සුළි සුළඟක සුසුමක් – 21 වන කොටස

මා අවිස්සාවේල්ල හරියේ දී අම්මා ගෙන් දුරකතන ඇමතුමක් ආවේ ය. මගේ හිත තිබුණේ එක තැනකට ගොනු කළ නො හැකි තරමට එහෙ මෙහෙ විසිරී ගොසිනි. අම්මා එක්ක කතා කරන්නට තරම් හෝ එකත්පස් බවක් මවෙත නො විණි. මා පාලනය කිරීමට තැත් දරමින් අවි අමෝරා ගෙන එන ලෝකයෙන් ඈත් වී පැන දිවීම පමණක් මගේ ඒකායන අරමුණ වූයේ ය.

නමුත් වෙන කවුරු කතා කරත්දී නො තකා හිටියත් අම්මා ට එසේ කළ නො හැකි ය. ඒ හින්දා පාරේ ඉඩ තිබෙන තැනකට කොට මම රිය නතැ කළෙමි.

“අම්ම”

“මොනවද උත්තරා ඔයා මේ ගහෙන් ගෙඩි එන්න වගේ කරන වැඩ…ඇයි ඔයා මං එනකල්වත් ඉන්නෙ නැතුව රත්නපුරේ යන්න ගියේ…”

මා එත්දී අම්මා ගෙදර සිටියේ නැත. මා යන බව කියා ආවේ ගෙදර වැඩට සිටිනා කාන්තාවට ය. අම්මා එනතුරු සිටියා නම් ඈ මට මේ ගමන යන්න නො දේවිය යන සිතිවිල්ල, මටත් නො දැනී මා තුළ වූවා ද කියා මම නො දිමි. කෙසේ වෙතත් ඒ වෙලාවේ මට ඕන වුණේ ඒ වියවුල් මානසිකත්වය පලවා හරින්නට පමණකි.

“මට තවත් ඔය දේවල් දරා ගන්න බෑ අම්ම”

අම්මා ගේ හිත නො රිදෙනු වස් මම හෙමිහිට කීවෙමි.

“අයියට ඔය ඔක්කොම බිස්නස් දෙන්න. මට ඕන නෑ මොනවත්. එයාට කියන්න මට මගෙ පාඩුවෙ විතරක් ඉන්න දෙන්න කියල”

“මට තේරෙන්නෑ උත්තරා ඔයාට මොනා වෙලාද කියල. ඔයාගෙ හිතේ කවුරුවත් නෑ කියල කිව්ව නේද…”

“ඒත් මට කාගෙවත් උවමනාව ට කාවවත් මැරි කරන්න ඕන නෑ අම්ම. ප්ලීස්…”

“දැන් ඔයා චැනල් එකට මොනාද කියන්නෙ…දරුවො…අපිට රෙස්පොන්සිබිලිටි එකක් තියනව නේද අපි බාර ගත්ත වැඩක් ගැන…”

“මං ඒක දන්නව අම්ම. මීට කලින් කවදාවත් මං මෙහෙම කරල නෑ නේද…අනේ මට මේක හරි අමාරුයි. මට පිස්සු හැදෙයි අම්ම”

“හරි හරි…ඔයා දැං පරිස්සමට යන්නකො”

බොහෝ දුරක් යන තුරු මගේ ඇස් වලින් නො නැවතී කඳුළු ගලා ගියේ ය. ඒ කඳුළු වල ට හේතුව, නිශ්චිත නැත. දුක වන්නේ කොතැනකද කියා හෝ මම නො දත්තෙමි.  සැබවින් මා උමතු වී ගෙන එනවා ද?

ගැහැනු ළමයෙකු ගේ හදවතක් කියන්නේ සීනි බෝලයක් කියා බොහෝ දෙනෙකු සිතනා බව මම දනිමි. නමුත් එය වූ කලී හැඟීම් මත පණ ගැහෙනා මාංශ පේෂි සමූහයකි. එයට දැනෙනා හැඟෙනා දේවල් මෙතැකැයි හෝ මෙසේ යැයි හෝ පහදා කියන්නට තරම් මා ජගතෙකු නොවේ. අඩු ම තරමින් අප්පච්චි මිය ගිය දා පටන් මා විඳිමින් හා විඳවමින් සිටිනා වූ හැඟීම් වල දිග පළල වුව මා හරියට ම දන්නේ නැත.

කොළඹ සිට ම වැස්සක් පැවතුණේ ය. විටින් විට දැඩි වෙමින් ද අඩු වෙමින් ද තිබි එය රත්නපුරය අමතක කොට තිබුණේ ය. නමුත් එපිටට වන්නට වන්නට සීතල දැඩි ව දැනිණ.

හයිලන්ඩ් ගෙස්ට් නාම පුවරුවේ විදුලි එළිය දකිත්දී මට දැනුණේ නිවීම කි. මා නො දැනුවත්ව ම සුසුමක් ද ගිලිහී ගියේ ය. උස් බිමෙහි ගිනි මැළයක් දැල්වෙනවා පහළට පෙනිණ. අඳුරු සෙවනැලි සේ කොල්ලන් කිහිප දෙනෙකු දකිත හැකි විය. මම රියෙන් බැස ලූනා ට ද බහින්නට සැලැස්වූයෙමි. මට පෙර ඈ මා දමා හැල්මේ පඩි පෙළ නැග දිව ගියා ය. හති දමමින් ඔහු වෙත ආ ලූනා ව දැක සංකල්ප නැගී සිටියේ ය. ගිනි මැලයේ රතු තැඹිලි එළි වැදීමෙන් මට ඔහු ගේ මුහුණේ වූ කලබලකාරී බව මොනවට දැකිය හැකි විය.

සංකල්ප අඩියක් දෙකක් පෙර ට ආවේ ය. මගේ දෙනෙත් දිය ඇලි ඒ වෙලාවේත් ගලා හැලෙමින් තිබුණේ ය. හැඟීම් ප්‍රවාහයක් මා කළඹමින් ද මා යට කර ගනිමින් ද සුළි කුණාටුවක් සේ හැමුවේ ය. මම ඔහු දෙස ම බලා සිටියෙමි. මගේ හිත කෑ ගසා කීවේ සංකල්ප ගේ පපුවට වාරු වී ඇති තරම් හඬනා ලෙසට ය. මේ වෙලාවේ අකීකරු නොවී මම හිත කී දේ කළෙමි. ඔහු සිය දෑතින් මා වැළඳ ගත්තේ ය. ඒ වගේ දැඩි වැළඳ ගැනීමක අවශ්‍යතාවයක්, බෝ කලෙක සිට මගේ හදවත අපේක්ෂා කරමින් සිටි බව මට තේරුණේ ඒ වෙලාවේ ය.

ඇස් වලට ඇති කියා හිතෙන තරමට කඳුළු ගලා ගියේ ය. කඳුළු ඉවරයි කියා හිතුණ වේලේ මම  ඒ ග්‍රහණයෙන් මිදෙන්නට තැත් කළෙමි. සංකල්ප සිය දෑත් ග්‍රහණය ලිහිල් කළේ ය.

“කොල්ලො බාබකිව් එකක් දාගෙන”

ඔහු ලස්සනට සිනහ වී කීවේ ය.  මම දෙතොල් තද කර ගත් සිනහවකින් හිස සැළුවෙමි.

“මං චේන්ජ් කරං එන්නං”

ඔහු මාත් එක්ක පිය ගැට පෙළ බැස ගෙන පහළට ආවේ ය. මහත් පහසුවක් මගේ පපුවට දැනිණ. හුස්ම හිර කරන ගතිය දැනුණේ නැත.

“මං හිතුවා ඔයා එයි කියල”

කැටයම් ගේට්ටුව ළඟදී ඔහු කීවේ ය. මම නෙතු නගා ඒ මූණ දෙස බැලුවෙමි.

“ඇයි…”

“රෑට මං අහං ඉන්නව…ඔයාගෙ ප්‍රෝග්‍රෑම් එක”

හැම දවසක ම ඔහු ගැයූ ගීයක් මගේ වැඩසටහනේ විකාශය වූයේ ය. එක මොහොතකට හෝ මට ඔහු අමතක නොවූ බව සංකල්ප දැන ඉන්නට ඇත.

“මං යන්නං”

මම රියට නැගුණෙමි. ඒ බැල්මේ වූ අසීමිත බව ආදරය කියා හිතන්නට තරම් මා ඉක්මන් වූයේ නැත. නමුත් ඒ අසීමිත බව හිරු මඬලක් සේ මා වසා මා මත වැතිර ගන්නා බව මට හොඳට ම දැනිණ. එය මගේ හදවතේ ගැඹුරු ම තැනෙක ඉසියුම් ගැස්මක් ඇති කළ බවත් මට දැනී නො දැනී ගියේ ය.

“ලොකු නෝනා කිව්වට මං මේ මග බල බලා හිටියෙ. ආයෙත්නං මයෙ මැණිකෙට කොළඹ යන්න හිතෙන්න එපා”

නීලා මා පිළිගත්තේ වහ ගන්නට නො දන්නා ආදරයකිනි. ඇඳුම් මාරු කොට නීලා ගේ වදයෙන් බේරෙන්නට බැරි කමට බත් කටක් ද කා මම හයිලන්ඩ් ගෙස්ට් වෙත ගියෙමි. කොලු නඩය මා ගිය පසු විසිර ගියහ. තවම මුළුමනින් නො නිවුණ ගිනි මැලය ට ඔබ්බෙන් බිම හිඳ, මම ගිනියම් අඟුරු දෙස බලා ඉන්නට වූයෙමි. එදා සංකල්පගේ අවසරයකින් තොරව ම අයිති කර ගත් ඔහු ගේ ජැකට් එක පරිසරයේ සීතලෙන් මා මුවහ කරන්නට සමත් විය.

ඔහු මදෙස ම බලා හිඳිනා බව මගේ අඩැසට නො පෙනුණා නොවේ. නමුත් මම නොදුටු සේ ගිනි අඟුරු දෙස බලා ගෙන කතා කළෙමි.

“මට එහෙ ඉන්න බෑ වගේ දැනෙනව සංකල්ප”

ඔහු හා හ්ම් කීවේ නැත.

“අයිය ඩොක්ට කෙනෙක්ට මාව ප්‍රපෝස් කරල…මට ඒ මනුස්සයව බඳින්න ඕන කමක් නෑ”

කවදාවත් හොඳ ම යාළුවෙක් නො සිටි, කවදාවත් හිතේ ඇති ගැඹුරු හැඟීම් ගැන කිසිවෙකු සමග කතා නොකළ මා, මේ තරමින් හෝ සංකල්ප ඉදිරියේ හිත නිදහස් කරන්නේ ඇයි ද කියා සිතන්නට මම නො වෙහෙසුණෙමි.

“මට මානසික රෝගයක් කියලයි අම්ම වුණත් හිතන්නෙ. මං ඒක දන්නව. අම්ම මං ගැන බයේ ඉන්නෙ. මට එහෙම ප්‍රශ්නයක් නෑ සංකල්ප…ඇත්ත මට අප්පච්චි නැති වෙච්ච එක ලොකු ශොක් එකක් වුණා  පිරිමියෙක්ට කියල මං ක්ලෝස් වුණේ අප්පච්චි ට විතරයි. බැන්දට පස්සෙ අයිය වෙනස් වුණා. අක්කට වෙලාව අඩු වුණා. මං තනි වෙලා කියල මට හිතිල තියෙනව. ඒත් මං ඒක ලොකුවට ගණං අරං නෑ. කොහොමත් මං හැඟීම් වලට එච්චර වටිනකමක් දෙන කෙනෙක් නෙවෙයි…”

මා කියා ගෙන ගියේ අතරින් පතර ය. එහෙන් මෙහෙන් ය. ඒවා ට නිසි පිළිවෙලක් වූයේ නැත. මතක් වෙන කොතනකින් හෝ කතා කරන්න ට පමණක් මට ඕන වී තිබුණේ ය.

“මොකක් හරි ප්‍රශ්නයක් තියනව කියල මට දැනෙනව. හැබැයි ඒ මොකද්ද කියල මට තේරෙන්නෙ නෑ. සමහර විට මං විසිරිලා ඉන්නෙ. ඇත්කටම මං කවුද කියල හිතා ගන්න නං ඒ විසිරිච්ච කොටස් එකතු කරන්න වෙනව.මේක මං හිතනවට වඩා හුඟක් සංකීර්ණ දෙයක් සංකල්ප”

ආත්මානුකම්පාවක් හිතේ එහෙ මෙහෙ විය. ඒ කාලයක් තිස්සේ මගේ දැඩි පාලනය යටතේ, දිය යට එබූ  රබර් බෝලයක් සේ හිත අස්සේ හංගා ගෙන සිටි හැඟීමකි.

“මට ඔයාව තේරෙනව”

හුඟක් වෙලාවක් තිස්සේ වදනකුදු නො දොඩා මා කියන දේවල් අසා ගෙන සිටි සංකල්ප අන්තිමට ඒ සියල්ල වෙනුවෙන් වචන තුනක් කීවේ ය. ඒ වචන තුනත් එක්ක මහා ශාන්තිදායක බවක් මට දැනෙන්නට ගත්තේ ය. මෙලොව වසන කිසිවෙකු මා තේරුම් ගත්තා ය කියා මා දන්නේ නැත. අම්මා වුව නිරන්තර කීවේ ඇය ට මා නො තේරෙන බවකි. එහෙම එකේ සංකල්ප බොරුවට හෝ මේ විදිහට පැවසීම සැනසීමක් දැනවූයේ ය.

“නිවී සැනසිල්ලෙ ඔයා ඔයා ගැනම හිතන්න උත්තරා”

ඉතාමත් දරුණු ලෙස තුවාල වී තිබි හදවත මත මහා පරෙස්සමකින් ඔහු ඔසු ගල්වන්නා සේ මට දැනිණ.

“ඉස්සෙල්ලම ඔයා ඔයාව තේරුං ගන්න බලන්න. ඔයාට ඕනෙ මොනාද ඕන නැත්තෙ මොනාද කියල වෙන් කරල අඳුන ගන්න. දැන් චැනල් එක මොනා කරයිද ඔයා මෙහෙම දමල ගහල ආවහම…”

“මට හිතෙනව තව දුරටත් මං එතනට හිර වෙන්න ඕන නෑ කියල”.

“ඔයා හිර වෙලා ඉන්නෙ චැනල් එකට නෙවෙයි”

ක්ෂණික ව මා දෑස් ඉස්සූයේ ‘එහෙනං’ කියන බැල්මත් එක්ක ය.

“ඔයාගෙම හිතට”

මම යළිත් ඇස් තටු පහළට හැරවීමි. මට ම හොයා ගන්නට බැරි වූ මා ව ඔහු සොයා ගෙන අහවර දැයි  නො අසා සිටින එක වඩා හොඳ ය.

“අයියට ඕනෙ බිස්නස් ටික එයා අතට ගන්න. මාව සල්ලි තියෙන…අපේ බිස්නස් ඕන නැති කෙනෙක්ට බන්දල දුන්නහම එයාගෙ ප්‍රශ්නෙ විසඳෙනව. ඒකයි එයාට කර ගන්න ඕනෙ. මට අප්පිරියයි සංකල්ප”

පරිසරය තව තවත් සීතල වෙමින් තිබිණ. පින්න ද වැඩි වූයේ ය. නමුත් මගේ හිතේ උණුහුමක් වන බව මට හොඳට ම දැනුණේ ය.

“ඔයාට ඒ බිස්නස් ඕනද…”

“අනේ මට මොනාත් ඕන්නෑ සංකල්ප. ඒත් අම්ම මං වෙනුවෙන් ඒව බලා ගන්නව. අම්මා දන්නව අයියගෙයි වයිෆ් ගෙයි අරමුණ. මට ඕනෙ නිවී සැනසිල්ලෙ ඉන්න පුළුවන් ජීවිතයක් විතරයි”

“හ්ම්”

සඳ මුදුන් ව එමින් තිබුණේ ය. හිතේ පැටවී තිබූ බරක් බිමින් තැබුවා වැනි සැහැල්ලුවකින් මම නැගී සිටියෙමි.

“මං යන්නද…”

අපි ඉතාමත් හෙමිහිට පිය ගැට පෙළ බැස්සෙමු. සංකල්ප ගෙමිදුල තෙක් මා ඇරලවා ගියේ ය.

“හොඳට නිදා ගන්න”

සමු ගත්දී ඔහු කීවේ එසේ ය. නමුත් මට ලොකු නිදිමතක් දැනුණේ නැත. මම කණ්ණාඩි මේසය ඉදිරියේ හිඳ මගේ වත දෙස බලා ගතිමි. හැඬුවා ය කියා ඇස් වල දීප්තියේ කිසිදු අඩුවක් වූයේ නැත. වසර කිහිපයක් තිස්සේ රීබොන්ඩින් කොට සැකසූ වරලෙහි, ස්වභාවික රැළි ගතිය නැගී එමින් තිබුණේ ය. අප්පච්චි මිය ගිය පසු ම මට රූපලාවන්‍යාගාරයක් සිහි වූයේ හෝ නැත!

“ඉස්සෙල්ලම ඔයා ඔයා ව තේරුං ගන්න බලන්න”

සංකල්ප ගේ වචන මා තුළ ම දෝංකාර දෙමින් ඇසුණේ ය. සැබවින් මා කිසි දා මා ව තේරුම් නො ගත් බව සිහි කළ හැක.මම හැම දාමත් මගෙන් මුවහ වෙමින් සිටියෙමි. මට සවන් නොදී සිටියෙමි. මට උවමනා මොනවා දැයි මා නො විමසා සිටියෙමි.

දුරකතනට පණිවිඩයක් එන හඬ ඇසිණ. මම එය අතට ගෙන බැලුවෙමි. සංකල්ප සිය හඬින් පටි ගත කළ ගීතයක් එවා තිබුණේ ය. මම ඉයර් ෆෝන් ගසා ගෙන ඇඳට වැටුණෙමි.

“ගහක මල් පිපිලා

පිපෙන්නේ ඇයි ද නොදන්නෙමී

සිතක මල් පිපිලා

පිපෙන්නේ ඇයි ද නො දන්නෙමී

නුඹට සිත බැඳුණේ කිමැයි මා

තව ම නො දන්නෙමී

නුඹට සිත බැඳි කාරණේ මම

තව ම සොයන්නෙමී…”

මම කොට්ටයක් තුරුලට ගෙන ඇස් දෙක පියවෙන්නට හැරියෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles