මල් තුහින -19

“අපිට ඒ කාලේ හොඳ යාලුවො වෙන්නවත් බැරි වුණා.”

මලිතිගේ චෝදනාව තුහින දරාගත්තේ සිනාමුසු මුහුණකිනි. සැබෑවටම ඒ කාලේ ඔවුන්ට හොඳ මිතුරන් වන්නට වත් ඉඩක් තිබුණේ නැත. දුටු මතින් බැඳුණු ප්‍රේමය ගැන කියන්නට හදිසි නොවී ඇය සමඟ හොඳ මිත්‍රත්වයක් ගොඩනඟා ගත්තා නම් ඇතැම්විට අද ශේන්යාගේ අම්මා වන්නේ උත්පලා නොව මලිති බව ඔහුට සිතිණි.

“තව කාලේ ඕනවටත් වඩා ඉතුරුයි. අපිට මේ දැනුත් පුළුවන් හොඳම යාළුවො වෙන්න.”

ඔහු ඉතා සැහැල්ලූවෙන් පැවසුවේ ය.

“එහෙනම් ඔන්න අපි යාළුවෝ.”

මලිතිගේ පණිවිඩය කියවා බැලූ තුහිනට සිනා පහළ විය. මේ තිස් විය ද ඉක්ම වූ ගැහැනියක එවන ආකාරයක පණිවිඩයක් නොවේ. සැබෑවටම ඔහුට ඇය දැනෙන්නේ මඟහැරුනු තැනින් ම ය. දඟකාර පාසැල් සිසුවිය සන්දියේ සිටි මලිති තවමත් ජීවත් වන බව ඔහුට හැඟේ.

“අපේ යාළුකමට හතුරෙක් නම් ඉන්න පුළුවන්. ඒ නිසා මං ඔයාට හොඳම යාලුව වෙනවා කියලා වෙනම කියලා පොරොන්දු වෙන්නේ නෑ. ඔයාට එහෙම කෙනෙක් ඉන්නවා නේ.”

රුවිනිගේ තැන ගන්නට කිසිවෙකුට නොහැකි බව මලිති දන්නීය. ජීවිතය වඩ වඩාත් පහසු කරන්නී ඇය ය.සියදිවි නසාගත යුතු බවම සිතුණු දවස් පවා පසු කර ගත්තේ රුවිනි හන්දා ය. මේ මොහොතේ තුහින ඇරඹූ මිත්‍රත්වය ගැන වඩාත් බියපත් වී හිඳින්නිය රුවිනි ය. මේ මලිතිට යහපතක් කරන්නක් නොවන බව ඇය විශ්වාස කරයි.

“මම ඉන්නේ ප්‍රශ්නෙක බව දැන් ඔයා දන්නව. ඒ වගේම ඔයා ඉන්න ප්‍රශ්න ගැන මට දැනගන්න පුලුවන්ද?”

තුහින එසේ ඇසුවද ඔහුට දිය යුතු පැහැදිලි පිළිතුර ගැන අදහසක්වත් මලිතිට තිබුණේ නැත. ඔහුගේ ගැටලුව ගැන උත්පලා මුළු ලෝකයටම ලියා තැබුවා ය. නමුත් මලිතිගේ ගැටලු තවම ඇය හා නවීන්වත් විසඳාගෙන නැත.

“මට එහෙම ලොකු අවුලක් නෑ. ඇත්තටම මට වෙලාවකට ජොබ් එක ස්ට්‍රෙස්. මේ බණක් බාවනාවක් කරගෙන ඉන්න ඕන වයස උනාට රංගනී හැම එකටම අත දානවනෙ. එතකොට හරිම ස්ට්‍රෙස්. මට රස්සාව මාරු කරන්න හිතිලා තියෙන්නෙ. බැනුං අහන එකේ සීමාවක් තියෙන්න එපැයි.”

මලිති එසේ කීවේ තුහිනගේ පිළිතුර ගැන අනුමාන කරමිනි. නිතරම ඇය දැකීම ඔහුට සතුටක් වන්නට ඇති බව ඇය සිතුවාය. ඒ හන්ද රැකියාව වෙනස් කිරීමට ඔහු සතුටු වෙන්නේ නැති බව ඇය කල්තියා අනුමාන කළා ය.

නමුත් ඇය වැරදි ය!

“අපි රස්සාවක් හොයමු. ඔයාට කොහොමත් ජොබ් එකක් හොයා ගන්න අමාරු නෑනෙ.”

ඒ කියන්නේ ඇය දැකීම ඔහුට සතුටක් නොවන බව දැයි අසන්නට තරම් ආවේගයක් මලිතිට ඇති වේ. ඇය කෝපයෙන් දරා සිටියා ය. පිරිමි කවුරුත් එක ය. ආදරේ බව පෙන්වමින් හඟවමින් මොහොතක් ගෙවා දමා ඉන් අනතුරුව පවසන්නේ හිත හොඳටම බිඳී යන කාරණා ය.

තුහින මලිති වෙනුවෙන් රැකියාවක් හොයන්නට හැදුවේ සැබෑවටම ඇය ගැන කණගාටුවෙන් ය. අමිහිරි විවාහයක් තරමටම අමිහිරි රැකියා ප්‍රධානියෙකු සමග ගනුදෙනු කිරීම ඉතා අපහසු බව ඔහු අත්දැකීමෙන් දනී. ඔහු ඇස ගැටෙමින් සිටීමට ඇයට වුවමනා බව ඔහුට පැහැදිලි නැත. ආදරයක් ඇති වෙමින් ඇති බව ඇය හැඟවූව ද එය පිළිගන්නට ඔහුට වුවමනා නොවේ.

මොනවා වුණත් මේ ඔහු ප්‍රතික්ෂේප කළ තරුණිය ය!

ඉතා පහසුවෙන් තමාව දෑස් මානයෙන් දුරස් කරන්නට තැනූ තුහින සමග මලිති කෝපයට පත් වූවා ය.රුවිනි ඔහු ගැන කියන සමහර කතන්දර නෑසෙන හිඳින්නට ඇය දැඩි උත්සාහයක් ගත්තා ය. මිතුරියගේ හිත බිඳී ඇති බව දැනගත් රුවිනි කළේ වඩ වඩාත් නිහඬ වන්නට උත්සාහ ගැනීම ය.

උත්පලා ඒ අතර වඩාත් රෞද්‍ර වෙමින් සිටියා ය. සෑම උදෑසනකම ලෝකයේ ඇති ආදරණීය ම නිවස ගැන සටහන් තැබූ ලෝකයේ සිටින හොඳම ආදරවන්තයා ගැන සටහන් තැබූ ඇය දැන් ඒ වෙනුවට ලියන්නේ තුහිනගේ වැරදි ය. මත්ද්‍රව්‍ය ඇබ්බැහිය සහිත සැමියෙකුගේ වැරදි ය. ගෘහස්ථ හිංසනයේ වේදනාව ය. ප්‍රේමයේ රැවටීම ය.

“ඔයා මෙච්චර කාලයක් ඔයාගේ ලස්සන පවුල් ජීවිතේ ගැන ලිව්වා. අපි ඔයා කියන විදියට ගෙවල් අස් කරන්න හුරු වුණා. මල් වැව්වා. කෑම හැදුවා. වෙන එකක් තියා තුහින වගේ මාර හස්බන්ඩ් කෙනෙක් නැති එක ගැන ඉරිසියා කරා. ඒ දවස්වලත් ඔයාගේ මාරම මාර පවුල් ජීවිතේ අපිට මොකටද අහන අය හිටියා. අපි ඒ කමෙන්ට්ස් ගාණෙත් රණ්ඩු කළා. මොකද අපි හිතුවා ඔයාලට තියෙන්නෙ මාර ලස්සන ආදර කතාවක් කියලා. එහෙම ලස්සන ආදර කතාවක් තිබ්බනම් තුහින අන්තිම නරක මනුස්සයෙක් වුණත් මේ විදියට එයාගෙ ආත්ම ගෞරවේ විනාස කරන්න ඔයාට පුලුවන් ද?”

මලිති උත්පලාගේ සටහනක් යට ඒ කමෙන්ටුව ඇමිණුවා ය. මේ මහා සටනක ඇරඹුමක් වන්නට ද පුළුවන. කිසිවක්ම නොවන්නට ද පුළුවන.නමුත් කම් නැත. ඇය ඒ ගැන පසුතැවෙන්නේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles