මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 40

0
482

මන්දස්මිතා දොර වහගෙන ගියාට පස්සේ කාමරේ ඇතුළේ ඉතිරි වුණේ මාරම සයිලන්ස් එකක්.

 හැබැයි මගේ ඔළුව ඇතුළේ නම් මහා යුද්ධයක් පටන් අරගෙන තිබුණා. අර පේන් කිලර් පෙති දෙක බිව්වට පස්සේ ඔළුවේ කැක්කුම යාන්තමට අඩු වුණත්, හිත ඇතුළේ ඇවිලෙන සැකය කියන ගින්දර නිවන්න ලෝකේ කිසිම බෙහෙතකට පුළුවන්කමක් තිබුණේ නැති විත්තිය මම දැනගෙන හිටියා.

මං ඇඳ උඩ වාඩි වෙලා ආයෙත් මගේ ෆෝන් එක අතට ගත්තා.

“තව කවුද ඉන්නේ මේඝාගෙ ලයිෆ් එකේ?” මං මටම මුමුණගත්තේ දත් මිටි කන ගමන්.

ප්‍රශ්නය හේසර විතරක් නෙවෙයි. හේසර කියන්නේ මට අහම්බෙන් අහුවුණු එකෙක් විතරයි. එතකොට මං ලංකාවේ නැති අවුරුදු ගාණට ඒකි තව කී දෙනෙක් එක්ක මේ වගේ සෙල්ලම් කරන්න ඇත්ද? මං නැති අඩුව ඒකි පුරවගත්තේ කොහොමද? මං අහිංසකයා වගේ ඒකිව මතක් කර කර, ඒකි මට එව්ව මැසේජස් කියව කියව එහේ විඳවද්දී, මේකි මෙහේ කාගේ හරි තුරුලකට වෙලා මට හිනාවෙන්න ඇති. මාව අමතක කරන්න තව පිරිමි එක්ක බුදියගන්න ඇති.

මං මේඝාගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එකට ගියේ ඔන්න ඕව හිතන ගමන්. ඒක දැන් මට සාමාන්‍ය දෙයක් නෙවෙයි, මගේ දවසේ රාජකාරි පටන් ගන්නෙම මේඝාගෙ සෝශල් මීඩියා ප්‍රොෆයිල්ස් අස්සෙ රිංගන ගමන්. මං ඒකිගේ පරණ පෝස්ට් එකින් එක ආයෙත් පීරාගෙන ගියා. මං නැති කාලේ ඒකි දාපු හැම ෆොටෝ එකක්ම, ඒවට ලයික් කරලා තිබ්බ හැම එකෙක්වම මං ලිස්ට් කරගත්තා.

“මේ මූ කවුද? ඇයි මේකා ඒකිගේ හැම ෆොටෝ එකකටම හාර්ට් එකක් දාලා තියෙන්නේ?”

මං ඒ එක එකාගේ ප්‍රොෆයිල් ඇතුළට ගිහින් උන්ගේ ෆොටෝ චෙක් කරා. මුන් කොහේ හරි තැනකදී මේඝා එක්ක ඉඳලා තියෙනවද? මේඝා මේ පිරිමි එක්ක කොහේ හරි ගිහින් තියෙනවද? මං ඒකිගේ ෆලෝවර්ස්ලා, ඒකි ෆලෝ කරන අය මේ හැමෝම ගැන ඉන්වෙස්ටිගේෂන් එකක් පටන් ගත්තා.

ඒකි දාලා තිබ්බ එක පරණ ෆොටෝ එකක ඒකි හිනාවෙලා ඉන්න ලස්සන දැකලා මට ආවේ ආදරයක් නෙවෙයි, පුදුමාකාර තරහක්.

 “කාත් එක්කද උඹ ඔච්චර ලස්සනට හිනාවෙන්නෙ? මං නැති වෙලාවක ඔච්චර හිනාවෙන්න තරම් පුළුවන්කමක් උඹට කොහොමද තිබ්බෙ?”

ඒකි මට කිව්වේ ඒකි තනියම හිටියා කියලා. ඒකි කිව්වේ ඒකි මං එනකල් මඟ බලන් හිටියා කියලා. ඒත් මගේ හිත මට කියන්නේම ඒකි බොරු කියනවා කියලා. මට දැන් මේඝා කියන කිසිම වචනයක් විශ්වාස නැහැ. ඒකි හුස්ම ගන්නෙත් බොරුවට කියලා මට හිතෙන්න පටන් අරගෙන.

“තමුසේ හංගන ඇත්ත මං කොහොම හරි හොයාගන්නවා මේඝා. තමුසේ මට කරපු හැම ද්‍රෝහිකමකටම, මං තමුසෙගෙන් වන්දියක් ගන්නවා. තමුසෙට මාව මෝඩයෙක් කරන්න මං ඉඩ දෙන්නේ නැහැ. තමුසෙ මට ඇත්තටම ආදරේ කරා නම් මං මොන ගෑනි එක්ක නිදාගෙන ආවත් තමුසෙ දැනගන්න ඕන තනියෙන් මං එනකම් බලන් ඉන්න. ගෑනු එහෙමයි. පිරිමි මොන බලු වැඩේ කරලා ආවත් හරිහමං ගෑනු තමන් ආදරේ කරන මිනිහට සමාව දෙනවා.ඒක තමයි තමුසෙගේ යුතුකම

මට ඕන වෙලාවක මං ඕන දෙයක් කරයි. ඒක මගේ පිරිමිකම. හැබැයි තමුසේ…? තමුසේ මගේ ගෑනි මේඝා. මං නැති කාලේ මගේ නම විකුණගෙන පත්තිනි රංගනයක් රඟපාපු තමුසෙට, වෙන එකෙක්ගේ ඇස් දිහා බලන්නවත් අයිතියක් තිබුණේ නැහැ. පිරිමියෙක්ට වැරදුණාම ඒක අමතක කරලා උගේ පස්සෙන් ඉන්න එකයි ගෑනියෙක්ගේ හැදියාව. ඒත් තමුසේ කළේ මාව මගාරලා අර එක එකාගේ කරේ එල්ලෙන එක

ගෑනියෙක් වුණාම ඉවසන්න ඉගෙනගන්න ඕනේ. පිරිමි වැරදි කරනවා. ගෑනු දැනගන්න ඕන පිරිමින්ට සමාව දීලා පිරිමින්ව හදාගන්න. හදාගන්න එක නෙවෙයිද ආදරේ කියන්නෙ? පිරිමි මොන බලු වැඩේ කරලා ආවත්, හරිහමං ගෑනු තමන් ආදරේ කරන මිනිහට සමාව දෙනවා. තමුසේ ආදරේ කළා නම් මාව හදාගන්න තිබුණා. ඒ වෙනුවට තමුසේ කළේ මාව දාලා  යන්න ප්ලෑන් කරපු එක”

ෆෝන් එකේ බ්‍රයිට්නස් එකට මගේ ඇස් රිදෙන්න ගත්තත්, මං ඒක පැත්තකින් තිබ්බේ නැහැ. මට ඕන වුණේ මේඝාගේ මුළු අතීතයම කෑලි කෑලිවලට ගලවලා ඇත්ත මොකක්ද කියලා දැනගන්න. මං මේ ගේම් එකේ අන්තිම වෙනකල්ම යනවා. ඒ ගමනේදී මේඝාට විතරක් නෙවෙයි, ඒකිගේ පස්සෙන් ආපු හැම එකෙක්ටම මං පාඩමක් උගන්වනවා.

ඒක අනිවාර්යයි!

මං අන්තිමෙ එහෙම හිතාගත්තා.

මං ඇඳ විට්ටමට හේත්තු වෙලා ආයෙත් ෆෝන් එක අතට ගත්තා. මගේ අතේ තිබුණේ මාරම වෙව්ලීමක්. මීට අවුරුදු ගාණකට කලින් මං මේඝාගේ එකවුන්ට්ස් ලොග් වෙලා තිබුණා. මං දන්නවා ඒකි තාමත් ඒ පාස්වර්ඩ් එකම තමයි පාවිච්චි කරන්නේ කියලා. ඒ නැතත් මේඝා ඒකිගෙ රිකවරි ඊමේල් වලට දීලා තිබ්බෙ මගේ මේල් ඇඩ්‍රස් එක. ඒකි ඒ තරම් මෝඩයි, නැත්නම් ඒ තරම්ම මාව විශ්වාස කළා.

මං වෙවුලන ඇඟිලිවලින් ඒකිගේ ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකට ලොග් වෙන්න ට්‍රයි කළා.

එක පාරක්

දෙපාරක්

ඒත් මට බැරි වුණා. ඒකි පාස්වර්ඩ් එක වෙනස් කරලා. මගේ ඇඟ ඇතුළේ ලේ රත් වෙන්න ගත්තෙ අන්න ඒ වෙලාවෙ.

 “තමුසේ හිතුවද ඒකෙන් මාව නතර කරන්න පුළුවන් කියලා?” මං කියාගත්තෙ මටමයි.

එතකොටයි මට මතක් වුණේ. මේඝා හැමදාම මාව විශ්වාස කළා. ඒකිගේ රිකවරි ඊමේල් එක විදිහට දීලා තිබුණේ මගේ පරණ ඊමේල් ඇඩ්‍රස් එක. ඒකි ඒක අයින් කරන්න අමතක කරලා නැත්නම් මං ආයෙ එයි කියලා හිතලා ඒක එහෙම්ම තියන්න ඇති. කොහොම වුණත් ඒක මට ලොකු චාන්ස් එකක්.

මං Forgot Password දීලා මගේ මේල් එකට ආපු කෝඩ් එකෙන් ඒකිගේ එකවුන්ට් එක ඇතුළට රිංගුවා. මගේ තොල් කොනකට අවේ පලිගැනීමේ හිනාවක්. “තමුසේ මෝඩයි මේඝා මාරම මෝඩයි.” මං ඒකිගේ පාස්වර්ඩ් එක වෙනස් කරලා, ඒකිව ඒකිගේම එකවුන්ට් එකෙන් ලොග් අවුට් කරලා දැම්මා.

ඉන්පස්සෙ මං පිස්සුවෙන් වගේ ඒකිගේ ඉන්බොක්ස් එක පීරාගෙන ගියා. මගේ පපුව හයියෙන් ගැහෙනවා. මට ඕන වුණේ මේඝා මං නැති කාලේ කා එක්ක මොනවා කතා කළාද කියලා බලන්න. එකපාරටම මගේ ඇස් දෙක ගිහින් නතර වුණේ මං අඳුරන්නේ නැති යූසර් නේම් එකක් ගාව. මීට සතියකට කලින් ආව මැසේජ් එකක් ගාව

“Hey, how are you doing?”

ඒක නිකන්ම නිකන් මැසේජ් එකක් විතරයි. හැබැයි මගේ ඔළුව ඒකෙන් මහා කතාවක් ලියන්න ගත්තා.

“මූ කවුද? මූ ඇයි මේකිගෙන් සුවදුක් අහන්නේ? සතියකට කලින් ඒ කියන්නේ මං ආවට පස්සෙත්, එන්න කලිනුත් මුන් අතරේ මොකක් හරි තිබිල තියෙනවද? මං දකීවි කියලා මැසේජස් ඩිලීට් කරලද?.”

මං එකපාරටම ෆෝන් එක ඇඳ උඩට දමලා ගහලා ගහලා අත් දෙකෙන්ම මගේ කොන්ඩෙ ඇදගත්තා. මට මාව පාලනය කරගන්න බැරි වුණා. මං කාමරේ එහා මෙහා දිව්වා. ඊළඟ තත්පරේ මං හරිම සයිලන්ට් වුණා. මං හෙමින් හුස්ම ගත්තා.

“නෑ මතින්ද්‍ර කලබල වෙන්න එපා. තමුසෙට පුළුවන් මේකිව අල්ලගන්න.” මං මටම කියාගත්තේ පුදුම විදිහේ සන්සුන් හඬකින්.

හැබැයි ඊළඟ මොහොතේ මගේ ඇස් රතු වුණා. මං ආයෙත් මේඝාට මැසේජ් එකක් ටයිප් කළා.

“තමුසේ මගේ ගෑනි මේඝා. තමුසේ මට ද්‍රෝහි වුණාට මං තමුසෙට සමාව දෙන්නේ නැහැ. තමුසෙට තිබුණේ මාව හදාගන්න. තමුසේ ඒක කළේ නැහැ.”

මගේ මෙන්ටලිටි එක තැනක නතර වුණේ නැහැ. මං එක වෙලාවකට අහිංසක විදිහට මේඝාට ආදරේ කරන්න හැදුවා, ඊළඟ තත්පරේ මට ඕන වුණේ ඒකිව විනාශ කරන්න. මං දන්නවා දැන් මේඝා ඉන්නේ මාරම බයකින් කියලා.

මට ඕන වුණෙත් ඒකමයි.

බය කරලා හරි කමක් නෑ මේඝාව මං ලඟ තියාගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here