාරයකට විඳින්නට වීමි.

අපට වැඩ බහුල වූයේ ය. ඒවා රාජකාරී වැඩ ම නොවේ. ස්වාමීන් වහන්සේලා විසි පස් නමක් වෙනුවෙන් පිරිත් මණ්ඩපය සෑදීම පිරිත් අසන්නට එන අය වෙනුවෙන් මණ්ඩප සැකසීම වැනි කටයුතු වූයේ ය. සාප්පු සවාරියේ ගොස් බඩු එකතු කිරීම ඒ අතරින් ප්‍රධාන වූයේ ය. මම ඒ සියල්ල වෙන් වෙන් වශයෙන් සටහන් තබා ගෙන මිලදී ගැනීම් විධිමත් කළෙමි. අවශ්‍ය කළමණා මිලදී ගැනීම වෙනුවෙන් සවාරියේ ගියේ මුණිවර හා ඔහු ගේ මිතුරාත් ලොකු තාත්තා හා මාත් ය. 

“දැං ඇයි මේ ඔයත් එන්නෙ…අපි තුන් දෙනාට පුළුවන්නෙ බඩු ගන්න වැඩේ කරන්න…”

අප රියට නැගුණ පසු, රියදුරු අසුනට යාබද ව අසුන් ගත් මුණිවර ගේ මිතුරා, දසුන් පසුපස හැරී බලා මා විමසී ය. මම නෝක්කාඩු බැල්මක් හෙළුවෙමි. 

“මං ආවෙ ලොකු තාත්ත එන්න කිව්ව නිසා”

මුණිවර ගේ ඇස් සිනහ වෙනවා රියෙහි ඉදිරි කැඩපතින් පෙනුණත් මම ඔහු මගහැරියෙමි.

“මොකටද ලොකු තාත්තෙ මෙයාව…මොකෝ මීට කලින් පිරිත් වලට මෙයා හිටය කියලයැ අපිට..”

“ඒ වුණාට මීට පස්සෙ ඒ දරුව ඉඳියිනෙ”

“ලොකු තාත්ත මගෙ පැත්තෙ නිසා මේගොල්ලන්ට ජෙලස්”

“හරිනං අපි එක්කං යන්න ඕන ධාරාව…නැද්ද මචං”

දසුන් හඬ නගා හිනැහුණේ ය. එක තත්පරයකට මගේත් මුණිවර ගේත් ඇස් අවකාශයේ හමු විය. 

“ඉතිං එක්කං යන්න තිබුණනෙ. මං එපා කිව්වෙ නෑනෙ”

“මෙන්න මේ කෙල්ලව තරහ කර ගන්නෙ නැතුව ඉඳහල්ල කොල්ලනේ. මට පුතෙක් හිටියනං ඉතිං මං මේකිව මගෙ දුව කර ගන්නෙ පැනල”

“හොඳ වෙලාවට ලොකු තාත්තට පුතෙක් නැති වුණා”

මම දසුන් ට රැව්වෙමි. ඒ ගමන මට කිසි දා අමතක නොවන එකකි. මුණිවර මගේ කැමැත්ත මත සියල්ල කරන්නට හැර එකඟ වෙමින් සිටියේ ය. ලොකු තාත්තා වුව සියල්ල විමසුවේ මගෙනි. දසුන් ද යම් සිදුවීමක දී ‘මන්දිගෙං අහල බලමු’ කියනු මගේ කනට ම ඇසුණේ ය.  ඒ නිසා ඔවුන් සියල්ලන් ම මගේ අය ය යන හැඟීම මා තුළ ලියලමින් තිබිණ. මිස්ට් ෆීල්ඩ් යනු මුණිවර ද ලොකු තාත්තා ද ඔවුන් ගේ අය ද ඇතුළු ව මගේ ය කියනා ආත්මීය හැඟීම මට දැනෙමින් තිබිණ.

අප යළි මිස්ට් ෆීල්ඩ් වෙත එත්දී විදුනි ද ධාරා ද එහි පැමිණ සිටියහ. ධාරා මුණිවර හා දසුන් සමග සමාගමයට වැටෙත්දී විදුනි මගේ කුටියට ආවා ය.

“බලන්නකො මෙයා. ඒ ගමන ලොකු තාත්තවත් අයිති කරගෙන”

ඇය කතාව ඇරඹුවේ ම නෝක්කාඩුවකිනි.

“අපිට අර මහ ගෙදරින් එලියට ගන්න බැරි වුණ ලොකු තාත්ත දැං මිස්ට් ෆීල්ඩ් එකේ. මෙයානං වශීයක් ද කොහෙද..”

“ඒ වුණාට ඕන කෙනා තාම වශී වෙලා නෑනෙ අනේ”

අපි දෙන්නා ම නිදහස් හැඟීමෙන් ද උස් හඬින් ද සිනහ වූයෙමු. මුණිවර ගේ ඇස් වීදුරුව පසා කර ගෙන මා හඹා එමින් තිබිණ.

“වටිනම දේවල් එහෙම තමා…ටිකක් ගණං බලන්න ඕන”

“අනේ එයාගෙ ගණං. අර ධාරා වගේ කෙනෙක්ට පුළුවන් විනාඩියෙං ඔය ගණං බස්සන්න”

“ධාරාට දැන් පෝරිසාද්ගෙ හිත හොල්ලන්නවත් බෑ”

“එයා පව් කියල හිතෙන්නැද්ද විදූ…මිස්ට මුණිවර ගැන එයා මාර විදිහට හෝප්ස් තියං ඉන්නව. එයාට අකමැති වුණත්…ඒක එක විදිහක පිස්සුවක් වගේ…මන්නං කවදාවත් කියන්නෑ ඒක ආදරේ නෙමේ කියල”

“ඉතිං මක් කරන්නද…පෝරිසාද් නිල වශයෙන් දැනුම් දීලනෙ බෑ කියල. ඕක කන්ෆර්ම් කරන්නනං එක දෙයයි කරන්න තියෙන්නෙ”

“මොකද්ද…”

“ඔය දෙන්න අතරෙ අෆෙයා එකක් තියෙනව කියල එයා දැනගන්න එක”

“අපෝ”

“ඇයි…”

“අපි අතරෙ එහෙම දෙයක් නෑනෙ”

“නැත්තං ඉතිං ඇති කරගමු”

ඇය යළිදු සිනහ වූවා ය. නමුත් එවර මට සිනහසිය නො හැකි විය. හිම මිදී කැටි වූවා බඳු සිසිලනයක් මට දැනුණේ ය. අයිස් කැට පිරවූ වතුර වීදුරුවක් වටේ ක්ෂුද්‍ර වූ දිය බිඳු බැඳෙන්නා සේ ඝණීභවනයක් මා වටා විය. එය වූ කලී වචන කෝටි ගණනකින් හෝ විස්තර කළ නො හැකි විදිහේ සංකීර්ණ හැඟීම් පොදියකි.

“ඔයා විහිළුවටවත් එහෙම දෙයක් කියන්නෙපා ධාරාට”

විනාඩි කිහිපයකට පස්සේ මම එසේ කියන්නට සිහි එළවා ගතිමි.

“ගෑනු ළමයෙක්ගෙ හැඟීම් එක්ක එහෙම සෙල්ලමක් කරන එක මහ පාපයක්”

“ඒත් දිගින් දිගටම එයා අයිය ගැන බලාපොරොත්තු තියං එයා පස්සෙං එන එකත් හොඳ දෙයක් නෙවෙයි”

“අනික මිස්ට මුණිවර ධාරා ගැන වගේම වෙන්නැති මං ගැන හිතන්නෙත්”

එසේ කියන්නට පටන් ගත්තා ට, ඇරඹුමේ දී තිබූ ඍජු හඬ බිඳී යමින් ද මා දුර්වල වෙමින් ද තිබිණ. මුව මත වූ මඳහස ද මඳින් මඳ තුනී ව යන්නට වූයේ ය. 

අපේ ඒ පුද්ගලික කතා බහ නිමා කරන්නට සිදු වූයේ ධාරා අප වෙත පැමිණි නිසාවෙනි.

“මන්දිට හරි තිබුණනෙ මට කෝල් එකක් දෙන්න. එහෙනං මාත් එනවනෙ ඔයාල එක්ක යන්න”

ඇගේ නෝක්කාඩුව මගේ හිතේ පිහි තුඩක් සේ වැදිණි. වරදකාර හැඟීමක් මට දැනෙන්නට වූයේ ය.

“අනේ ඉතිං…මට එහෙම දෙයක්නං මතක් වුන්නෑ”

“අක්කි…මන්නං හිතන්නෙ අයිය බෑ කියල තියෙද්දි ඔයා තවත් එයා ගැන බලං ඉන්න එකෙන් දුකක් විතරයි ඉතුරු වෙන්නෙ. දවසින් දවස ඒ දුක වැඩි වෙන එකයි වෙන්නෙ. මේ මනුස්සය කිසි ගෑනු ළමයෙක්ට කැමති නැති නිසානෙ මේ තාමත් මැරි කරන්නැතුව ඉන්නෙ”

විදුනි ඉතා සරල ලෙස ඒ ඇත්ත ධාරා ට ඒත්තු ගැන්වීමට උත්සාහ කළා ය. මූණ නරක් කර ගෙන අසුන් ගත වූවා ට ඇය පරාජය භාර ගන්නට තව දුරටත් සූදානමක් පෙන්වූයේ නැත.

“ඉතිං හැමදාම එයා ඔහොම ඉන්නද..මං එයාගෙ හිත වෙනස් කර ගන්නං. ප්ලීස් විදූ…ඕගොල්ලො මට උදව් කරන්න”

විදුනි නිරුත්තර වූ බවක් පෙනිණ. 

ඒ දින දෙකෙහි මිස්ට් ෆීල්ඩ් සියලු සේවකයන්ට ආහාර සැපයුනේ ද එහි මුළුතැන්ගෙයින් වන නිසාවෙන් කාන්තා පාර්ශවය කුස්සියේ වැඩ වලට හවුල් වූහ. පිරිමින් කොඩි දැමීම,බල්බ් වැල් දැමීම, මණ්ඩප වලට විදුලිය සැපයීම වැනි කටයුතු වල නිරත වූහ. පිරිත් මණ්ඩපය සැකසුනේ ගොක් කොළ වලිනි. මා හා විදුනි එතැන සිටියදී යළිත් මුණිවර පිටතට යාමට සූදානම් වූ අතර ඔහු රියට ගොඩ වූ ගමන් ධාරා ගොස් එහි නැගුණා ය. මගේ පපුව පිච්චී යනවා මට දැනිණ. ධාරා යනු මුණිවර වෙනුවෙන් ප්‍රංශයේ සිටි පැමිණි තරුණියක බව මම දැන සිටියෙමි. ඇය ඔහු කෙරේ ප්‍රේමයෙන් බව මම හොඳින් ම දනිමි. එසේ ම මුණිවර ඔහු ප්‍රතික්ෂේප කළ බව ද මම මැනවින් දැන සිටියෙමි. එසේ වීත් ධාරා ඔහු ගේ රියට ගොඩ වීම මා තුළ ඒ තරම් කැළඹීමක් ඇති කළේ ඇයි?

මඳ වෙලාවක් රිය නැවතිල්ලේ තිබිණ. ගොක් රටා මවනා වැඩිහිටි පිරිමියෙකු සමග මා සුහද කතාවකට වැටී සිටිය දී මගේ ඇස් වරින් වර හොරෙන් වාගේ රිය දෙසට යොමු විය. ඔහු ඇය ට රියෙන් බසිනා ලෙසට පවසන්නට ඇත. නමුත් ඇය බැස්සේ ද නැත. ඉන් පසු රිය නික්ම ගියේ ය. මගේ සිරුරේ සංසරණය වූ අන්තිම රුධිර බිඳුව තෙක්  හිස් ව යනවා සේ මට දැනිණ. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content